- සභාපති තනතුර තවම හිස්
- තවත් අනුමත තනතුරු 18ක පුරප්පාඩු
තොරතුරු කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය විය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත් තොරතුරු සියල්ලම පාහේ දැන් ලබා ගැනීමට සිදුවී ඇත්තේ තොරතුරු පනත මගින් අයදුම් කිරීමෙනි. උදාහරණයක් ලෙස පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කළ විදේශ ගිවිසුම් සම්බන්ධයෙන් මතු වූ කතා බහට රජයේ ප්‍රධාන පෙළේ මැති අමතරවරුන්ගෙන් ලද ප්‍රතිචාරය වූයේ ඒ සියල්ලද තොරතුරු දැන ගැනීමේ පනත ආශ්‍රයෙන් ලබාගන්නා ලෙසය. එය තොරතුරු පනත සම්බන්ධයෙන් කිසියම් සාධනීය බවක් පෙන්නුම් කරන ලද ප්‍රකාශයක් ලෙස ගත හැකි වුවත්, තොරතුරු පනතෙන් ඉල්ලීම් හෝ අභියාචනා ලැබෙන තුරු නොසිට ප්‍රගාමී ලෙස තොරතුරු හෙළි කිරීම රජය සතු වගකීමක් බව තොරතුරු පනත අවධාරණය කරයි.
කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව අර්බුදයකට මුහුණපා සිටි. ඒ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරමින් සිටි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මේ වෙන විටත් සිය ඉල්ලා අස්වීම භාරදී මාස දෙකකට අධික කාලයක් ඉක්මවා ගොස් ඇති පසුබිමෙක එම තනතුර සඳහා සුදුස්සකු පත් කිරීමට තවමත් රජයට නොහැකි වී ඇති බැවිනි.
එපමණක් නොව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයයෙක් වූ විශ්‍රාමික විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් ඇති වූ පුරප්පාඩුව මාස පහකට ආසන්න කාලයක් ගත වන තුරුත් පැවති අතර මේ වන විට ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දුෂ්මන්ත නිහාල් සමරකෝන් මහතා පත් කොට තිබේ.
මේ ආකාරයට ප්‍රබල තනතුරු පුරප්පාඩුව පැවතීම කොමිෂන් සභාව විසින් සිදු කරන අභියාචනා හා පැමිණිලි විමර්ශන අඛණ්ඩව ඉදිරියට යෑමේ ක්‍රියාවලියට බාධාවකි. මේ නිසා ජාතික වශයෙන් වැදගත් හා පොදු ජනතාවට බොහෝ අත්‍යවශ්‍ය තොරතුරු හෙළිදරව් කර ගැනීමේ අභියාචනා එකවර මාසයක් දෙකක් හෝ ඊට වැඩි කාලයකට කල් දැමීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් ඍජුවම ජනාධිපතිතුමා හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී කඩිනම්ව පියවර ගැනීමට අවධානය යොමු කළ යුතුය.
තොරතුරු දැනගැනීමේ පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමත් සමග එහි පළමුවෙන්ම පත් වූ කොමිෂන් සභාව සිය මුල්ම ධුර කාලය 2016-2021 දක්වා වසර 5කින් අවසන් කළේය. එහි සභාපති ධුරය ඇතුළු සෙසු නිලතල සඳහා තොරතුරු පනතේ විධිවිධාන ප්‍රකාරව සාමාජිකයන් පත් කර ගන්නා ලදි. ඒ අනුව පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත හා ජනාධිපතිතුමාගේ එකඟත්වයෙන් එහි මුල්ම සභාපති ලෙස මහින්ද ගම්මන්පිල මහතාද, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, විශ්‍රාමික විනිසුරු රෝහිණි වල්ගම, නීතීඳ එස්.ජී පුංචිහේවා, ආචාර්ය සෙල්වී තිරුචන්ද්‍රන් යන අය කොමසාරිස්වරුන් ලෙසද කටයුතු කළහ. ඉන් අනතුරුව 2022 වර්ෂයේ සිට මේ දක්වා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විශ්‍රාමික උපාලි අබේරත්ත මහතා සභාපති ලෙසද, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි, විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, ඒ. මොහොමඩ් නහීයා යන අය කොමසාරිස්වරුන් ලෙසද කටයුතු කළහ.
ඒ අතරතුර පසුගිය වසරේ අග භාගයේදී කොමිෂන් සභාවේ සාමාජික විශ්‍රාමික විනිසුරු රෝහණී වල්ගම මහත්මියත්, මේ වසරේ මාර්තු මාසයේදී එහි සභාපති ධුරයේ කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාත් ඉල්ලා අස්විය. ඉන්පසු විශ්‍රාමික විනිසුරු රෝහිණි වල්ගම මහත්මියගේ හිස්වූ ධුරයට පාර්ලිමේන්තුව මගින් මෙම වසරේ ජනවාරි මාසයේදීත්, පසුව එකී ඉල්ලුම් කිරීමේ කාලය නැවත දීර්ඝ කිරීමෙන් අනතුරුව ඉකුත් අප්‍රේල් පළවෙනිදා දක්වාත් සුදුස්සන්ගෙන් අයදුම් පත්‍ර කැඳවන ලදි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දුෂ්මන්ත නිහාල් සමරකෝන් මහතා පත් කරන ලද්දේ ඒ අනුවය.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇති වී තිබෙන පුරප්පාඩුව පිරවීමට නිර්දේශ කිරීම සඳහා ප්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන වෙතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නාමයෝජනා කැඳවිය යුතු වේ.
පනතේ විධිවිධානවලට අනුව කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීණත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතු බව දක්වා ඇත. තවද, එසේ නාමයෝජනා කරනු ලබන නාමිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු, යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් හෝ යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතු අතර යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදෙන අයෙකු විය යුතුය. කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු පවත්වා ගැනීම සඳහා ඉහත නිර්ණායක ඔස්සේ සුදුස්සන් පත් කර ගැනීමට ජනතාව සතුවද සුවිශේෂි වගකීමක් තිබේ.
එපමණක් නොව තොරතුරු කොමිෂන් සභාවේ කාර්යයන් ඉදිරියට පවත්වා ගැනීම සඳහා රජය මගින් සැපයෙන භෞතික හා මානව සම්පත්වල අඩු ලුහුඬුකම් පවතින බවටද එම කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත. අනුමත සේවක ප්‍රමාණයෙන් මේ වන විටත් තනතුරු 18ක් පුරප්පාඩු වී තිබේ. එය සමස්ත අනුමත තනතුරු ප්‍රමාණයෙන් සියයට පනහක් දක්වා වූ හිඟ ප්‍රමාණයකි. දෙමළ භාෂා පරිවර්තක තනතුර ද ඇතුළුව පර්යේෂණ නිලධාරීන්, තොරතුරු තාක්ෂණික නිලධාරීන්, ලඝු ලේඛක හා ප්‍රධාන නීති අධ්‍යක්ෂක තනතුරද ඒ අතර තිබීමම තවත් එක් කැපී පෙනෙන ලක්ෂණයකි.
පැමිණිලි හා අභියාචනා විමර්ශන කටයුතුවලදී කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ අවශ්‍ය ගණ පූර්ණය පවත්වා ගැනීමට නොහැකිවීම නිසා එහි සභාපති ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර, කොමිෂන් සභාවේ අභ්‍යන්තර පරිපාලනමය කටයුතු නිසි පරිදි ක්‍රමානුකූල ඉදිරියටට ගෙනයාමට නම් පවත්නා මානව සම්පත් හිඟයද කඩිනමින් පියවා ගත යුතුව පවතී.සාමාන්‍යයෙන් වසරකට ඉතා ඉහළ අභියාචනා හා පැමිණිලි විමර්ශන ප්‍රමාණයක් කොම්ෂන් සභාව මගින් විභාගයට ගනු ලබන අතර, පසුගිය 2024 වර්ෂයේදී එම ප්‍රමාණය 2,000කට ආසන්න විය. එබැවින් රටේ පවතින එක් වැදගත් සක්‍රීය කොමිෂන් සභාවක් විය යුතු 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබෙන “ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව” සිය මහජන සේවය ලබා දීම පිණිස සුදුසු නෛතික ප්‍රතිපාදන සහිතව, භෞතික හා මානව සම්පතින් නිසි පරිදි බලාත්මක කළ යුතුව පවතී.