– මොහොමඩ් ආසික්
ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ 21 වන ස්ථානයයි. 2022 වසරේදී ඉන්දියාව මෙට්‍රික් ටොන් 265,098,885ක් නිපදවද්දී ශ්‍රී ලංකාව නිපදවා ඇත්තේ මෙට්‍රික් ටොන් 3,392,905කි.
පරාක්‍රමබාහු රජ සමයේ මෙරට සහලින් ස්වයංපෝෂිතව තිබූ බවත් සහල් විදෙස් රටවලටද සහන් ආනයනය කර ඇති බවත් ඉතිහාසය සඳහන් කරයි. මෑත ඉතිහාසයේද දේශීය පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නිපදවාගැනීමට සමත් වූ අතර ඇතැම් අවස්ථාවල විදෙස් රටවල්වලට සහල් පරිත්‍යාග කිරීමේ අවස්ථා රැසක් වාර්තා වී තිබිණ. එසේ වුවත් කලින් කලට අප රට තුළ සහල් අර්බුදයන්ද හටගනී. ඊට බලපාන හේතු මොනවාද? කුඹුරු ගොඩ වීම හෝ ගොඩ කිරීමත් කුඹුරු පුරන්වන්නට හැරීමත් මෙහි ප්‍රධාන සාධක ලෙස සටහන් වෙයි. එය ඇත්තක්ද?
කෙසේ නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ශ්‍රී ලංකාව 2010 වසරේ සිට සහලින් ස්වයංපෝෂිත තත්වයට පත්ව තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සකස් කර ඇති 2022 සිට 2030 දන්වා වූ කෘෂිකාර්මික උපායමාර්ගික සැලසුමේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 18ක් පමණ වී ගොවිතැනේ නියැලී සිටින බවයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2020 වසරේදී කර ඇති ගණනය කිරීම් අනුව සාමාන්‍යයෙන් වසරකට එක් පුද්ගලයෙකුගේ සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 114කි.
අක්කර ලක්ෂ 20ක් වී ගොවිතැනට!
අක්කර ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක කන්න දෙකක් වි වගා කරද්දීත් අපේ රට තුළ වරින් වර සහල් අර්බුදයක් ඇති වන්නේ ඇයි? මේ ඒ ගැන සොයා බැලීමකි.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු අනුව, ජනතාව හිතන තරම් කුඹුරු ගොඩ කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවසර ලබා දී නොමැති බව හෙළි වෙයි. ජනතාවට නිවරැදි තොරතුරු නොලැබෙන නිසා බොහෝ අවස්ථාවන්වල රජය විශාල වශයෙන් කුඹුරු ගොඩ කිරීමට අවසර ලබා දෙන බවත් ඒ නිසා රට තුළ වී නිෂ්පාදනය අඩාළ වී ඇති බවටත් මතයක් ගොඩනැඟෙමින් පවතී. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේවන්තුව මගින් ලබා ගත් තොරතුරු අනුව පෙනී යන්නේ 2019 වසරේ සිට 2024 වසර දක්වා මුළු ලංකාවේම ගොඩ කිරීම සඳහා අවසර ලබා දී ඇත්තේ කුඹුරු අක්කර 259.845ක් පමණක් බවයි.
එම ප්‍රමාණය වාර්ෂිකව ගත්තොත් 2019දී අක්කර 25.213ක්, 2020 දී අක්කර 50.653ක්, 2021දී අක්කර 35.607ක්, 2022දී අක්කර 55.49ක්, 2023 වසරේදී අක්කර 66.118ක් හා 2024 වසරේදී අක්කර 26.764ක් වශයෙනි.
ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් වගා කරන කුඹුරු අක්කර 1,995,475.42ක් පවතින බවද ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. එම කුඹුරු ඉඩම් ප්‍රමාණය දිස්ත්‍රික්ක අනුව මෙසේය.
දිස්ත්‍රික්කය | කුඹුරු අක්කර |
කොළඹ | 10,982.06 |
ගම්පහ | 32,812.10 |
කළුතර | 33,721.93 |
මහනුවර | 32,825.85 |
මාතලේ | 46,289.43 |
නුවරඑළිය | 12,103.12 |
ගාල්ල | 40,503.20 |
මාතර | 31,813.70 |
හම්බන්තොට | 77,750.94 |
යාපනය | 30,830.72 |
කිලිනොච්චි | 139,770.88 |
මන්නාරම | 59,236.53 |
වව්නියාව | 57,772.09 |
මුලතිව් | 54,530.38 |
මඩකලපුව | 141,723.05 |
අම්පාර | 118,184.93 |
ත්‍රිකුණාමලය | 139,911.27 |
කුරුණෑගල | 197,817.61 |
පුත්තලම | 58,626.00 |
අනුරාධපුර | 317,671.66 |
පොළොන්නරුව | 159,312.97 |
බදුල්ල | 59,269.06 |
මොනරාගල | 73,415.31 |
රත්නපුර | 49,559.73 |
කෑගල්ල | 19,067.10 |
එකතුව | 1,995,475.42 |
මෙම දත්ත අනුව පැහැදිලි වන්නේ, රටේ පරිභෝජන අවශ්‍යතාව සපුරාලීමට හා අතිරික්ත නිෂ්පාදනයකට සරිලන තරම් ඉඩම් ප්‍රමාණයක, දිවයින පුරා වී වගා කෙරෙන බවය. සියලු දිස්ත්‍රික්කවල වී වගාව සිදු කිරීමේ වාසිදායක සාධකයක් වන්නේ විවිධ කලාපවලට කලින් කලට බලපාන කාලගුණික සාධක මත අපේක්ෂිත අස්වනු නොලැබී ගියද වෙනත් කලාපවලින් එම අඩුව යම් තරමකින් සපුරා ගැනීමට හැකි වීමයි. ආහාර සුරක්ෂිතතාව ජාතියක යහ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. ඒ අර්ථයෙන් ප්‍රධාන ආහාරය වන සහලින් ස්වයංපෝෂිත වීම ජාතියේ ජයග්‍රහණයකි. එසේ වුවද කලින් කලට එම තත්ත්වය අභියෝගයට ලක් වීමේ හේතු සාධක පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට ඒ සඳහා තිරසාර විසඳුම් සෙවීම කාලීන අවශ්‍යතාවකි.