තොරතුරු දැනගැනීමේ අයිතිය සහ මාධ්‍යය

By In

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ මාධ්‍යය

රටක් ඉතා සාර්ථක ලෙස ප්‍රජාත්‍රන්තවාදය ක්‍රියාත්මක කිරීමේදී තොරතුරු ඉතා වැදගත් සාධකයක් වේ. රටක පුරවැසියා හට තම රාජ්‍යයේ කාලීන දේශපාලනික, සමාජීය සහ ආර්ථික ගැටළු දැනට පවතින ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් බවක් තිබිය යුතුය. මෙකී කාරණය තුළ පුරවැසියා දැනුමෙන් සන්නද්ධ කිරීමේ වගකීම පැවරී ඇත්තේ මාධ්‍යයවේදියා සතුවයි. මෙහිදී මාධ්‍යයවේදියා සතු වගකීම ඉතා පුළුල් පරාසයක් කරා  විහිද යයි. යම් සිදුවීමක් පිටුපස ඇති සත්‍ය කරුණු  ඌන ප්‍රකාශයෙන් හෝ අතිශයෝක්තියක් නොමැතිව පුරවැසියා කරා ගෙනයාමේ මූලික  වගකීම මාධ්‍යයවේදියා සතුවේ. රටක තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට ජනමාධ්‍යයවේදීන්ගේ ක්‍රියාවලිය මූලික ලෙස බලපානු ලබයි. මෙකී සාධක නිසා ඔවුන් යම් වාර්තාකරණයක යෙදීමේදී  එය නිවැරදි සහ උසස් තත්ත්වයෙන් යුක්ත විය යුතුය.

තොරතුරු මුලාශ්‍ර මාධ්‍යවේදියෙක් විසින් අනාවරණය නොකළ යුතු  අතර මාධ්‍යවේදීන් විසින් ඒ සඳහා අවශ්‍ය යොමු කිරීම සිදුකළ යුතුය. මාධ්‍යවේදීන් විසින් තොරතුරු මූලාශ්‍ර අණාවරණය කළ යුතු නොවුණද හැමවිටම තොරතුරු මූලාශ්‍ර ආශ්‍රය කිරීම මාධ්‍යවේදීන් විසින් කළ යුතුය. රටක සිව්වන ආණ්ඩුව ලෙස ද නිරන්තරයෙන් හඳුන්වනු ලබන ජනමාධ්‍ය වූ කලී මහජන සුබසිද්ධියට අදාළ ආණ්ඩුවේ ක්‍රියාවන් පිළිබඳ තොරතුරු, එකී තොරතුරු හෙළිකිරීමෙන් යම් අධිකාරියක් වෙත සෘණාත්මක බලපෑමක් ඇතිවන්නේ වුවද, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමට යටත් කිරීමට සමත් විය යුතුය. මේ අනුව ගවේෂණාත්මක ජනමාධ්‍යවේදය, ජනමාධ්‍ය විසින් පුරවැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙත ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදෙන එක් ක්‍රමයක් වේ. ජනතාවගෙන් බහුතරය සිය තොරතුරු දැනගැනීමේ අයිතිය සෘජු සහ පුද්ගලික ක්‍රමයකින් භාවිතා නොකරන්නේය යන කාරණය අප විසින් සැලකිල්ලට ගැනීමේදී ගවේෂණාත්මක මාධ්‍යවේදයේ මෙකී සුවිශේෂීභාවය අතිශය වැදගත් බව පෙනී යයි. තොරතුරු දැනගැනීමේ අයිතිය ගවේෂණාත්මක මාධ්‍යවේදයේ අතිශය වැදගත් මෙවලමක් බව සනාථ වී ඇත. මේ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය මාධ්‍යවේදීන් සඳහා අතිශයින්ම වැදගත් වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කිරීම තුළින් මාධ්‍යවේදීන්ට ලද හැකි මූලික ප්‍රතිලාභ 3 ක්

විශ්වාසවන්තභාවය සහ නිරවද්‍යතාවය

හරවත් (හොඳ) කතාවක්

සමාජ වටිනාකම

තොරතුරු ඉල්ලීම් හරහා ප්‍රවෘත්ති සහ තොරතුරු සඳහා වූ විශ්වාසනීය සහ නිල මූලාශ්‍රයන් මාධ්‍යවේදීන්ට ලබාගත හැකිය. එසේම කරුණු, සංඛ්‍යාලේඛන සහ වැඩිදුර විස්තර මගින් මාධ්‍යවේදීන් සතුව තිබෙන තොරතුරු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ද මෙය යොදාගත හැකිය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මෙම නීති සම්පාදනය ඔස්සේ  මාධ්‍යවේදීන් හට තම වාර්තාකරණය ඉතා සහසුවෙන් සහ විශ්වාසනීය ලෙස දත්ත එකතු කරමින් වාර්තා  කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙනු ලැබේ.

තවද මෙම පනත ඔස්සේ මාධ්‍යවේදීන් හට සිදු කළ හැකි තවත් වැදගත් සාධකයක් වන්නේ මේ තුළින්  මහජන  මුදල්  වංචා , දුෂණ පිළිබද හෙළිදරව් කිරීමට හැකි වීමයි. තවද මේ තුළින් එයට එරෙහිව ක්‍රියාකිරීමට හැකි වීමත් මෙවැනි ක්‍රියා සදහා නැවතිමේ තිත තැබීම සඳහා උත්සුක වීමට හැකිවනු ඇත. මේ තුළින් මාධ්‍යයෙන් ඔස්සේ ඉටුවිය යුතු රාජ්‍ය  මුරපල්ලෙකු ලෙස ක්‍රියා කිරීම”‍ යන කාර්යය ඉතා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය මාර්ගය සකස් කළ හැකිය.