මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ මෙවර ජනමාධ්‍ය නිදහස් දිනය සමරනු ලබයි. ගෝලීය වශයෙන් පවතින අභියෝග හමුවේ සත්‍යය ගවේෂණය කරමින් සාමය සහ සහජීවනය ගොඩනැගීම සඳහා ජනමාධ්‍ය සතු වගකීම මෙම තේමාවෙන් අවධාරණය කෙරේ.
ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ (World Press Freedom Index) 2025 නවතම දත්ත වාර්තා අනුව, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇත. 2024 වසරේ 150 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව, 2025 වසරේදී 139 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම සුබදායී තත්ත්වයකි. මෙම දර්ශකයේ ඉහළින්ම නෝර්වේ රාජ්‍යය පසුවන අතර, පහළින්ම පසුවන්නේ එරිත්‍රියා රාජ්‍යයයි.

එමෙන්ම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ මාධ්‍ය නිදහසට ඇති බලපෑම පිළිබඳ සිදුවීම් , 2025 වසරේදී 11 ක් ද 2026 මුල් මාස තුන තුළ සිදුවීම් 03 ක් ද මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
සමස්තයක් ලෙස ලොව පුරා ජනමාධ්‍ය නිදහස මේ වන විට දැඩි අභියෝගයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය, ජනමාධ්‍ය නිදහස අතින් දැඩි අසීරුතා සහිත කලාපයක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව දර්ශකයේ ඉදිරියට පැමිණියද, පසුගිය කාලය පුරාවටම ජනමාධ්‍ය නිදහසට බාධා වන විවිධ සිදුවීම් මෙරටින්ද වාර්තා විය.
මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව තවදුරටත් ගෝලීය “රතු කලාපයක්” ලෙස පවතින අතර, කලාපයේ රටවලින් අඩක්ම “ඉතා බරපතල” තත්ත්වයන්ට මුහුණ දී ඇති බව ජනමාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය දර්ශකය සඳහන් කරයි. එම දර්ශකයට අනුව ඇෆ්ගනිස්ථානය 175 ස්ථානයේ සහ පාකිස්ථානය 155 ස්ථානයේ පසුවේ. මාධ්‍ය ආයතන වැසී යාමෙන් සහ ශාරීරික ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳින අතර, වැටලීම් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් ඉන්දියාව ජනමාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය දර්ශකය 151 මට්ටමේ පවතනි අතර මේවා දැඩි අවදානම් මට්ටමක නිරූපණය කරයි..
ස්වාධීන මාධ්‍ය ආයතන අඩපණ කරන ආර්ථික සාධක, ඒකාධිකාරීත්වය සහ මූල්‍ය වාරණ හරහා මාධ්‍ය නිදහස යටපත් කෙරෙමින් පවතින අතර තවද, විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට ත්‍රස්ත විරෝධී සහ සයිබර් ආරක්ෂණ වැනි “නීතිමය අවි” භාවිතා කර මාධ්‍ය මර්දනය කිරීමට රජයත් උත්සහ ගනිමින් සිටින බව ජනමාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය දර්ශකය පෙන්වාදෙයි. මෙම ශාරීරික අවදානම සහ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් නිර්මාණය වන “තොරතුරු රික්තය”, ජනතාව රජයේ ප්‍රචාරක යාන්ත්‍රණවලට සහ කෘතිම බුද්ධිය (AI) මගින් ජනනය කරන අසත්‍ය තොරතුරුවලට ගොදුරු කරවන අතර එය කලාපීය ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරත්වයට තර්ජනයක්ව පවතින බවද ඔවුන් පෙන්වාදෙයි..

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි. ඒ, 1991 වසරේ යුනෙස්කෝ මහා සම්මේලනයේදී ඉදිරිපත් වූ නිර්දේශයකට අනුවය.
මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට මූලික අඩිතාලම වූයේ, 1991 මැයි මස 3 වන දින නැමීබියාවේ වින්ඩ්හෝක් නුවරදී අප්‍රිකානු පුවත්පත් මාධ්‍යවේදීන් විසින් සම්මත කරගත් “වින්ඩ්හෝක් ප්‍රකාශනය” හරහාය.මෙම ප්‍රකාශනය මගින් නිදහස් හා ස්වාධීන මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව අවධාරණය කරන ලදී. මේ හේතුවෙන් සෑම වසරකම මැයි 3 වනදා ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ලෙස නම් කෙරිණි.
#WorldPressFreedomDay2026