Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

By In

– චාමර සම්පත්

ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව කවුරුත් විශ්වාස කරන අතර එහිදී ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය භේදයකින් තොරව මහජන නියෝජිතයින් වන මන්ත්‍රීවරුන්ට කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතුය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග , වරප්‍රසාද , පාර්ලිමේන්තු සම්ප්‍රදාය සකස් වී ඇත්තේ මෙය පදනම් කරගෙන මිස ඒවා විනාශ කර දැමීමට නොවේය. එසේම පාර්ලිමේන්තුවේ කථානායකවරයාද ස්වාධීන පුද්ගලයකු ලෙස කටයුතු කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම මහජනතාවද විශ්වාස කරනු ඇත. 

එසේ උවද කථානායකවරයා විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකළ බවට පෙනීයනඅවස්ථාවක් පිළිබඳව  තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබාගත් තොරතුරු මගින්  අනාවරණය කිරිම මේ ලිපියේ අරමුණ වේ.

පාර්ලිමේන්තුවේ මුලාසනය භාරගන්නා සභාපතිවරු

පාර්ලිමේන්තුව පැවැත්වෙන අවස්ථාවල පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ මුලාසනය හොබවන්නේ කථානායකවරයායි. කථානායක නොමැති අවස්ථාවල නියෝජ්‍ය කථානායක හෝ කාරක සභා සභාපතිවරයා මුලාසනය භාරගනියි. ඔවුන් සියල්ලම නොමැති අවස්ථාවල පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සභාපති නාමාවලියක් නම්කරන අතර එය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වේ.

මේ සඳහා ඇමතිවරුන් රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමතිවරුන් පත්නොකරන අතර සම්ප්‍රදායක් ලෙස ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ද පත්නොකරයි. බොහෝවිට නවක මන්ත්‍රීවරුන් මෙම සභාපති නාමාවලිය නියෝජනය කරයි. සභාපති නාමාලිය තුළ සිටින මන්ත්‍රීවරයෙකු අමාත්‍යධුරයක් ගතහොත් එම නාමාවලියෙන් ඉවත්කරන අතර යළි පත්කරන මන්ත්‍රීවරුන් පිළිබඳව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුය.

මුලාසනය වෙනස්කරයි

පසුගිය මැයි මස 18 දා පාර්ලිමේන්තුවේදී මුලාසන සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවිය. පාර්ලිමේන්තුව ආරම්භයේදී මුලාසනයේ කටයුතු කළ කථානායක මහින්ද  යපා අබේවර්ධන මහතා  මූලික වටයේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන්විමෙන් පසුව සභාගර්යෙන් පිටතට යාමට අවශ්‍ය බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතාට මුලාසනය භාරගන්නා ලෙස දැනුම්දී ඇත. එම දැනුම්දීම අනුව මූලාසනය භාරගැනීම සඳහා රාසමාණික්කම් මහතා පැමිණ සිටිය ද කථානායකවරයා  මුලාසනය භාරගන්නා ලෙස ආරාධනා කළේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන හිටපු අමාත්‍යවරයකු වු ශාන්ත බණ්ඩාර මහතාටයි. මෙහිදී සිදුවූ අනපේක්ෂිත තත්වය සම්බන්ධයෙන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නැගූ අතර පාර්ලිමේන්තුවේ සභානායක දිනේශ් ගුණවර්ධන අමාත්‍යවරයාටද චෝදනා කළේය.

ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ඇතිවුයේ මෙවැනි සංවාදයකි. (මුලාසනයේ සිටින්නේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයායි)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් – ඔබතුමා ඔය මූලාසනයට පැමිණීමට පෙර වේත්‍රධාරි නිලධාරීතුමෙක් මට කතාතරලා කිව්වා කථානායකතුමාට පුටුවෙන් යන්න තිබෙනවා. එමනිසා ඔබතුමාට පුළුවන්නම් මුලසුනට පැමිණෙන්න කියලා. ඒ නිසා මුලසුනට ආසන්න පුටුවක මම වාඩිවෙලා හිටියා . ඒ අවස්ථාවේදී මම දැක්කා සභානායක දිනේශ් ගුණවර්ධන මහතා ලේකම්ලා දෙන්නට පණිවිඩ යවලා මාව මුලසුනට ගන්නේ නැතිව ඔබතුමාව මුලසුනට ගන්න කියලා. මම පැහැදිලිව ඒක දැක්කා. ඊට පස්සේ මම මහලේකම්තුමාගෙන් ඇහුවා මොකක්ද මේ වෙන්නේ කියලා. ඔහු එතකොට කිව්වා DON’T ASK ME ( මගෙන් අහන්න එපා) කියලා . ස්පීකස් පැනල් එකේ මම සාමාජිකයෙක් . පාර්ලිමේන්තුව ස්වාධින ආයතනයක් කියලා මම හිතන්නේ. මේක පොහොට්ටුවේ පාර්ලිමේන්තුවක් නෙවෙයි.  සෑම මන්ත්‍රීවරයෙකුටම සමාන ආයිතිවාසිකම් තිබෙනවා.  මට ඒ පුටුවට එන්න කියලා ආපසු මාව ඒ පුටුවට දාන්න එපා කියලා කියන එක කොයිතරම් කැතද. මටනම් මේ පුටුවල හිටියත් එකයි නැතත් එකයි. ආණ්ඩුවට විරුද්ධව මම කතාකරන නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඩීල් ගැන මම කතාරන නිසා මම  මුලසුනේ සිටීමට ඔබතුමා කැමති නැතිනම් මොකක්ද මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනභාවය. දිනෙශ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මෙතැන ඉන්නවා. ඔබතුමා පුළුවන්නම් කියන්න ඇයි ඒක කළේ කියලා. මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

සභානායක දිනේශ් ගුණවර්ධන –  රාසමාණික්කම් මන්ත්‍රීතුමා එක එක කාලවල එක එක ඒවා කියනවා. නමුත් මම මේකට පිළිතුරු දෙන්න ලෑස්ති නැහැ . කථානායකතුමාට තමයි පිළිතුරු දීමේ අයිතිය තිබෙන්නේ.

මුලාසනයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර –  ඒකට පැහැදිලි කිරීමක් තිබෙනවා.  රාසමාණික්කම් මන්ත්‍රීතුමාට ඒ පණිවිඩය එන විටම තමයි මාහටත් ඒ සමාන කාලයේදීම පණිවිඩය ලැබුණේ. ඒ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨතමම මන්ත්‍රීවරයා ලෙස අංක එකට මා සිටින්නේ.  ඒ නිසා අපි දෙන්නටම ආරාධනය ලැබුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම්  – ඔබතුමා සභාගර්භයේ හිටියෙත් නැහැනේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර – නැහැ මම සභාගර්භයේ හිටියේ

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුමන්තිරන්ද  ප්‍රකාශ කළේ  එම ක්‍රියාවෙන් රාසමාණික්කම් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවී ඇති බවය.

අර්බුධකාරී අවස්ථාව

ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබූ අතර අප්‍රේල් මස 12 දා  එම ධුරයේ වැඩභාරගත්තේය. පසුව මැයි මස 09 දා සිදුවූ කලහකාරී තත්වය හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනෙට්ටුව ඉවත්වීමෙන් පසුව සියලු දෙනාගේම අමාත්‍යධුර අහිමි විය.  අමාත්‍යවරයෙක්ව සිටින පුද්ගලයෙකු සභාපතිවරයෙක් ලෙස මූලාසනයට පත්කළ නොහැක. එමෙන්ම ශාන්ත බණ්ඩාර මහතා සභාපති නාමාවලියට ඇතුළත් කළ බවට කථානාකවරයා මැයි මස  09 දාට පසුව ප්‍රකාශයක් සිදුකර තිබුණේද නැත. මේ හේතුව පිළිබඳව ප්‍රහේළිකාවක් ඇතිවිය.

තොරතුරු ඉල්ලීම

මේ තත්වය නිවැරදිව දැනගැනීමට මෙන්ම කථානාකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකර ඇතිද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා  ඒ අවස්ථාව වන විට ක්‍රියාත්මක වන සභාපති නාමාවලිය , එය පත්කළ දිනය සහ කථානායකවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සාක්ෂි සටහන් ඉල්ලමින් මැයි මස 18 දා පාර්ලිමේන්තුවට තොරතුරු ඉල්ලීම් පත්‍රයක් යොමුකරන ලදී.

කථානායකගෙන් නිවේදයක්

තොරතුරු ඉල්ලීම යොමුකළ දිනට පසුදින එනම්, මැයි මස 19දින පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් සභාපති නාමාවලියේ සංයුතිය ඉදිරිපත්කළ අතර මැයි මස 19දා සිට එය ක්‍රියාත්මක වන බව පැවසීය. එදින සිට එය බලපැවැත්වෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය‍ . මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රශ්න කර සිටියද කථානායකවරයා එයට ඉඩනොදී කිසිදු ප්‍රකාශයක් නොකර සභාව ඉදිරියට පත්වාගෙන ගියේය. කථානායකවරයා එදින සිදුකළ නිවේදනය සහ එහිදී ප්‍රකාශ කළ නම් මෙසේය,

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 140 ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ 2022.05.19 දින සිට සේවය කිරීම පිණිස මතු සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට මවිසින් නම් කර තිබෙන බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි:— 

• ගරු ශාන්ත බණ්ඩාර මහතා

• ගරු වේලු කුමාර් මහතා

• ගරු මයන්ත දිසානායක මහතා

• ගරු හර්ෂණ රාජකරුණා මහතා

• ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

• ගරු හේෂා විතානගේ මහතා

• ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය

• ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා

• ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා

• ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා

• ගරු වීරසුමන වීරසිංහ මහතා

• ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා

• ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය”

තොරතුරු ඉල්ලීමට වෙනස් පිළිතුරු

මෙම සිදුවීම සම්බන්ධයෙන් මැයි මස 18දා තොරතුරු ඉල්ලීම යොමුකළද මැයි මස  19 තොරතුරු ඉල්ලීම කළ බව පවසමින් මැයි මස 31දා තොරතුරු ලබාදීමේ ලිපියක් පාර්ලිමේන්තුව විසින් යොමුකරමින් කථානායකවරයා  19දා පත්කළ සභාපති මන්ත්‍රී නාමවලිය ලබාදී තිබුණි. කෙසේවෙතත් මැයි මස 18දා වන විට ක්‍රියාත්මක සභාපති මන්ත්‍රී නාමවලිය සහ එය සභාවට ඉදිරිපත් කිරීමේ සාක්ෂි පාර්ලිමේන්තුව විසින් ලබාදී නොතිබුණි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නම්කළ නිලධාරි වෙත මේවනවිට අභියාචනා කර ඇති අතර කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායක් කඩකර ඇති බවට උපකල්පනය කළ හැකිය. එමෙන්ම තොරතුරු පනත සම්මත වූ පාර්ලිමේන්තුව තුළින්ම නිවැරදි තොරතුරු ලබාදීම වෙනුවට එසේ නොකිරීමද කණගාටුවට කරුණකි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව, කියන්නේ මෙන්න මෙවැනි වෙලාවටය.

Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In
Uncategorized

‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *