පුවත්

විනිවිද නොපෙනන හජ් වන්දනය

By In

ආර්ථික වශයෙන්  ප්‍රමාණවත්  ශක්තියක් ඇති  මුස්ලිම් ජනතාවට  සිය ජීවිත කාලය තුල එක් වරක් හෝ  හජ් වන්දනය ඉටු කිරීම අනිවාර්ය වගකීමක් වෙයි. ඉස්ලාම් ධර්මයේ සඳහන් අනිවාර්ය වගකීම් පහෙන් අවසන් වගකීම ලෙස මෙම හජ් වන්දනය ඉටු කිරීම සඳහන් කළ වෙයි. හජ් වන්දනය ඉටු කිරීම අනිවාරය වගකීමක් වුවද එය සියලු මුස්ලිම්වරුන්ට අනිවාර්ය නොවන නමුත්   ආර්ථික වශයෙන් ප්‍රමාණවත් ශක්තියක් ඇති පුද්ගලයින් සඳහා ජීවිතයේ එක් වරක් හෝ හජ් වන්දනය ඉටු කිරීම අනිවාර්ය වෙයි.

හජ් වන්දනය යනු සවුදි අරාබියේ පිහිටි ඉස්ලාම් ධර්මයේ වැදගත් සිදුවීම් සිදු වු සහ  මුහම්මද් නබි තුමාණනන් ඉපදී  හැදුනු  වැඩුණු සහ ආගමික දේශණාවන් සිදු කළ මක්කා  මදීනා ඇතුළු නගරයන්වල ශුද්ධ වූ ස්ථාන සියැසින් දැක බලා ගැනීම සඳහා අවස්ථාව උදා කර ගැනීමයි.

මුදල් තිබූ පමණින් හජ් වන්දනය ඉටු කිරිමට සියලු  දෙනාට නොහැකියි. හජ් වන්දනය වසරේ සෑම දිනකම ඉටු කළ නොහැකි අතර හජ් උත්සවය පැවැත්වෙන කාලසීමාවේ එක් මසක කාලයක් පමණක් මේ සඳහා වෙන් කර තිබේ. එය ලෝකයේ සියලු රටවල මුස්ලිම් ජනතාව සඳහා විවෘත වන අතර එක් එක් රටවල සිට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඒ ඒ රටවල ජනගහණය අනුව සහ වෙනත් යම් යම් නිර්ණායකයන් අනුව සිමා කිරිමට සවුදි අරාබියානු රජය  කටයුතු කරයි.

වසරකට එක් වරක් ඉටු කරනු ලබන හජ් වන්දනයට දැඩි සීමාවක් පැවතිම නිසාත් මේ සඳහා ශ්‍රී ලංකාව තුල දැඩි තරඟකාරිත්වයක් දැකිය හැකියි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය දළ වශයෙන් ලක්ෂ 20 ක් වෙයි. මෙම ලක්ෂ 20 වෙනුවෙන්ම පසුගිය වසර කිහිපය පුරාම ලැබුණු හජ් වන්දනාව සඳහා වු කෝටාව 3000 ත් 4000 ත් අතර ප්‍රමාණයකි.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත අනුව කරන ලද තොරතුරු විමසිමකදී මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරු අනුව 2025 වසරේ හජ් වන්දනය සඳහා ශ්‍රී ලංකාවට ලැබී ඇති කෝටාව 3500 ක් පමණකි.මෙය ශ්‍රී ලංකාවේ  සමස්ත මුස්ලිම් ජනගහණයට සාපේක්ෂව සියයට  0.17 ක ප්‍රමාණයක් වෙයි.

මුස්ලිම් ජනතාව සාමාන්‍යෙයන් වැඩි ආගමික නැඹුරුවක් සහිත පිරිසක් බැවින් තම ආගමේ අනිවාර්ය වගකිමක් වන හජ් වන්දනය තම ජීවිත කාලයේ එක් වරක් හෝ ඉටු කර ගැනීමට සෑම උත්සාහයක්ම ඔවුන් ගනිති. මෙම තත්වය තුල බොහෝ අවස්ථාවන්වල පසුගිය වසර ගණනාවක් පුරා ඔවුන් දැඩි රැවටිම්වලට ලක්ව  ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පෙනී යයි.  මීට වසර කිහිපයකට පෙර  හජ් වන්දනය තුල දැඩි මාෆියාවක් පැවැති බවත් එය විසඳීම සඳහා  බොහො ආගමික සංවිධාන දැඩි වෙහෙසක් ගත් අයුරුත් අපට මතක තිබේ. මේ ගැටළුව තවමත් සම්පූර්ණයෙන් විසඳී නොමැති බව පෙනේ .

වාර්ෂිකව ශ්‍රී ලංකාවට හජ් වන්දනය සඳහා ලැබෙන කෝටාව අඩු පමාණයක් නිසා පවතින දැඩි තරඟතාරිත්වය නිසාම මෙහි මිළ ඉතා ඉහළ මට්මක පැවැතිණ. මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ලබා දෙන හජ් කෝටාව නියෝජිත ආයතන 92 ක්  අතරේ බෙදා හරිනු ලබයි.හජ් වන්දනාව සංවිධානය කිරීම බැතිමතුන් රැගෙන යාම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දිම මෙම නියෝජිත ආයතන වෙත පැවරේ. මෙම ආයතන අතර  බෙදා හැරීම සමව සිදු වන බවක් හෝ එක් එක් ආයතනයේ ධාරිතාවය අනුව හෝ වෙන යම් නිර්ණායකයක් අනුව බෙදා හැරීමක් සිදු වන්නේද යන්න පැහැදිලි කිරිමක් සිදු කර නැත. කෙසේ නමුත්  2025 වසර සඳහා ලැබී තිබූ 3500  ක හජ් කෝටාව නියෝජිත ආයතන 92 ක් හරහා බෙදා හැර ඇති බව දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරුවලට අනුව  හජ් වන්දනය ඉටු කිරීම සඳහා යන එක් බැතිමතෙකුගෙන් අය කළ හැකි උපරිම මුදල  ලක්ෂ 21 ක් බව සඳහන් කර තිබේ. මෙම මුදල දින 30 ක වන්දනා කාලයක් තුල හජ් වන්දනය ඉටු කිරීමේදී වැදගත් වන මක්කම,අරෆා,මීනා,මුස්ලතිෆා,අසිසියා සහ මදීනා යන නගරවල පූජනීය ස්ථානයන් දැක බලා ගැනිමට අවස්ථාව ලබා දීම, ආහාර පාන  නවාතැන්  සෞඛ්‍ය සහ වෙනත් මූලික සුබසාධාන කටයුතු ලබා දීම ඇතුලත් වන බවත් ඒවා ලබා දිම සම්බන්ධයෙන් හජ් කමිටුව සහ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නිසි අධික්ෂණයක් සිදු වන බවත් දෙපාර්තමේන්තුව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

කෙසේ නමුත්  දෙපාර්තමේන්තුව කෙතරම්  නීති රීති පනවා තිබුණද පවතින තරඟකාරිත්වය තුල මේ තුලද අකටයුතුකම්  සිදු වන බව  ඇතැම් පිරිස් පවසති.  දෙපාර්තමේන්තුවේ නියමය දින 30 ක් සඳහා රුපියල් ලක්ෂ 21 ක් අය කළ යුතු වුවද ඊට අඩු දින ගණනක් සඳහා වැඩි මුදලක් අය කරන අවස්ථා පවතින බවත්  හජ් වන්දනය  බොහෝ අවස්ථාවන්වල ව්‍යාපාරයක් බවට පත්වන අවස්ථා පවතින බවත් ඔවුහු ප්‍රකාශ කරති.

හජ් වන්දනය සිදු වන කාල සීමාව තුල පවතින දැඩි තරඟකාරිත්වය නිසා ඇතැම් නියෝජිත ආයතන   තම ආයතනය වෙත ලැබෙන ප්‍රමාණයෙන් යම් කොටසක් රඳවා  තබා ගෙන සිට අවසන් මොහොතේ   නිර්දේශිත මිලට වඩා වැඩි මිළක් යටතේ ලබා දීම සිදු වන බවත් පසුගිය වසරවන නිරීක්ෂණය විය.

හජ් වන්දනය ඉටු කිරීම සඳහා වැය වන අති විශාල මුදල ගැන සිතා ආර්ථික අග හිඟ කම් ඇති   සාමාන්‍ය පුද්ගලයින් සඳහා හජ් වන්දනය ඉටු කිරීමට අවස්ථාව ලබා දීම අරමුණු කර  ගෙන සවුදි අරාබියානු රජය විසින් යම් කිසි ප්‍රමාණයකට නොමිළයේ අවස්ථාව ලබා දෙනු ලබයි. දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරුවල මෙම වසරේදී  නොමිළයේ හජ් වන්දනය ඉටු කිරීම සඳහා කිසිදු අවස්ථාවක් නොලැබුණු  බව සඳහන් කර තිබේ. නමුත් පසුගිය වසරවල මෙම අවස්ථාව හිමිව තිබූ අතර එම අවස්ථාවන් භාවිතා කරමින් විෂය භාර අමාත්‍යවරයාගේ හිතවතුන් ඥාතින්  ඇතුළු පිරිසකට මෙම අවස්ථාවලින්  වැඩි ප්‍රමාණයක් ලබා දි තිබූ අතර සවුදි අරාබි රජයේ අරමුණු එමගින් කිසි සේත් ඉටු වී නොතිබිණ. මෙවර ඒ අවස්ථාව නොලැබිමට එයද හේතුවක් වූවා විය හැකිය. 

හජ් වන්දනය යනු ආගමික කටයුත්තකි .මුස්ලිම්  ජනතාවට  අනිවාර්ය වී ඇති  වගකීම් පහක්  වන අල්ලාහ්  දෙවියන් වහන්සේ ගැන මෙන්ම ඔහුගේ  දූතයාණන් වන මුහම්මද් නබි තුමාණන්  ගැන විශ්වාස කිරිම, පස් වේල් සලාතය, රමලාන් මස උපවාසය සුරුකීම, සකාත් නම් දුගී බද්ද දිම සහ මෙම හජ් වන්දනය යන වගකීම් පහ අනිවාර්ය කර තිබේ. මෙම වගකීම් පහෙන් හතරක් මෙරට තුල පහසුවෙන් ඉටු කර ගත හැකි වුවද හජ් වන්දනය ඉටු කිරීම සඳහා නියමිත කාලය තුල සවුදි අරාබියට යා යුතුය. මෙය කළ හැක්කේ ඒ සඳහා වැය කළ හැකි මුදල් තමන් සතුව පවතී නම් පමණකි. මේ සඳහා වැය කළ හැකි මුදල් ඇති විශාල පිරිසක් ලංකාව තුල සිටින අතර ඔවුන් ඒ සඳහා කෙසේ හෝ අවස්ථාව ලබා ගන්නට  උත්සාහ කරති. එය කිරීමේදී වැය වන මුදලේ ප්‍රමාණය හෝ අනෙකුත් පහසුකම් ගැන වැඩි අවධානයක් යොමු නොකරති. ඒ නිසා මෙහි වගකීම දරණ රාජ්‍ය දෙපාර්තමේන්තුව වන මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව  මේ සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු කර විශේෂයෙන් මේ සඳහා අය කළ හැකි උපරිම මුදල, ගත කළ යුතු දින ගණන, ලබා දිය යුතු පහසුකම්, සුබසාධන කටයුතු සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරිමක් වසරක් පාසා කල් වේලා ඇතිව සිදු කිරීම මගින් මෙ තුල සිදු විය හැකි අකටයුතුකම් වළකා ගත හැකි බව බොහෝ දෙනෙකුගේ මතයයි. හජ් වන්දනය සඳහා ඉදිරිපත් වන බොහෝ පුද්ගලයින්ට ඒ සඳහා අය කළ හැකි මුදල සම්බන්ධයෙන් හෝ ලබා දිය යුතු පහසුකම් සහ ගත කළ යුතු දින ගණන සම්බන්ධයෙන් නිසි අවබෝධයක්  නොමැති බව මේ ගැන සොයා බැලීමේදී දැන ගන්නට ලැබිණ. ඉදිරි වසරවලදී හෝ මෙම දැනුවත් කිරීම කල් වේලා ඇතිව සිදු කරන්නේ නම් අගනේය .

මොහොමඩ් ආසික්

පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *