Social

වැටුප් හා දීමනා නොගන්නා කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවේ නෑ!

By In

රාහුල්  සමන්ත හෙට්ටිආරච්චි 

  • මැති ඇමති වැටුප් බිල මසකට රුපියල් කෝටි අටයි 
  • පසුගිය වසරේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියක් කෝටි 35ක් 
  • ඇමතිවරු 19 දෙනෙක් ඉන්ධන දීමනා දෙක බැගින් අරගෙන

පාර්ලිමේන්තුවට තේරී පත් වන මහජන නියෝජිතයන් භුක්ති විඳින විඳින අධික වරප්‍රසාද සම්බන්ධයෙන් කලක පටන් සමාජයේ දැඩි විරෝධයක් ගොඩනැගී තිබිණි. මෙම අධික වරප්‍රසාද කප්පාදු කළ යුතු බව, වත්මන් පාලක පක්ෂය බවට පත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සටන්පාඨයක් වූ අතර, හිටපු ජනපතිවරුන් මහජන මුදලින් නඩත්තු කිරීමේ ක්‍රමය අවසන් කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට ධුර කාලය තුළ හිමි වන විවිධ වරප්‍රසාද අහෝසි කිරීම යනාදිය ඒ තුළ තිබිණි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුවේ නියෝජිතයින් බලයට පත්විමට පෙර මැතිවරණ වේදිකාවලදීද ප්‍රකාශ කළේ තමන්ට හිමි වන මන්ත්‍රී වැටුප පවා පෞද්ගලිකව ලබා නොගන්නා බවයි. මෙම ප්‍රකාශ සහ යථාර්ථය අතර පරතරයක් තිබේද? තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබාගත් නිල තොරතුරු අනාවරණය කරන්නේ, සැබැවින්ම එවැනි පරතරයක් තිබෙන බවයි. 

වැටුප් නොගැනීම බොරුවක් 

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සමස්ත නියෝජිතයින් ගණන 159කි. පාර්ලිමේන්තුව මගින් ලබාගත් 2025 ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනක වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරුවලට අනුව අනාවරණය වූයේ ඒ අතුරින් කිසිවකු මහජන මුදලින් වැටුප් සහ දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 107දෙනා සහ අගමැතිනිය ප්‍රමුඛ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුද, කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය සභාපතිනිය ඇතුළු 52 දෙදෙනාද ඒ අතර වෙති. මෙම සියලු දෙනාට අදාළ වැටුප් හා දීමනා පාර්ලිමේන්තුව මගින් මාසිකව ඔවුන්ගේ බැංකු ගිණුම්වලට යොමු කර හෝ චෙක්පත් මගින් ඔවුන්ට ලබා දී තිබෙන බව අනාවරණය වේ. 

ඒ ආකාරයෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් (55,155,993.46) ගෙවා ඇති අතර එම මුදල සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා ගෙවූ වැටුප් ඇතුළත් නොවන අතර එම වැටුප් ගෙවා ඇත්තේ අදාළ අමාත්‍යාංශ මගිනි. අමාත්‍යවරයෙකු හටද සාමාන්‍ය වැටුප රුපියල් 65,000ක් පමණ ගෙවන අතර ඒ අනුව අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් 49 දෙනකු සඳහා මාසිකව රුපියල් තිස් එක් ලක්ෂයකට අධික මුදලක් (3,185,000.00ක්) වැයකරනු ලැබේ

ඉන්ධන දීමනා දෙකක් 

එමෙන්ම පත්වීම් ලද දින සිට 2025 මාර්තු මස දක්වා අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබෙන ඉන්ධන දීමනාව හා අමාත්‍යරයෙකු ලෙස ලැබෙන ඉන්ධන දීමනාව වශයෙන් ඉන්ධන දීමනා දෙකක් ලබාගෙන තිබෙන බව අනාවරණය වේ. කෙසේ නමුත් අගමැතිනිය ප්‍රමුඛ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුගේ ඉල්ලීම මත  2025 අප්‍රේල් මස සිට පාර්ලිමේන්තුව මගින් ඔවුන්ට ගෙවනු ලබන ඉන්ධන දීමනාව ගෙවීම අත්හිටුවා ඇති නමුත් තවත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු පෙර සේ අදාළ අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුව යන දෙකෙන්ම ඉන්ධන දීමනා ලබා ගනිමින් තිබේ.

මන්ත්‍රී දීමනා 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වැටුප සහ ලබාදෙන අනෙකුත් දීමනා කීපයක් තිබේ. මාසික දීමනාව ලෙස රුපියල් 54,285.00 ක මුදලක් ද මාසික සංග්‍රහ දීමනා  ලෙස රුපියල් 1000.00ක්, රියදුරු දීමනාව ලෙස රුපියල් 3500.00ක්, දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000.00ක්, මන්ත්‍රීවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම පියවා ගැනීම වෙනුවෙන් රුපියල් 15,000.00ක්, කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000.00ක්, පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රුපියල් 2500.00ක් පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා සඳහා සහභාගීවීම වෙනුවෙන් රුපියල් 2500.00ක් මෙන්ම මන්ත්‍රීවරයා නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කය අනුව ඉන්ධන ලීටර් ප්‍රමාණයක්ද ලබාදෙනු ලැබේ. නිදසුන් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් හට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් ලබාදෙන අතර දිගාමඬුල්ල, යාපනය, මඬකලපුව දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් හිමි වේ.

මේ ආකාරයෙන් 2025 මාර්තු මාසයේදී පමණක් කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් වෙනුවෙන් රුපියල් කෝටි අටකට අධික මුදලක් (80,102,056.21) වැය කර තිබේ. ඊට ආසන්න මුදලක් සෑම මාසයකදීම ඉහත තනතුරු වෙනුවෙන් වැය කිරීමට සිදුවන බවද පෙන්වා දිය යුතු කරුණකි.

මන්ත්‍රී විශ්‍රාම වැටුප 

වත්මන් රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී තිබෙන විශේෂ වරප්‍රසාද අහෝසි කරන බවත් සහ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5කට පසු ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කරන බවත් සඳහන් විය.

 මේ අතර  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව 2025 පෙබරවාරි 07 වනදා  පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බවයි. එමෙන්ම 2025 මාර්තු මස 21 පැවති පාර්ලිමේන්තු සැසි වාරයකදී මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ප්‍රකාශ කළේය.

 ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න (සංශෝධන) කිරීම සඳහා පනත් කෙටුම්පත් 2 ක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය ජුනි  මාසයේදී අනුමත කර තිබේ.

 මේ ආකාරයෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබා ගන්නා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325ක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174ක් හා විශ්‍රාම වැටුප් හිමිකම දරන දරුවන් 7දෙනෙකු ද වශයෙන් 506 දෙනෙකු වෙනුවෙන් 2024 වර්ෂයේදී පමණක් විශ්‍රාම වැටුප් ලබාදීම වෙනුවෙන් රුපියල් තිස්පන්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් (357,729,143) වැය කර තිබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ. ඒ අනුව 2018 වර්ෂයේ සිට 2024 දක්වා වූ වසර 07ක කාලයක් වෙනුවෙන් මාසිකව ලබාදුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප වෙනුවෙන් රුපියල් බිලියන දෙකකට අධික මුදලක් (2,188,746,104) වැය කර තිබේ.

කෙසේ නමුත් මේ ආකාරයෙන් විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්, මන්ත්‍රී වැන්දඹු හා දරුවන් අතර සිටින එම වැටුපෙන්ම පමණක් ජිවත්වන පිරිස් සඳහා මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළහොත් අත්වන ඉරණම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. එමෙන්ම මෙතෙක් විශ්‍රාම වැටුප් ලබා ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ හැකි ලෙස අතීතයට බලාපාන අයුරින් මෙම නීති සැකසිය හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවට අනුව අතීතයට බල පැවැත්වෙන පරිදි නීති සකස් කිරීමට හැකියාවක් නොපවතින බවයි.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *