Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

By In
  • රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස් විදෙස් ණය මුදල් මෙන්ම මහජන බදු මුදලින් ලබාගත් මුදල් අවභාවිතා කරමින් දේශපාලනික අවශ්‍යතා මත  ආරම්භ කර පසුව මඟ නතර කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති, එම ආර්ථික අර්බුදය පුළුල් කරනු ලබන  ප්‍රධාන සාධකයකි.

   මේ ආකාරයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා යෝජිත තොරතුරු තාක්ෂණ උද්‍යානය ගොඩනැගිල්ල  ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 366කට අධික මුදලක් (366,109,215.00) වැයකර ඇත. එසේ ඉදිකිරීම් කටයුතු ආරම්භකරන ලද එම ගොඩනැගිල්ල, මෙරට ජාතික ධනය අපතේ යැවූ තවත් එක් සුදු අලි ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

පැවති මහින්ද රාජපක්ෂ රජය යටතේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළින් ප්‍රදේශයේ තරුණ තරුණියන්හට රැකියා වෙළඳපොළක් මෙන්ම තොරතුරු තාක්ෂණ  පුහුණු මධ්‍යස්ථානයක්  ඇති කිරීමේ අරමුණින් 2014 අගෝස්තු මස 21වන දින  මුල්ගල් තැබීය .

    කෙසේ නමුත් ඉන් අනතුරුව වසරක පමණ කාලයක දී මෙම ව්‍යාපෘතිය මඟ නතරකරනු ලැබ ඇති අතර පසුව 2016 වර්ෂයේදී, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හම්බන්තොට මඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භකරමින් තරුණ තරුණියන්ගේ රැකියා විරහිතභාවයට විසඳුමක් ලබාදීමට මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් 2016 පෙබරවාරි මස 20 දින  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ පවතින මෙම යෝජිත තොරතුරු තාක්ෂණ උද්‍යානය වෙනුවෙන් ඉදිකළ  ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ඒ සඳහා 2016 රජයේ සිටි අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක යන දෙදෙනා ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මෙන්ම කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් කීප දෙනෙකු ද සහභාගි විය. නමුත් එම නිරීක්ෂණ චාරිකාව ද දේශපාලඥයින්ගේ තවත් එක් නිරීක්ෂණ චාරිකාවකට පමණක් සිමා වී ඇති අතර, එතැන් සිට අද දක්වාම ඇත්තේ නටබුන්වෙමින් පවතින ගොඩනැගිල්ලක් පමණකි.

   මේ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ රජය යටතේ රුපියල් මිලියන 366ක ( රුපියල් කෝටි 36ක්) යෝජිත තොරතුරු තාක්ෂණ උද්‍යානය ගොඩනැගිල්ල ද නිතර වන අලින් ගැවසෙන, මෙරට ණය බර තවත් වැඩි කරනු ලැබූ දැවැන්ත සුදු අලි ව්‍යාපෘතියකි. මෙම රුපියල් මිලියන 366ක මුදල  වැය කර ඇත්තේ  2014 වර්ෂය තුලදී ඇමරිකන් ඩොලරයේ අගය රු.131.00ක පමණ අගයකින් යුත්ත වූ කාලයේදී වේ. ඒ අනුව එහි වර්තමාන අගය  එමෙන් දෙගුණයකටත් වැඩි වනු ඇත. 

    විශේෂයෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් 2022.11.21 දිනැතිව ඉල්ලා සිටි තොරතුරු 2022.12.08 දින ලබා දුන් අතර එම තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද සහිතව ආරම්භ කර තිබෙන බවත්, මෙම  ප්‍රදේශයේ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කළ ආකාරයට ආරම්භවී ඇති බවත්, එය තොරතුරු තාක්ෂණ උද්‍යානයෙන් අපේක්ෂිත විවිධ ආදායම් උත්පාදක හැකියාවක් කෙරෙහි අහිතකර අන්දමට බලපා ඇති බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් නිරීක්ෂණය කර තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබෙන බවත් අදාළ තොරතුරු මගින් අවධාරණය කර තිබේ.

   එමෙන්ම මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබූ අවස්ථාවේ එම උත්සවය වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් පමණක් තවත් රුපියල් 20,010ක මුදලක් ද වැය කර තිබෙන බව ආදාළ තොරතුරුවලින් අනාවරණය විය.

   කෙසේ  නමුත් අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු සිදුකළ කොන්ත්‍රාත් සමාගම වන Tudawe Brothers (PVT )Ltd වෙතින් ද මෙම ව්‍යාපෘතියේ  ඉදිකිරීම් මඟ නතරකිරිම සම්බන්ධයෙන්  තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප විමසීමක් කළ අතර එහිදී එම සමාගම කියා සිටියේ අධිකරණයේ නඩුවක් පවතින බැවින් එම තොරතුරු ලබා දිය නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ද අවධාරණය කළේ අදාළ සමාගම සමඟ ඇතිකරගත් කොන්ත්‍රාත් ගිවිසුම අවසාන කර ඇති බවත් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් පවතින බැවින් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම ලබාදිය නොහැකි බවයි.

කෙසේ නමුත් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීම වෙනුවෙන් රටේ ජාතික ධනය මෙවැනි  සුදු අලි ව්‍යාපෘති වෙනුවෙන් යටකිරීමේ  අනිසි ප්‍රතිවිපාක ආර්ථික අර්බුදයක් වෙසින් පැමිණ තිබේ. නමුත් මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් එදා අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකුම අද වනවිටත් කැබිනට් මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි. මෙවන් තත්වයක් හමුවේ මේ ආර්ථික ඝාතනය වෙනුවෙන් වග කිවයුත්තන්ට එරෙහිව තීන්දු තීරණ ගැනීමට සිදුවන්නේ ජනතාවට පමණක් බව ජනතාව විසින් පසක් කරගත යුතු ය.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *