පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

By In
  • රුපියල් මිලියන 19 පමණ   නැවත මළු කිරීමේ අභිරහස
  • නැවත මළු කිරීමට ගිය වියදමත් පොහොර මිලට එකතු කරලා 

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ අනාවරණය වී තිබේ. මෙය රාජ්‍ය පොහොර සමාගම විසින් 2023 වසරේ සිට 2025 ජූලි දක්වා කාලය තුළ මළු කර තිබු  MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර නැවත කවර මාරුකරමින් මළු කිරීම සම්බන්ධයෙන් සිදුකළ අතිවිශාල වියදමක් පිළිබඳ අනාවරණයකි.

වඩාත් පුදුම සහගත කරුණ වන්නේ, එක් අවස්ථාවකදී “ව්‍යාපාරික රහස්” සහ “තරගකාරී වෙළඳපොළ අභියෝග” පවසමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ රාජ්‍ය පොහොර සමාගම, තොරතුරු කොමිසමේ නියමය හමුවේ හෙළිදරව් කළ දත්ත මගින් රුපියල් මිලියන 19කට අදික මුදලක් (19709938) හුදෙක් ‘කවර මාරු කිරීම’ වෙනුවෙන් පමණක් වැය කර ඇති බව තහවුරු වීමයි.

තොරතුරු දීම මඟ හැරීම 

රාජ්‍ය පොහොර සමාගම මගින් MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර නැවත කවර මාරුකරමින් සිදුකරන ලද කාර්යයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව එහි සත්‍යතාව සොයා බැලීම සඳහා 2025.07.21 දිනැතිව ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තොරතු ඉල්ලුම් පත්‍රයක් අදාල පොදු අධිකාරිය වෙත යුමුකරනු ලැබුවත් 2012.08.12 දිනැතිව එම තොරතුරු ලබාදීමෙන් ‘’වාණිජ රහස් වෙළඳ රහස් තොරතුරු හෙළිදරව් කිරීමෙන් තුන්වන පර්ශවක තරඟකාරී තත්වයට අහිතකර ලෙස බලපානු ලබන හේතුව මත’’ අදාල තොරතුරු ලබාදීම රාජ්‍ය පොහොර සමාගම ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ නමුත් අදාල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තොරතුරු කොමසිම වෙත යොමුකරන ලද අභියාචනය, අභියාචනා අංක RTIC/APPEAL/1252/2025 යටතේ විභාග කිරීමෙන් පසු කොමිසම අදාල පොදු අධිකාරියට පවසා සිටියේ අදාල තොරතුරු වාණිජ රහස් වෙළඳ රහස් ගණයට වැටෙන ආකාරය සම්බන්ධයෙන් ලිඛිත දේශනයක් මගින් කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසයි.පසුව අදාල පොදු අධිකාරිය 2026.01.16 දිනැතිව අදාල තොරතුරු ලබාදීම සිදුකරන ලදී.මින් පැහැදිලි වන්නේ රාජ්‍ය පොහොර සමාගමේ අදාල තොරතුරු නිලධාරියා තොරතුරු ඉල්ලුම්කරු නොමඟ යැවීමට ගත් උත්සහයක් නොවේද? යන්න සම්බන්ධයෙන් ස්වාධීන ඕනෑම පුරවැසියෙකුට වැටහෙන කාරණයක් වේ. 

වසරකින් වසරට ඉහළ ගිය ‘ඇසුරුම්’ වියදම

කෙසේ එනමුත් රාජ්‍ය පොහොර සමාගම මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබා දී ඇති දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ 2023 වසරේදී මෙම නැවත මළු කිරීමේ ක්‍රියාවලිය සඳහා කිසිදු වියදමක් දරා නොමැති බවයි. එහෙත් 2024 වසරේ සිට මෙම තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස් වේ.ඒ අනුව 2024 වසර තුළදී  පොහොර මළු 6,972ක් නැවත මළු කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 899,388කි.2025.ජූලි දක්වා වසරේ මුල් මාස හත ඇතුළත පමණක් මළු 92,630ක් ඒ ආකාරයෙන් නැවත මළු කර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 18,810,550කි (රුපියල් එක්කෝටි අසූ අට ලක්ෂය ඉක්මවයි).මේ ආකාරයෙන් වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මළු කිරීමේ පිරිවැය රුපියල් ලක්ෂ 9 සිට කෝටි 1.8 දක්වා 20 ගුණයකින් පමණ ඉහළ යාම බරපතල සැකයට කරුණකි.

සුදු මළු කහ වූයේ ඇයි?

සමාගම පවසන පරිදි මෙම මළු මාරු කිරීමට හේතුව වී ඇත්තේ ගබඩා කර තිබූ පොහොර මළු “අවපැහැ ගැන්වී” තිබීමයි. සුදු පැහැති කවරවල තිබූ පොහොර කහ පැහැති නව කවර වෙත මාරු කර ඇත්තේ රසායනාගාර පරීක්ෂණ මගින් ප්‍රමිතිය තහවුරු කර ගැනීමෙන් අනතුරුව බව ඔවුන් පවසයි.

කෙසේ වෙතත්, මෙහිදී මතු වන ප්‍රශ්නය නම්, මෙතරම් විශාල පොහොර තොගයක් අවපැහැ ගැන්වෙන තුරු ගබඩා කර තැබුවේ ඇයිද යන්නයි. තොරතුරු අනුව පොහොර ටොන් 4,980.100ක් මෙලෙස නැවත මළු කර ඇත. රාජ්‍ය දේපළ නිසි කළමනාකරණයකින් තොරව ගබඩා කිරීම නිසා සිදුවූ හානිය වසා ගැනීමට මහජන මුදල් කෝටි ගණනින් වැය කර ඇති බව මෙයින් පැහැදිලි වේ.

කම්කරු සහ යන්ත්‍ර සූත්‍ර පිරිවැයේ අසමතුලිතතාවය

නැවත මළු කිරීමේ ක්‍රියාවලිය සඳහා වැය කළ මුදල් පිළිබඳ දත්ත පිරික්සීමේදී තවත් ගැටලුවක් මතු වේ.

කාල සීමාවකම්කරු ගාස්තු (රු.)යන්ත්‍ර සූත්‍ර ගාස්තු (රු.)
20230.000.00
2024348,600.000.00
2025 (ජූලි දක්වා)2,637,945.008,432,775.00

2024 වසරේදී යන්ත්‍ර සූත්‍ර සඳහා කිසිදු වියදමක් දරා නොමැති අතර, 2025 වසරේදී යන්ත්‍ර සූත්‍ර සඳහා පමණක් රුපියල් ලක්ෂ 84කට අධික මුදලක් වැය කර ඇත.එම යන්ත්‍ර සුත්‍ර කුලී පදනම මත ලබා ගැනීමද මෙහිදී කපිපෙනන දෙයක් වේ. එක් පොහොර කවරයක මිල රුපියල් 79.50ක් ලෙස සටහන් වන විට, සමස්ත ක්‍රියාවලිය සඳහා දරා ඇති පිරිවැය පොහොරවල අවසන් විකුණුම් මිලට එකතු කිරීමට ද කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ. එහි අවසන් පීඩනය එල්ල වන්නේ අහිංසක ගොවියාටය.

කළමනාකරණයේ දුර්වලතා සහ බාහිර පාර්ශවයන්ට පැවරීම

2025 මැයි 19 වන දින පැවති කළමනාකරණ කමිටු රැස්වීමේ වාර්තා අනුව, MOP පොහොර නැවත මළු කිරීම බාහිර පාර්ශවයක් හරහා සිදු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා හේතුව ලෙස දක්වා ඇත්තේ “කම්කරු හිඟය” සහ “යල කන්නයේ ඉල්ලුම” යන්නයි. එහෙත්, රාජ්‍ය ආයතනයක් සතුව පවතින සම්පත් භාවිතා නොකර, මෙතරම් විශාල මුදලක් බාහිර පාර්ශවයන්ට ලබා දෙමින් සිදුකරන මෙම “නැවත ඇසුරුම් කිරීමේ ව්‍යාපෘතිය” පිටුපස කිසියම් අක්‍රමිකතාවක් පවතීද යන්න විමර්ශනය කළ යුතුය.

විශේෂයෙන්ම, “වගා කටයුතු සිදු නොකරන කාලසීමාවන් (Off Season) තුළදී වැඩි වශයෙන් පොහොර නැවත මළුගත කිරීම සිදු කළ යුතු බව” සභාපතිවරයා උපදෙස් දී ඇතත්, ප්‍රායෝගිකව සිදුව ඇත්තේ කන්නය ආරම්භ වූ පසු හදිසියේ අධික පිරිවැයක් දරා බාහිර පාර්ශව ලවා මෙය කරවා ගැනීමයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසන්නට  තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා නොකරන්නට, සුදු මළු කහ කිරීම වෙනුවෙන් වැය කළ මෙම රුපියල් කෝටි දෙකකට ආසන්න  මුදල පිළිබඳ තොරතුරු කිසිදා සමාජයට හෙළි නොවනු ඇත. “ව්‍යාපාරික රහස්” ලෙස හංවඩු ගසා වසා ගැනීමට උත්සාහ කළේ රාජ්‍ය අංශයේ පවතින අකාර්යක්ෂමතාවය සහ මහජන මුදල් අවභාවිතයද යන්න දැන් බලධාරීන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි.

අවපැහැ ගැන්වෙන තුරු පොහොර ගබඩා කර තැබූ නිලධාරීන් කවුද? රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කර මළු මාරු කිරීමේ කොන්ත්‍රාත්තුව හිමි වූයේ කාටද? මේවා හුදු සංඛ්‍යාලේඛන නොව, රටේ බදු ගෙවන ජනතාවගේ දහඩිය කඳුළුවල වටිනාකමයි. දුෂණයෙන් තොර රටක් තැනීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් උදම් අනන වර්තමාන රජය කටයුතු කරන්නේ මෙවන් නිලධාරීන් කණ්ඩායමක් රකිමින්ද යන්න ගැටලුව පැන  නගින්නේ අප මිට පෙර අවස්ථාවකදීද රාජ්‍ය පොහොර සමාගමේ පවතින අක්‍රමිකතා කීපයක් සම්බන්ධයෙන් කරුණු වාර්තාකරණු  ලැබුවත් ඒ සම්බන්ධයෙන්ද කිසිදු නිසි පරීක්ෂණයක් මේ දක්වා සිදු නොකට මේ සඳහා උඩගෙඩි ලබාදෙන නිලධාරීන් කණ්ඩායමක් රකිමින් ආණ්ඩුවේ ඇතැමුන් කටයුතු කිරමින් තිබීමයි.එමෙන් මහජනතාවගේ මුදල් සුරකමින් හෝ අවභාවිත කරමින් හෝ නාස්ති කරමින් කටයුතු කරනු ලැබූ මේ පිළිබඳව විධිමත් විගණන පරීක්ෂණයක් හෝ නිසි පරීක්ෂණයක් පැවැත්වීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.නමුත් එයද හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි ක්‍රියාවක් නොවිය යුතුය.

රාහුල්සමන්තහෙට්ටිආරච්චි 

පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *