👉අම්මලා හොයන , බබාලා ඉල්ලන , ලංකාවේ ත්‍රි පෝෂ හිඟය
හැත්තෑව දශකය කියන්නේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයත් හරි හරියට තිබුණු කාලයක්, මේ ආහර අර්බුදයට හරියට පිළියම් කරන්න ගිහින් ඒක හරියට කරගන්න බැරුව ගිය හින්දා ආණ්ඩු පවා පෙරළුණා.
එහෙම පත්වෙච්ච ආණ්ඩු ජනතාවට ධාන්‍ය වර්ග හත , අට කවන්න පොරොන්දු දීලත් බලයට පත්වුණා. කෑම කොච්චර ජනතාවට වැදගත්ද කියනවනම් සමහර ආණ්ඩු පත්වුණේම කෑම පොරොන්දු දීලා. ජේ.ආර් ගේ ඇට අට වගේම චන්ද්‍රිකා මැතිණියගේ පාන් රාත්තල තුනයි පනහට දෙන්න පොරොන්දු වුණු කතාවත් දේශපාලන කරලියේ අදටත් නොමැකෙන මතක සටහක්. ඒත් එක්කම අපේ රටේ ගර්භනී මාතාවන්ගේ හා කුඩා දරුවන්ගේ ප්‍රධානතම ධාන්‍යමය හා පෝෂදායි ආහාරයක් බවට ත්‍රිපෝෂ පත් වූයේ අදක ඊයෙක නම් නොවෙයි. හරියටම මීට අඩ සියවසකට පෙර කාල වකවානුවකදී ඇමරිකාවේ හා කැනඩාව ආදී රටවල මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ ත්‍රි පෝෂ වැඩසටහන ආරම්භ විය. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ඉතිහාසය දෙස බලන විට, මෙරට මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා දශක පහකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වන ප්‍රබලතම වැඩසටහනක් ලෙස ත්‍රිපෝෂ ආහාර වැඩසටහන හැඳින්විය හැකිය. 1973 ශ්‍රී ලංකාව තුළ පැවති මන්දපෝෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය සහ CARE (Cooperative for Assistance and Relief Everywhere) ජාත්‍යන්තර සංවිධානය එක්ව මෙම ව්‍යාපෘතියක් ලෙසින් ඇරඹුණු මෙම වැඩසටහන, හුදෙක් ආහාර වේලක් නොව, දියුණු වෙමින් පවතින රටක පෝෂණ සුරක්ෂිතතාව පිළිබඳ සාර්ථකම ආකෘතියක් ලෙස ජාත්‍යන්තරයේ පවා පැසසුමට ලක් විය. මුල් අවස්ථාවේදී පෞද්ගලික ආයතන මගින් නියාමනය වූ මෙහි පාලනය වර්ෂ 2010 දී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩි නමින් පුර්ණ රාජ්‍ය සමාගමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගනු ලැබීය. නව රජය පත්වීමත් සමග විවිධ හේතු මත ත්‍රිපෝෂ ආයතනය වෙළඳ අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇත.
ඉල්ලුමට සැපයුමත් නැති හරියට බෙදා ගන්නත් බැරි කතන්දරේ
ශ්‍රී ලාංකීය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර, සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගිමත් පෝෂිත ජාතියක් බවට පත්කිරීම යන මැයෙන් ක්‍රියාත්මක වූ ත්‍රිපෝෂ ආයතනයට පසුගිය වසර ගණනාවක සිටම ත්‍රිපෝෂ අඛණ්ඩව නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලී සම්පූර්ණ කර ගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. ගර්භණි මවක් හෝ කිරිදෙන මවක් හෝ පෝෂණ ඌණතා සහිත දරුවකුට ග්‍රෑම් 750 පැකට් 02ක් බැගින් මසකට නොමිලයේ රජය විසින් ලබාදීමට නියමිතය. පෝෂණ ඌණතා ඇති දරුවෙක් සඳහා දිනකට ග්‍රෑම් 50ක ත්‍රිපෝෂ ප්‍රමාණයක් දෛනික නිර්දේශ කර තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිවීම කරුණු කොට ගෙන ත්‍රී පෝෂණ නිසි ලෙස නිෂ්පාදනය හා බෙදා හැරීම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ නමුත් විටින් විට සභාපතිවරුන් පුටු මාරු කිරීම පමණක් සිදුවූවද ත්‍රිපෝෂ අර්බුද තත්ත්වයට නිසි විසඳුමක් ලබාදීමට ඒ කිසිවෙකුටත් නොහැකි වී තිබීම කණගාටුවට කරුණකි. 2020 වර්ෂයේ සිට සලකා බැලූ කලද මේ වන තෙක් විධායක ජනාධිපතිවරු තුන්දෙනෙක් පත්වීී තිබේ. එකී කාලය පුරාවටම නිරන්තරයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධයෙන් විවිධ මාතෘකා කරළියට විවෘත වන්නේම ත්‍රිපෝෂ ආයතනයේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වන අවස්ථාවලදීය. සැබැවින්ම සෑම මාසිකවම මෙරට ගර්භනී මාතාවන්ට හා කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ ප්‍රමාණය නිවැරදිව අක්‍රමිකතාවයකින් තොරව බෙදා හරිනු ලබන්නේ නම් මේ ගැටලුවක් පැමිණෙන්නේ ද නැත. නමුත් බොහෝ විට ගම්මාන වලින් අසන්නට ලැබෙන්නේ මාස ගණන් ත්‍රිපෝෂ පැකට්ටුවක් ඇහැටවත් දකින්නට නොලැබුණු බවය . බෙදා දෙන්නේත් නිවැරදි දිනට නොවන බවය. ඒ තත්වයෙන් ඔබ්බට ගිය තවත් කාරණා රැසක ප්‍රතිඵලයක් ලෙස ත්‍රි පෝෂ සමාගම කෙතරම් සාර්ථක බව රටට ඒත්තු ගැන්වීමට උත්සාහ කළද , එහි මූලික පරමාර්ථයෙන් ඔබ්බට සාර්ථකත්වයක් නොවන බවට ජනතාවට හැඟී යනු ඇත. මේ අතර වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ත්‍රිපෝෂ ලබා නොදීම නිසා ළමා සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයද කරුණු හෙළි කරන ලදි.රට පුරා බොහෝ මාතෘ සහ ළමා රෝහල් සඳහා ත්‍රිපෝෂ ලබාදීමේදී දැඩි හිඟයක් පවතින බවත් මෙම තත්ත්වය යටතේ මේ වනවිට ත්‍රිපෝෂ ලබාදීම සිදුකරන්නේ යකඩ ඌනතාවයෙන් පෙළෙන මවුවරුන්ට, බර අඩු ගර්භිණී මවුවරුන්ට, උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන, වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට පමණක් බවද , දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම සිදු නොකෙරෙන බවත් අදාළ වැඩපිළිවෙළ යළි ආරම්භ කරන බවට ප්‍රකාශ කර තිබුණ ද ඒ සඳහා අවශ්‍ය කාලසටහන ආරම්භ කිරීමට රජය මේ දක්වා අපොහොසත්ව ඇති බවටත් බොහෝ පාර්ශව මැසිවිලි නගති.
බඩ ඉරිඟු හා අමු ද්‍රව්‍ය අර්බුදය
දිවයින පුරා පවතින සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන , වතු හා පරිවාස හා විශේෂ ළමා රක්ෂණ මධ්‍යස්ථාන ආදී ස්ථානවලට සියලුම ගර්භනී මව්වරුන් , කිරි දෙන මව්වරුන් හා පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්හට සෑම මසකම පායේ දුම්රිය හා ලොරිරත මගින් ප්‍රවාහනය කරනු ලබන ත්‍රි පෝෂ සෞඛ්‍යවත් පිරිපුන් අතිරේක ආහාරයකි. විශේෂයෙන් මව්වරුන්ට හා දරුවන්ට වෙන වෙනම ත්‍රී පෝෂ නිෂ්පාදන ද්විත්වයක් හඳුන්වා දී ඇති අතර බඩ ඉරිඟු , සෝයා බෝංචි , සම්පූර්ණ යොදය සහිත කිරිපිටි , විටමින් සහ ඛනිජ ලවන ආදී අමුද්‍රව්‍යය හා පෝෂක ත්‍රී පෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වේ. ත්‍රී පෝෂ නිෂ්පාදනය තුළ 66%ක්ම අන්තර්ගත වන්නේ බඩ ඉරිඟුය. විශේෂයෙන් දේශීයව බඩ ඉරිඟු හා කිරිපිටි සපයා ගැනීමට නොහැකි වීම හා වෙළඳපොළ මත පවතින හදිසි මිල උච්ඡාවචනයන් තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනය වරින් වර ඇනහිටි. නමුත් බලධාරීන්ට මෙම ගැටලුව සෑම විටම හෝද හෝද මඩේ දමන ආකාරයට සිටිය නොහැකි වන්නේ මේ සඳහා පිළියම් සෙවීමට ඔවුන් බැඳී සිටින බැවිනි. ආරම්භයේ සිටම වාර්ෂිකව මිලියන 1500කට අධික මුදලක් ත්‍රිපෝෂ සමාගම වෙනුවෙන් රජය වෙන් කර ඇති බවත් , මේ වන විට එම මුදල තවත් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති තත්ත්වයක් තුළ එම සමාගමට පත්වන සෑම සභාපතිවරයකුටම මෙම තත්ත්වයට පූර්ණ සූදානමක් සහිතව කටයුතු කිරීමේ වගකීමෙන් කිසි ලෙසකින්වත් බැහැර විය හැකි නොවේ. සෑම වර්ෂයකම අඛණ්ඩව ත්‍රිපෝෂ බෙදාදීමට හැකියාව තිබියදී පූර්ව සැලසුම් සකස් නොකර සෑම වසරකටම මාසයක් , දෙකක් හෝ කිහිපයක් හෝ අසරණ දරුවන්ට හා ගර්භනී මාතාවන්ට තමන්ට පෝෂණ ඌණතාවයක් හා අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමට පවතින ත්‍රිපෝෂ පැකට් බෙදා නොදීම පාලකයන්ගේ දැඩි වරදකි. නොසලකා හැරීමකි. මෙරට ත්‍රී පෝෂණ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් මෙට්‍රික් ටොන් 18000 ප්‍රමාණයක් අවශ්‍යවතාවයක් සාමාන්‍යයෙන් පැවති අතර මේ වන විට එම අගය මෙට්‍රික්ටන් 25000 දක්වා ආසන්න වී තිබේ. 2026 වර්ෂයේ ජනවාරි මස සිට කිසිදු හිඟයකින් තොරව නිෂ්පාදනය හා බෙදහැරීමේ කටයුතු ජනතාවට සිදුකරන බව කීවත් , 2026 ජනවාරි මාසයේදී එම අරමුණ සීයට සීයක් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වී ඇති බව බිම් මට්ටමට ගත් පරීක්ෂා කරන විට තවදුරටත් පෙනී යයි. එමෙන්ම දේශීය ගොවියා ශක්තිමත් කිරීමට බඩ ඉරිඟු දේශීයව සපයා ගැනීමට සිදුකරනා පුරෝකථන හා අනාවැකි සැමවිටම අසාර්ථක වන බව පවතින අතර මේ වන විටත් බඩ ඉරිඟු විදේශ රටවල් වලින් ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ. පසුගිය දින වලදී මෙසේ ආනයනය කරන ලද බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2200ක් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වීම නිසා සමාගමේ නිෂ්පාදන ඇනහිට ඇතැයි සමාගමේ කළමනාකාරිත්වය මැසිවිලි නැගීය. මේවා ඇසෙන විට ජනතාවට සිහිපත් වන්නේ “ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන පැරණි ප්‍රස්ථාව පිරුළුම නොවේද ? “
ඇෆ්ලටොක්සින් (Aflatoxin) අර්බුදය
පසුගිය වසරවල වඩාත්ම කතාබහට ලක් වූ මාතෘකාව වූයේ ත්‍රිපෝෂ සාම්පලවල ඇෆ්ලටොක්සින් නමැති විෂ රසායනය අඩංගු වීමයි. බඩඉරිඟු ගබඩා කිරීමේදී ඇති වන දිලීරයක් හේතුවෙන් මෙම විෂ ඇති වේ. දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ අවදානම සලකා ඇතැම් කාලසීමාවලදී බෙදා හැරීම් අත්හිටුවීමට බලධාරීන් තීරණය කල අතර , ඇෆ්ලටොක්සින් නැමති විෂ කාරකය එහි අඩංගු විය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක ඇතැයි කියන ත්‍රිපෝෂ බෙදා හැර ඇතැයි චෝදනා එල්ල වීම හේතුවෙන් ත්‍රිපෝෂ පරිභෝජනයට ගැනීමට පවා ජනතාව තුළ බියක් ඇති විය. කෙසේ වෙසත් කාලයක් සමඟ නැවත විශ්වාසය ඇති කිරීම තුළින් ත්‍රිපෝෂ පරිභෝජනයට ජනතාව හැඩගැසුණු අතර , ත්‍රිපෝෂ ආයතනය සතු වගකීම වූයේ එම විශ්වාසය රැකගෙන ජනතාවට නිසි සේවය සලසා දීමයි.
රජයට මිලියන සියයක ප්‍රතිලාභයක් ලබා දුන්නත් මාස කිහිපයක් ජනතාවට ත්‍රිපෝෂ නොබෙදූ කතාව.
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ගුණාත්මක බඩ ඉරිඟු දේශීයව සපයා ගත නොහැකි වීමෙන් සහ ආනයනික බඩ ඉරිඟු ප්‍රසම්පාදනය සඳහා සැලකිය යුතු කාලයක් ගතවීම හේතුවෙන් 2025 අප්‍රේල් , අගෝස්තු නොවැම්බර් , දෙසැම්බර් යන මාසයන්හි ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම අඛණ්ඩව සිදුකිරීමට නොහැකි වී ඇති බව අප කළ තොරතුරු අනාවරණයකදී ත්‍රීපෝෂ කළමනාකාරීත්වය පිළිගනු ලැබ ඇති අතර එවන් පසුබිමක් තිබියදී 2025 වර්ෂය අවසාන භාගයේදී වර්තමාන ත්‍රීපෝෂ ලිමිටඩ් ආයතනයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එකම කීර්ති නාමය වර්ධනය කර ගැනීමට රජයට විශේෂ ප්‍රතිලාභයක් ලෙස රුපියල් මිලියන 100 ක මුදලක් ලබා දුන් බව ප්‍රසිද්ධ කරන ලදි. නමුත් එහිදී කිසිවිටෙකත් ජනතාවට එළි නොවූ කරුණු වූයේ මාස කීපයක්ම ත්‍රීපෝෂ ලිමිටඩ් ආයතනයට ජනතාවට නොමිලේ බෙදා දිය යුතු ත්‍රිපෝෂ අතිරේක ආහාර ප්‍රමාණය නිසි පරිදි නිෂ්පාදනය නොකිරීමටත් , ඒවා බෙදා හැරීමටත් කටයුතු කර නැති බවය. ත්‍රිපෝෂ ආයතනයේ මූලික කාර්ය නම් වසරේ සෑම ලෙසම එක ආකාරයට ජනතාවට ත්‍රිපෝෂ බෙදා දීමේ කර්තව්‍ය නිසි පරිදි සිදු කිරීමය. එයට එහි සභාපති වගකිව යුතුය. මන්දයත් ත්‍රිපෝෂ ආයතනයේ ප්‍රධාන අරමුණ වන්නේම මෙරට ගර්භනී මාතාවන්ගේ හා කුඩා දරුවන්ගේ මන්දපෝෂණය දුරු කිරීම සඳහා කටයුතු කිරීමයි. කෙසේ නමුදු එයින් බැහැර වී එම නිෂ්පාදනය දුර්වලතාවයන් සඳහා පිළියම් නොකොට බාහිර විච්චූර්ණ , ආටෝප හෝ තොරන් ගැසීම කිසිසේත්ම එම කාර්යය මණ්ඩලයට හෝ වගකිවයුතු කිසිවෙකුට සුදුසු නොවේ.
ත්‍රිපෝෂ ආයතනයෙන් නිෂ්පාදනය කරනු ලබන වානිජමය ආහාර නිෂ්පාදන සඳහා රට පුරා අලෙවි සැල් සිය ශාඛා ලෙස විවෘත කිරීමට එම ආයතන පාලනාධිකාරිය තීරණය කරනු ලබන බව ප්‍රකාශ කර තිබෙන අතර , එසේ නම් එම නිෂ්පාදන කිරීම සඳහා අමුද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ කුමන ආකාරයට යන්න තවත් පැන නගින ගැටළුවකි.
විගණන වාර්තා හෙළි කරන අකාර්යක්ෂමතාවය හා සමාගමේ උද්ඝෝෂණ
පසුගිය දිනෙක ජනාධිපති ලේකම් කාර්යලය අසල එකතු තිපෝෂ ලිමිටඩ් ආයතනයේ සේවකයන්බඩඉරිඟු සැපයුම් ජාලයේ ඒකාධිකාරිත්ව බිඳ දමා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම රැකදීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත වී ඇති අතර එහිදී ඔවුන් ජනාධිපති තුමා වෙත සන්දේශයක් ද භාරදී තිබෙන අතර මේ වන විට දිනකට රුපියල් මිලියන 42 දෛනිකව ආදායම් අහිමි වීමකට ලක්ව තිබෙන බවත් සමාගමෙහි නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු සැපයුම යථාවත් කරන ලෙසත් සෞඛ්‍ය හා කෘෂිකර්ම අංශ ඒකාබද්ධ කර විශේෂ කාර්ය සාධක බළකායක් පත්කරන ලෙසත් ඉල්ලා සිට ඇත. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සේවකයන් දෙසියයකට අධික ගණනක් සේවය කරනු ලබන අතර මෙම නිෂ්පාදන ක්‍රියාවලිය හරි හැටි සිදු කිරීමට දිගින් දිගටම නොහැකි වන්නේ නම් එය එම ආයතනයට අනිසි ලෙස බලපෑමටත් සේවක වැටුප් ඇතුළු පරිපාලන වියදම් ගෙවා දැමිම අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කළ හැකි බවත් අනතුරු හඟවයි. තවද ,මිටඉහතදී අනාවරණය වූ රජයේ විගණන වාර්තා දත්ත අනුව( 2024 ) ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස් නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද අදාළ වර්ෂය තුල බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) පමණක් බවය. එය මුළු අවශ්‍යතාවයෙන් සියයට 55.51කි. ගැටළුව නම් මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තිබියදී මේ පාලක මණ්ඩලය නිරන්තරයෙන්ම මෙම ආයතනය ඉතා සුබවාදි හා ලාභදායී ආයතනයක් ලෙස ප්‍රචාරය කිරීමට මුදල් වියදම් කිරීම හා ඒ පිළිබඳව ජනතාව ඉදිරියේ වහසි බස් දෙඩීමයි. 2025 වර්ෂයේද අඛණ්ඩව මෙම ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදෑරීමේ කටයුතු සිදුකරන බවට වර්ෂයේ ආරම්භයේදී හා මැදදී මෙකී කළමනාකාරීත්වය මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළද පසුගිය වර්ෂයේද එම කටයුතු හරි නිසි පරිදි සිදු කිරීමට නොහැකි වූ බව පහත අනාවරණය කරගන්නා ලද තොරතුරු වලින් නැවතත් හෙළිවිය.
ඒ අනුව 2025 වර්ෂය තුළ මාතෘවරුන්ට හා දරුවන්ට නිෂ්පාදනය කර ඇති සම්පූර්ණ ත්‍රීපෝෂ මාස්ටර් බෑග් ප්‍රමාණය ලක්ෂ දෙකකටත් අඩු බව දක්නට ලැබේ. මේසා අකාර්යක්ෂම තත්ත්වයකට මුහුණ දීමට ලක්ව තිබිය දී අදාළ ආයතන ලාභ ලබන්නේ යැයි මැති ඇමතිවරුන් පුර සාරම් දොඩවන්නේ ඇයිද යන්න අප විමසිලිමත් විය යුතු කාරණයකි. තිපෝෂ ආයතනය මේ වනවිටත් ‘ සුපෝෂ ‘ නමින් තවත් වෙළඳ නිෂ්පාදනයක් ජනතාවට හඳුන්වා දී ඇති බවත් එය හුදෙක්ම ලාභ ලබා ගැනීමේ පරමාර්ථය ඇතිව සිදුකරන නිෂ්පාදනය බැවින් එමගින් හෝ වෙනත් ආකාරයක ලාභ ඉපයීම් මත ආයතනයේ ලාභාංශ ඇතැයි ප්‍රකාශ කරමින් රජයට යම් ප්‍රතිලාභයම් පිරිනැමූවද , ත්‍රිපෝෂ ආයතනයේ මුඛ්‍ය පරමාර්ථය වන “ අසරණ දිළිඳු මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සම්පූර්ණ නොකර එසේ ලාභ ලැබීමෙන් ඇති ඵලය කුමක්ද ? ” යනුවෙන් ජනතාවට ඇසීමට ප්‍රශ්නයක් ශේෂ වේ. මන්දයත් මීට පෙරදී නිකුත් කරන ලද විගණන වාර්තා අනුව මහජනතාවට හිමි විය යුතු ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇත්තේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ලබාගත යුතු අමුද්‍රව්‍ය සුපෝෂ නිෂ්පාදනය සඳහා එම ආයතන බලධාරීන් විසින් යොදාගෙන ඇති බැවිනි. ඉකුත් 2023 වර්ෂයේදී ත්‍රි පෝෂ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සම්පුර්ණ නිමි ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 9,163,067 ක් වූ අතර ඉන් සියයට 80 ක් හෙවත් කිලෝග්‍රෑම් 7,341,728 ක් පමණක් ත්‍රිපෝෂ නිෂ්පාදනය කර තිබුණු අතර ඉතිරි සියයට 20 ක් හෙවත් කිලෝග්‍රෑම් 1,821,339 ක් සුපෝෂ නිෂ්පාදනය කර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාගම වෙත පවරා ඇති ප්‍රමුඛ කාර්යය වූ ත්‍රිපෝෂ නිෂ්පාදන ඉලක්කය සියය 62 ක් වැනි මට්ටමකින් සපුරා තිබියදි සමස්ථ නිෂ්පාදනයෙන් සියයට 20 ක් සුපෝෂ නිෂ්පාදනය කිරීම ආයතනය පිහිටු වීමේ මුලික අරමුණට අනුකූල නොවීමක් බව අනාවරණය විය. තවද එහිදී සමාගම පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය වු, ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට වඩා සුපෝෂ නිෂ්පාදනය කිරීම කෙරෙහි සමාගම වැඩි පෙළඹවීමක් ඇති බවත් මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ සුපෝෂ නිෂ්පාදන අලෙවි ආදායම මත පදනම්ව ලාභයෙන් සියයට 5 සිට සියයට 10 දක්වා ඉලක්ක දීමනාවක් ගෙවීමට සමාගම කටයුතු කිරීම බව අනාවරණය විය. ත්‍රිපෝෂ වෙනුවට සුපෝෂ විකුණා අධික ලාභ පෙන්නා මහජනතාව වෙනුවෙන් වග විය යුතු ආයතන එක් එක් පුද්ගලයන්ගේ කීර්ති නාමයන් උදෙසා ප්‍රදර්ශනයට තොරන් බැඳීම රටේ තිරසාර සංවර්ධනයට නම් පලක් නොවනු ඇත. එසේ හෙයින් මතුපිටින් පෙන්නනු ලබන ලාභය සැබෑ ලාභයක්ද නැතිනම් මවාගත් ලාභයක්ද යන්න ජනතාවම තීරණය කළ යුතුව ඇත….
ජනක බෝකුඹුර ✍
(දිවයින පුවත්පතේ පළවු ලිපියකි)
️
