හර්ෂා සුගතදාස
අද පොල් මිල ගැන කතා කරන විට එලෝ පොල් පෙනෙයි. සාමාන්‍යෙයන් හොඳ පොල් ගෙඩියක මිල රුපියල් 250/-ක් 260/-ක් පමණ වේ. දිවුල් ගෙඩි, බෙලි ගෙඩි ප්‍රමාණයේ පොල් පවා රුපියල් 200ට වැඩිය. ඇතැම්විට කීයටවත් මිලදී ගැනීමට වෙළෙඳපොළේ පොල් නැත.
අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට පොල්ගෙඩි මිලියන 2800-3000ක් නිෂ්පාදනය වෙයි. වර්ෂ කීපයක දත්ත පිරික්සා බැලීමේදී 2015 වර්ෂයේ නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3055.55ක් ලෙසත් 2020 වර්ෂයේ පොල්ගෙඩි මිලියන 2792.20ක් ලෙසත් 2024 වර්ෂයේ පොල්ගෙඩි මිලියන 2791ක් ලෙසත් දැක්වේ. මේ අනුව පොල් නිෂ්පාදනයේ යම් අඩු වීමක් පෙනේ. පොල් පරිභෝජනය, ගෘහස්ථ පරිභෝජනය සහ කර්මාන්ත සඳහා පොල් යොදා ගැනීම යනුවෙන් දෙයාකාරය. 2015 වසරේ පොල් ගෘහස්ථ පරිභෝජනය පොල්ගෙඩි මිලියන 1873.80කි. එය 2020 වසරේ පොල්ගෙඩි මිලියන 1826.15 දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි. 2024 වර්ෂයේ පොල් පරිභෝජනය පොල්ගෙඩි මිලියන 1519කි. මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී ලංකාවේ පොල්ගෙඩි පරිභෝජනයේ පහත වැටීමක් පෙන්නුම් කරයි.
කර්මාන්ත සඳහා පොල් පරිභෝජනය පිළිබඳව සලකා බැලුවහොත් 2015 වසරේ පොල්ගෙඩි මිලියන 1181.75ක් වශයෙන්ද 2020 වසරේ පොල්ගෙඩි මිලියන 966.05ක් වශයෙන්ද 2024 වසරේ පොල්ගෙඩි මිලියන 1272ක් වශයෙන්ද දැක්විය හැකිය. 2020 වර්ෂයේ කොවිඩ් වසංගතය නිසා කර්මාන්ත අඩාළ වීමෙන් එම වර්ෂයේ කර්මාන්ත සඳහා පොල් යොදාගැනීම අඩු වුවත් 2015 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ කර්මාන්ත සඳහා පොල් යොදාගැනීම ඉහළ ගොස් තිබේ.
පොල් යොදාගෙන සිදු කෙරෙන කර්මාන්ත මොනවාදැයි විමසා බැලීමේදි වියළන ලද පොල්, පොල්තෙල්, පිරිපහදු කළ පොල්තෙල්, පොල්කිරි, පොල්වතුර, තැඹිලි වතුර, පොල්කිරි පානය, පොල් අයිස්ක්‍රීම්, පොල් ක්‍රීම්, පොල්පිටි යනාදි කර්මාන්ත රාශියක් තිබේ. පිටි කළ පොල්කිරි සහ දියර පොල්කිරි පාවිච්චි කිරීම ඉහළ යෑම නිසා ගෘහස්ථ පොල් පරිභෝජනය යම් මට්ටමකින් අඩු වූවාදැයි සිතෙන්නේ අද බොහෝ නාගරික කාන්තාවන් පහසුව නිසාම පොල්කිරි පැකට් මිලදී ගන්නා බැවිනි. එහෙත් තවම එය ගම්වල ප්‍රචලිත වී නැත. මන්ද ගම්වාසින්ට තවමත් ගෙවතුවල පොල්ගස් ඇති නිසාය.
පොල් අස්වැන්න අඩු වීම
කෙසේ නමුදු මේ දිනවල පොල්මිල ඉහළ යෑමට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ පොල් පලදාව අඩු වීමයි. බොහෝදෙනකුගේ අදහස, පොල් ඉඩම් කට්ටි කර විකිණීම නිසා පොල්ගස් නැති වී පොල් පලදාව අඩු වන බවය. ඇතමුන් පොල් ඵලදාවේ අඩු වීම රිලවුන්ට භාර දුන්නද පොල් පලදාව අඩු වීමට බලපාන කරුණු රාශියක් පොල් සංවර්ධන අධිකාරිය විසින් පෙන්වා දී ඇත.
මෙම කරුණු අතරින් මෙරට සිදුවන කාලගුණික විපර්‍යාසය පොල් පලදාව අඩු වීමට තුඩුදෙන එක් හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ. එනම් වර්ෂාව අඩුකම සහ අධික වියළි කාලගුණය, විශේෂයෙන් 33 °C ට වැඩි වීම පොල් පරාගනය අඩු වීමට හේතු වේ. වර්ෂාව අඩු වීමත් සමඟ පොල් පැළ වර්ධනයට බාධා ඇති වේ. එය පොල් පලදාව කෙරෙහි දීර්ඝකාලීනව බලපායි.
තවද පොල්ගස්වලට බලපාන රෝග පොල් පලදාවට ඍජු ලෙසම බලපානු ඇත. පොල් කුණු මැක්කන්, පොල් මයිටාවන්, කොරපොතු කෘමින්, සුදු මැස්සන් පොල්ගස්වලට සැලකිය යුතු හානියක් සිදු කරයි. විශේෂයෙන් සුදු මැස්සන් පොල්ගස්වලට විනාශකාරි තර්ජනයක් ලෙස සැලකේ. එමෙන්ම පොල් පොහොර හිඟයද පොල් පලදාව අඩු වීමට බලපාන වැදගත් සාධකයකි. ප්‍රමාණවත් පොහොර නොමැතිකම, පොහොර මිල ඉහළ යෑම සහ පොහොර ආනයනය පාලනය කිරීම වැනි කරුණු නිසා පොල්ගස් නිසරු වේ. එය දීර්ඝකාලීනව පොල් පලදාව කෙරෙහි බලපානු ඇත.
නිසි පරිදි පොහොර යොදා පොල් වගාවන් නඩත්තු නොකිරීමත් පොල් පලදාව අඩුවීමට හේතු වේ. ඊට අමතරව පොල්ගස් වයසට යෑමත් සමඟ පොල් පලදාව අඩු වේ. එය ඕනෑම වගාවකට පොදු කාරණයකි. පොල්ගස් වයසට යන විට පොල්පැළ සිටුවීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් මුදල් ප්‍රශ්න, පොහොර ප්‍රශ්න, පොල්වලට සාධාරණ මිලක් නොලැබීම වැනි කාරණා නිසා ඇතැම් අය පොල් වගාවෙන් ඈත් වී සිටිති. සමහරු වෙනත් වගාවන්ට මාරු වී සිටිති. පොල් වගාවන් නිසි පරිදි කළමනාකරණය කිරීමක් සිදු නොවේ. ඒ සියල්ලන්ගේම අවසාන ප්‍රතිඵලය වන්නේ පොල් පලදාව අඩු වීමයි.
මීට අමතරව කළමනාකරණයකින් තොරව රා සහ පොල්පැණි නිෂ්පාදනය කිරීමද පොල් පලදාව අඩු වීමට තුඩුදෙන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ආනයනය විසඳුමක්ද?
පොල් පලදාව අඩුවීමත් සමඟ පොල් ආනයනය කිරීමට පියවර ගන්නා බව පසුගිය වකවානුවේ කතාබහට ලක් විය. ලංකාවේ අපනයන ආර්ථිකයේ ඉහළින්ම වැජඹුණු පොල් භෝගය, ආනයනය කිරීමට සිදුවීම සමාජයේ බොහෝදෙනාගේ දෝෂදර්ශනයට මෙන්ම විමතියට ලක් විය. නමුත් පොල් ආනයනය කිරීම අද ඊයේ පටන්ගත් දෙයක් නොවේ. නිදසුන් ලෙස 2017/12/13 – 2018/08/10 අතර කාල පරිච්ඡේදයේ පොල්මද මෙට්‍රික් ටොන් 2542.35ක් ආනයනය කර ඇත. 2021/02/12 වෙනි දින පොල්මද මෙට්‍රි ටොන් 61.9ක් ආනයනය කර ඇත. 2025 වසරේ පොල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කතිකාවක් ඇති වුවද මේ වන තුරු පොල්මද ආනයනය කර නොමැත. මෙරටට පොල් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල්වලිනි.
පොල් අපනයනය කිරීමේ පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකාව පොල් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ පොල් යොදාගෙන නිෂ්පාදන සිදු කරන කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමටය. පොල් කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා පවතින ගෝලිය ඉල්ලුම දිනෙන් දින වැඩි වීමත් සමඟ කර්මාන්තකරුවන් මත දැඩි පීඩනයක් එල්ල වේ. ඒ සමඟ ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කිරීමට නොහැකි වුවහොත් එකී ඇණවුම් වෙනත් රටවල්වලට ඇදී යනු ඇත. එය වළක්වා ගැනීම පොල් ආනයනය කිරීමේ ප්‍රධාන අරමුණයි. ඊට අමතරව දේශිය නිෂ්පාදනයේ පසුබෑම, වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට අසමත් වීම, වියදම් අඩු ආනයන විකල්පවලට ප්‍රවේශ වීම වැනි හේතුද මෙරට පොල්මද ආනයනය කිරීමට බලපාන සාධක ලෙස හඳුනාගෙන තිබේ.
පොල් පලදාව අඩු වූ විට හදිසි අවශ්‍යතා මත පොල් ආනයනය කරනු ලැබුවද එය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොවේ. ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සෙවීම රජයේ වගකීමකි. ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය පියවර කීපයක් ගෙන තිබේ. ඒවා පහත දැක්වේ.
- පොල් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ට ණය පහසුකම් ලබාදීම.
- කර්මාන්ත නියාමනය මගින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහාය වීම.
- පොල්පැළ බෙදාදීමේ වැඩසටහන් පැවැත්වීම.
- පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා තත්ත්ව සහතිකපත් නිකුත් කිරීම.
- වාර්ෂික සහන ක්‍රමයට අදාළව ආයෝජන සහාය ලබාදීම.
- පොල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- නව නිෂ්පාදකයන් උනන්දු කිරීම, උපදේශන සේවා සැපයීම.
- පොල්තෙල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව වැඩි කිරීම සඳහා අධිකාරිය විසින් නිෂ්පාදකයන් සඳහා මාර්ගෝපදේශ සහ පුහුණු වැඩසටහන් ක්‍රිත්මක කිරීම.
- දේශිය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළවල පොල් නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩි කිරීමට අධිකාරිය මගින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මෙයට අපනයන වෙළඳාම සඳහා නව වෙළඳපොළ සෙවීම සහ වෙළෙඳ නියෝජිතයන්ට සහාය ලබාදීම ඇතුළත් වේ.
- තැඹිලි අපනයනය වර්ධනය කිරීම සහ ආදායම වැඩි කිරීම.
- තාක්ෂණික පුහුණු වැඩසටහන් සහ තරුණයන්ට කර්මාන්තය වටහාදීම.
- සියලුම පාර්ශ්වකරුවන්ට ලාභදායි පොල් මිල ගණන් සහතික කිරීමේ අරමුණින් පොල් සංවර්ධන අධිකාරිය විසින් නැවුම් පොල් වෙන්දේසි නිතිපතා පැවැත්වීම.
- පොල්තෙල් නිෂ්පාදකයන්ට නිෂ්පාදනයේ තත්ත්ව සහතික කිරීම සඳහා CDA සහතික කළ ලාංඡනය ලබාදීම. (මේ සඳහා පොල්තෙල් නිෂ්පාදකයන් විසින් සපුරාලිය යුතු අවශ්‍යතා පවතී.)
මෙම පියවර සලකා බැලීමේදි බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ පොල් යොදාගෙන සිදු කරනු ලබන කර්මාන්ත වැඩිදියුණු කිරීමට බව පෙනේ. පොල් වගාකරුවන් ප්‍රවර්ධනයට ගෙන තිබෙන්නේ පොල්පැළ සිටුවීම පමණි. පොල් වගාවට ණය පහසුකම් ලබාදීම, පොහොර ලබාදීම වැනි කරුණු මෙහි සාකච්ඡා නොවේ. සමහරවිට එය පොල් සංවර්ධන අධිකාරියට අයත් නොවනවා විය හැකිය. පොල් වගා කිරීමේ මණ්ඩලය, කෘෂිකර්ම අමාත්‍යාංශය වැනි ආයතන අටෝරාශියක් ලංකාවේ පවතින නිසා පොල් වගා කිරීම වෙනත් ආයතනයකට අයත් විය හැකිය. ඒ කෙසේ වෙතත් පාරිභෝගික අපට අවශ්‍ය එකම දේ පොල්මිල අඩු වීම පමණි. පොල්මිල අඩු කිරීමට නම් පොල් පලදාව වැඩිදියුණු කළ යුතුය. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි.