පුවත්

බොරු කියා ‘අස්වැසුම‘ ලැබූ දහදාහක් තවම සැනසිල්ලේ!

By In

කා. ප්‍රසන්නා 

ඇස්වැසුම යෝජනා ක්‍රමයේ විවිධ දෝෂ ඇති බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. විශේෂයෙන්ම නුසුදුස්සන් සාවද්‍ය තොරතුරු ලබාදී වංචනික ලෙස මුදල් ලබාගන්නා බව අනාවරණය විය. එලෙස අසත්‍ය තොරතුරු ලබාදී අස්වැසුම දීමනාව ලබා ගත් පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පනත හරහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීමට අනුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අනාවරණය වී තිබේ. 

ඒ අනුව සාධාරණ හේතු නොමැතිව අස්වැසුම දීමනා නොලැබෙන පුද්ගලයන් හා අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණයට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දස දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරිණි. ඒ, මහමැතිවරණයට පෙර ක්‍රියාත්මක වූ තිදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි ය. 

අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබාදීමේදී සිදු වන අසාධාරණයන් සහ මහජනතාවට සිදු වන බලපෑම හඳුනාගැනීමේ අරමුණින් මෙම කමිටුව පත් කර ඇති බව සඳහන් විය. ඇස්වැසුම ලැබී ඇත්තේ කා හටද යන්න සහ අදාළ පුද්ගලයින්ට හෝ පවුල්වලට සහන ලබා දී ඇත්ද යන්න පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් තොරතුරු ලබා ගැනීමට නියමිත විය.

සාධාරණ හේතුවක් නොමැතිව අස්වැසුම ගෙවීම් නොලැබී ඇත්නම් එම පවුල්වලට සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය දැනටමත් සකස් කර ඇති බවද අමාත්‍ය විජිත හේරත් මහතා පවසා තිබිණි. 

නුසුදුසු දහදාහකට අස්වැසුම

2024 මාර්තු මාසයේ මුදල් අමාත්‍යාංශයේ තොරතුරු අනුව, ව්‍යාජ තොරතුරු ලබාදී  10,000කට වැඩි පිරිසක් ඇස්වැසුම දීමනාව ලබාගෙන ඇති බව තහවුරු විය. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවද අදාළ පුද්ගලයින්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ මුදල් අය කර ගැනීමක් සිදු කර නොමැති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සනාථ කරයි.

අස්වැසුම පළමු අදියර සඳහා ඉල්ලුම් කළ අයදුම්කරුවන් 3,742,846ක් අතරින්  අයදුම්කරුවන් 1,854,678ක් අස්වැසුම සුබසාධන දීමනාව ලබා දීම සඳහා තෝරා ගන්නා ලදි. අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්කරුවන්ට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට නැවත අවස්ථාවක් ලබා දෙන ලදි. මේ මත පදනම්ව ලැබුණු අභියාචනා 1,017,645ක් සහ විරෝධතා 161,075ක් සලකා බැලීමෙන් පසු 10,630ක් පමණ ඇස්වැසුම දීමනාව ලබා ගැනීමට නුසුදුසු අය ලෙස හඳුනාගන්නා ලදි. නුසුදුස්සන් ලෙස හඳුනාගත් බොහෝ දෙනෙකුට අවම වශයෙන් මාස තුනක කාලයක් සඳහා ගෙවීම් ලැබී ඇති බව නිරීක්ෂණය විය. ඇස්වැසුම ගෙවීම් සඳහා රජය 2023 වසරේදී රුපියල් බිලියන 78ක් සහ 2024 වසරේදී රුපියල් බිලියන 183.3ක් වෙන් කර තිබිණි. 

තොරතුරු තවම නෑ

එහෙත් එම ගෙවීම් නැවත ලබාගැනීම පිළිබඳ රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ව්‍යාජ තොරතුරු ලබාදී මෙලෙස දීමනා ලබාගත් අය සම්බන්ධයෙන් තොරතුරු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සතුව නොමැති බවත් දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් රැස්කරමින් පවතින බවත් සඳහන් කරමින් එම තොරතුරු ඉල්ලීමට සම්පූර්ණ තොරතුරු ලබාදීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අපොහොසත් වී ඇත.

තමන්ට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වා අදාළ දත්ත ලබාදීමට නොහැකි බව දන්වා ඇති අතර එවැනි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට දීමනා ලබාගත් පුද්ගලයන්ගෙන් එම ගෙවීම් අය කර ගැනීමට සැලසුම් කර ඇති බව දන්වා එහි ඇත. එහි පළමු පියවර වන්නේ එවැනි ගෙවීම් අත්හිටුවීම බවත් ඉන් අනතුරුව ඒවා පිළිබඳව සොයා බලා නීතිමය පියවර ගන්නා බවත් එහි සඳහන් වේ.

අසත්‍ය තොරතුරු ලබාදී අස්වැසුම දීමනාව ලබා ගත් පුද්ගලයන්ට එරෙහිව හා එම මුදල් නැවත ඔවුන්ගෙන්  අය කර ගැනීම පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබාදුන් මෙම තොරතුරුවලින් පැහැදිලි වේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ මෙම ප්‍රමාදය හේතුවෙන් සුදුසුකම් ඇති බොහෝ අයදුම්කරුවන්ට ලැබිය යුතු ගෙවීම්   නොලැබී යයි. මෙමගින් නිගමනය වන්නේ අස්වැසුම සුබසාධන ගෙවීම් ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

මේ වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 465,179ක් ලැබී ඇතත් ඒවා නියාමනය කර ප්‍රතිලාභීන් තෝරා ගැනීමට පියවර ගෙන නොමැති අතර  මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි සමීක්ෂණය සිදුකිරීමට නොහැකි බැවින් ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ලබාදිය නොහැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වා ඇත.

දිළිඳු ජනතාව වෙනුවෙන් ආරම්භ කළ අස්වැසුම සුබසාධන වැඩසටහනට සුදුසුකම් ඇති බොහෝ පිරිසක් ඇතුළත් නොවුණු බව පැහැදිලිය. ඒ පිළිබඳ සොයා බැලීමට රජය විසින් දස දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරුණේ නොවැම්බර් මස මුලදීය. මේ වන විට එම පත් කිරීමෙන් තෙමසක කාලයක් ගතව තිබේ. කඩිනමින් එම පරීක්ෂණ අවසන් කොට සුදුසුකම් ඇති පුද්ගලයින්ට අස්වැසුම දීමනාව ලබා දීම සහතික කළ  යුතු නොවේද?

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *