Social, පුවත්

වැලි ජාවාරම් කරුවන් රැක ගන්නට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය තොරතුරු පනතේ විධාන අවභාවිතා කරයි

By In
  • රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 පසුගිය කාලය පුරාවට අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන ගණනාවක නීතිවිරෝධී ආකාරයෙන් වැලිගොඩ දැමීම් හා ප්‍රවාහන කටයුතු සිදුකරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිම මත වැලි ජාවාරම  දිනෙන් දින උග්‍රවෙමින් තිබේ. බොහෝ අවස්ථාවල මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට බෙහෙවින් බලපා ඇත්තේ දේශපාලන හා පොලිසියේ උසස්  නිලධාරීන්ගේ අනිසි අතපෙවීම් මත බව ප්‍රදේශවාසිනගේ අදහස වි තිබේ.

 මේ ආකාරයෙන් තංගල්ල පොලිස්  අධිකාරී බල ප්‍රදේශය තුළ  අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ  ජංගම ග්‍රාම නිලධාරී වසමේ මාමඩල හා ආශ්‍රිත ප්‍රදේශයක කුඹුරුයායක හා ඒ අශ්‍රිතව  නීති විරෝධීව වැලි ගොඩ දැමීමේ ස්ථානවල 2023 මාර්තු මස 27 වන දින වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරින් ද සමඟ සිදුකළ මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිසියට ඉදිරිපත්කරනු ලැබූ වැලි කැණීමට යොදා ගනු ලබන යන්ත්‍ර සූත්‍ර ද ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු අධිකරණට  ඉදිරිපත් නොකරමින් මුදා හැර ඇත්තේ  රටේ පිලිගත් නීතියට පටහැනිවය.

  මේ ආකාරයෙන් අත්අඩංගුවට  ගැනුණු යන්ත්‍රසූත්‍ර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියේ නඩු භාණ්ඩ කුවිතාන්සි අංක 725 සිට 735 දක්වා ලේඛන ගත කර තිබෙන අතර එසේ වූ පසුබිමක මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග නොගෙන මුදා හැර තිබිම විමතියට කාරණයකි. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල  දේශපාලඥයෙකුගේ හිතවතුන් හා ඒ හා සම්බන්ධ තවත් පුද්ගලයින් කීපදෙනෙකු විසින් ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සිදුකරමින් මෙම වැලි ජාවාරම්, කාලයක්  තිස්සේ කරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් වග කිවයුතු කිසිදු නිලධාරියෙකු නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකර සිටි පසුබිමක ලැබුණු මහජන පැමිණිලි මත මෙම  වැටලීම කර තිබේ.

කෙසේ නමුත් මේ ආකාරයෙන් වැටලීම් කරනු ලැබුවත් ඉන් අදාල දේශපාලඥයාගේ හිතවතුන් සියලුදෙනා නීති විරෝධිව නිදහස් කරමින්, එක් පුද්ගලයෙකුට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමට, ඔහුට  අයත් යන්ත්‍රයක් පමණක් පොලිසියේ රඳවා ගැනීමට කටයුතු කර තිබීම මගින් සැමට සමාන නීතිය පොලිසිය විසින් දෙයාකාරයකින් ක්‍රියත්මක කිරීමට කටයුතු කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. 

මෙම  නීති විරෝධී නිදහස් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රහසිගත මුලාශ්‍රයක් මගින් දැනගැනීමට ලැබුණේ තංගල්ලේ  උසස් පොලිස් නිලධාරියෙකුගේ බලපෑම මත අදාල පුද්ගලයින් හා යන්ත්‍රසූත්‍ර මුදා හැර ඇති බවයි.

 මෙවන් පසුබිමක මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම වෙනුවෙන් සහ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ  2013 ජුනි මස 12 වන දින තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමුකළ අතර ඒ අනුව එයට පිළිතුරු වශයෙන් 2023 ජූලි මස 08 වන දිනැතිව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ,බි කීර්තිරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් මගින් දන්වා ඇත්තේ අදාළ වැටලීම  සම්බන්ධයෙන්  විමර්ශන කටයුතු සහ  අධිකරණ කටයුතු මෙතෙක් අවසන් කර නොමැති හෙයින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 05 වැනි වගන්තිය යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට හැකියාවක් නොමැති බවයි.

 කෙසේ නමුත් යොමුකරන ලද තොරතුරු ඉල්ලුම්පත මගින් විමසා ඇති කරුණු, කිසිසේත් ඊට අදාල විමර්ශනයක් සිදු කරනවානම් එයට කිසිසේත් බාධාවක් සිදු වන ආකාරයේ තොරතුරු ඉල්ලීමක් ඇතුළත් කර නොමැති අතර ඉන් ඉල්ලා ඇත්තේ, 

‘’ තංගල්ල පොලිස්  අධිකාරී බල ප්‍රදේශය තුල  අම්බලන්තොට පොලිස් බලප්‍රදේශයේ  ජංසගම ග්‍රාම නිලධාරී වසමේ නීතිවිරෝධීව වැලි ගොඩ දැමීමේ මධ්‍යස්ථානතුලදී හා ඒ අශ්‍රිතව  2023 මාර්තු මස 27 වන දින වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නිලධාරින් ද සමඟ සිදුකළ මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට(පොලිස් භාරයට ගෙන) ගෙන අම්බලන්තොට පොලිසියේ නඩු භාණ්ඩ කුවිතාන්සි අංක 725 සිට 735 දක්වා ලේඛන ගත කරනු ලැබූ අදාල යන්ත්‍ර සුත්‍ර අධිකරණයට ඉදිරිපත් කළ දිනය කවදාද? පොලිස් භාරයට ගත් යන්ත්‍රසූත්‍රවල ලේඛනයක් නඩු භාණ්ඩ කුවිතාන්සි අංක ද සහිතව  ලබාදෙන්න. ඉහත ප්‍රශ්නයට අදාලව එසේ  අධිකරණයට ඉදිරිපත්කරනු ලබුවේ නම් එසේ ඉදිරිපත්කළ අධිකරණය හා නඩු අංකය ලබාදෙන්න. ඉහත නඩු භාණ්ඩ මුදා හැරීමක් සිදුකරනු ලැබුවේ නම් ඒ කුමන පදනමක් මත ද යන්න සවිස්තර තොරතුරු ලබාදෙන්න. මේ සම්බන්ධයෙන් කොපමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේද? ඔවුන් සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාදාමය කුමක්ද? 3 වන ප්‍රශ්නයට අදාලව අදාළ පුද්ගලයින් අදිකරණයට ඉදිරිපත්කල දිනය, කුමන අධිකරණයකටද? හා නඩු අංකය ලබාදෙන්න.’’ ආදී කරුණු ය.

 කෙසේ නමුත්  05 වන වගන්තිය තුළ තවත් අනු වගන්ති ගණනාවක් තිබෙන අතර එසේ තොරතුරු ලබාදීමට නොහැකිනම් පැහැදිලිව කුමන අනු වගන්තිය යටතේද යන්න පැහැදිලිව සදහන් කළ යුතු වුවත් එසේ සදහන් නොකිරිම මගින් පැහැදිලිව පෙනීයන්නේ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් පුරවැසියන් නොමග යැවීමට තොරතුරු පනතේ විධානයන් අවභාවිත කර තිබෙන ආකාරයයි.

 මිට පෙර ආවස්ථා ගණනාවකදී වනජීවී දෙපාර්තමේන්තුව,පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක්   මේ ආකාරයෙන් නඩු කටයුතු ඇතිබව පවසමින්  පස්වන වගන්තිය යටතේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවන්හි තොරතුරු කොමිසම මගින් පැහැදිලිවම සඳහන් කළේ එසේ නඩු කටයුතුත්තක් ඇතිනම් අදාල නඩු අංකය සදහන්කරන ලෙසයි, එසේ වූ අවස්ථාවන්හි එසේ පවරන ලද නඩු කටයුතු නොවීමෙන් අදාල පොදු අධිකාරීන් හට තොරතුරු හෙළි කිරීමට සිදුවිය.

ඒ ආකාරයෙන් මෙම නීති විරෝධී වැලි ගොඩදැමීම වැටලීම සම්බන්ධයෙන් නඩුවක් පවතීනම් එම නඩු අංක මෙන්ම අධිකරණයට ඉදිරිපත්කරන ලද දිනයන් හෙළි කිරීමට  තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කටයුතු නොකිරිමෙන් පෙනී යන්නේ වැලි ජාවාරම් කරුවන් රැක ගැනීම වෙනුවෙන් පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට පිටු පෑම වෙනුවෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5 වන වගන්තිය  බරපතල ලෙස අවභාවිතා කර ඇති බවයි.

  විශේෂයෙන්ම 2023 මාර්තු මස 27 දින සිදුකළ  මෙම වැටලීම සම්බන්ධයෙන් රටටම හෙළි කරමින් 2023 මාර්තු මස 28 වන දින බොහොමයක් රූපවාහිනී නාලිකා මගින් අදාල පුවත් විකාශනය කර තිබෙන පසුබිමක කිසිදු නඩු විභාගයකින්  තොරව අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා නඩු භාණ්ඩ නිදහස් කිරීමට තරම්  වැලි ජාවාරම පිටුපස සිටින දේශපාලන හස්තය ප්‍රබල බවය. විශේෂයෙන්ම ප්‍රදේශයේ පරිසර පද්ධතියට විශාල හානියක් සිදුකරමින් සිටින මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළයුතු පසුබිමක මෙවන්  ආකාරයෙන් අත්අඩංගුවට පත් හා ගත් නඩු භාණ්ඩ හා පුද්ගලයින් පවා හොර රහසේ නිදහස් කර තිබේනම් කිවිය යුත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව යනුවෙනි.

  කෙසේ නමුත් මෙම වැටලීම සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් ද 2013 ජුනි මස 12 වන දිනැතිව තොරතුරු ඉල්ලීම සිදු කරනු ලැබීය.  

 එමෙන්ම භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් සිදුකල තොරතුරු ඉල්ලීමට අනුව 2023.07.11 දිනැතිව ලබාදුන් තොරතුරු අනුව  2023 මාර්තු මස 27 දින අදාළ ප්‍රදේශයේ  වැටලීමක් සිදුකර යම් යන්ත්‍ර සුත්‍ර ප්‍රමාණයක් පුද්ගලයින්  2009 අංක 66 දරණ පනතින් සංශෝදිත 1992 අංක 33 පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ අංක 63(1)(අ) වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගත්බවට හා එම වැටලීමට එහි නිලධාරීන් දෙදෙනෙකුද සහභාගී වූ බවද  කරුණු අනාවරණය කර තිබේ.

 ඉහත සදහන් පනතේ අදාල වගන්තිය මගින් පැහැදිලි කර තිබෙන්නේ ‘’…. බලපත්‍රයක් නොමැතිව ඛනිජ ද්‍රව්‍ය කිසිවක් සඳහා ගවේශනය කරන හෝ පතල් කණින හෝ එවාඅ සකස් කරන ,ප්‍රවාහනය කරන, වෙලදාම් කරන හෝ අපනයනය කරන යම් තැනැත්තෙකු, මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ පත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්ලක්ෂයක් නොයික්මවන දඩයකට …..යටත්විය යුතුය’’ ආදී වශයෙනි. 

අතුරුදහන්වූ තොරතුරු 

 කෙසේ නමුත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් සිදුකල තොරතුරු අයදුම්පත  මගින් ඉල්ලා සිටි ‘’ පොලිස් භාරයට දුන් යන්ත්‍ර සුත්‍රවල ලේඛනයක් නඩු භාණ්ඩ කුවිතාන්සි අංක ද සහිතව  ලබාදෙන්න ‘’ යන ප්‍රශ්නයට පිළිතුර වශයෙන් ඉදිරිපත්කර තිබෙන්නේ එම තොරතුරු කාර්යාංශය සතුව නොමැති බවයි. නමුත් මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ගෙන තිබෙන නීතිමය පියවරවල් මොනවාද? යන්න සම්බන්ධයෙන් විමසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස දක්වා ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් නීතිමය උපදෙස් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවයි.

  මින් පැහැදිලි වන කාරනා කීපයක් තිබේ මහජන බදු මුදලින් වැටුප් ලබන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු මෙම වැටලීමට යොදවා ඇති අතර එහිදී ඔවුන් 2009 අංක 66 දරණ පනතින් සංශෝදිත 1992 අංක 33 පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ අංක 63(1)(අ) වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගත්බවට සදහන් යන්ත්‍ර සුත්‍රයන් හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු එම කාර්යාංශයේ නොමැති බව පැවසීම භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් ද මෙම සිදුවීම මගහැරීමට ගන්නා උත්සාහයයි . එමෙන්ම මේ සම්බන්ධයෙන් තොරතුරු නොමැතිනම්  නීතිපති උපදෙස්  ගැනීමට කටයුතු කරන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන්ද බරපතල ගැටළුවක් පවතී.

 එමෙන්ම මෙම තොරතුරු ලබාදුන්  භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ අදාළ ලිපියේ ඉහතන් සදහන් කර ඇත්තේ  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ අංක 5(ඌ)(1)වගන්තියේ සීමාවන්ට යටත්ව පහත තොරතුරු ලබාදෙන බවයි. එම වගන්තියේ සදහන් වන්නේ ‘’යම් අපරාධයක් වැලැක්වීම හෝ ඒ පිළිබඳව සොයා ගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුනට එරෙහි නඩු පැවරීම සම්බන්ධයෙන් බලවත් අගතියක් සිදුවන අවස්ථාවක ,එම තොරතුරු ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි. නමුත් ඕනෑම නීතිගරුක නිලධාරියෙකුට හෝ පුරවැසියෙකුට ඉහත තොරතුරු හෙළි කිරීම මගින් ඒ ආකාරයෙන් අගතියක් නොවන බව  පෙනීයයි. මන්ද මෙම තොරතුරු මහජනතාවගෙන් සඟවමින් අදාල නිලධාරීන් සිදුකරනු ලබන්නේ  නිතිය ක්‍රියාත්මක කිරීම නොව එම අපරාධයන්ට අනුබලදීම නොවේද?  

 එමෙන්ම  නිති විරෝදී ලෙස පරිසරයට දැඩි හානි පමුණුවමින් කටයුතුකළ අත්අඩංගුවට ගත් මෙම වැලි ජාවාරම් කරුවන්  1992 අංක 33 පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ අංක 63(1)(අ) වගන්තිය ප්‍රකාරව සිදුකල යුතුව තිබුනේ අධිකරණයට ඉදිරිපත්කිරීමට පමණි. එම වගකීම් පැහැර හරින ලද නිලධාරීන් මේ ආකාරයෙන් නීති පති උපදෙස් පතමින් මෙම සිදුවීම මග හැරීමට කටයුතු කිරීමම මෙම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවේද?

 කෙසේ නමුත් මේ ආකාරයෙන් පදනම් විරහිතව තොරතුරු දැනගැනීමේ පනතේ පස්වන වගන්තිය අවභාවිතා කරමින් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්  තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බි කීර්තිරත්න මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ එසේ තොරතුරු ලබාදීමට හැකිදැයි තමන් සොයා බලන බවයි. කෙසේ නමුත් උසස් පොලිස් නිලධාරියෙකු ලෙස මේ ආකාරයෙන් පුරවැසියෙකුගේ මූලික අයිතිවසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට බරපතල අභියෝගයක් එල්ලවන ආකරෙයෙන් වූ ලිපියකට අත්සන් කිරීමම වගකිව යුත්තන්ගේ දැඩි අවධානයට ලක්විය යුත්තකි.

 කෙසේ නමුත් මෙම සිදිවිම මගින් ගම්‍ය වන කාරනාව වන්නේ මෙරට පුරවැසියන්ට ඇති  මුලික අයිතිවාසිකමක් වන  තොරතුරු දැනගැනීමේ අයිති වාසිකම බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය.  

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *