- පසුගිය තෙවසර තුළ පමණක් පාසල් ළමුන්ගේ හා කාන්තාවන්ගේ නිරුවත් දර්ශන අන්තර්ජාලය වෙත මුදාහැරීම පිළිබඳ පැමිණිලි 1139ක්
- සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව අවමයි, කියා දෙන්නෙත් වැරදියට! – ආචාර්ය සංජන හත්තොටුව
– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
අන්තර්ජාලය ලොව පුරා සිටින මිනිසුන් සම්බන්ධ කරන අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, එම මෙවලම සාධනීය ලෙස භාවිතයට නොගැනීමත් ඒ සම්බන්ධයෙන් ඇති සාක්ෂරතාව අඩු වීමත් මත අද වනවිට ගැටලු රැසක් පැනනැගී තිබේ. අන්තර්ජාලය ආශ්‍රිත ක්‍රියාකාරකම්, නීතිය මෙන්ම ශිෂ්ටත්වයද අභියෝගයට ලක් කරන ප්‍රවණතාවක් මේ වන විට ලොව පුරා ඇති වී තිබෙන අතර ශ්‍රී ලංකාවද එම තත්ත්වයෙහි ගොදුරක් බවට පත්ව තිබේ. විශේෂයෙන් අන්තර්ජාලය පදනම් කරගත් සමාජ මාධ්‍ය, කාන්තාවන් සහ ළමුන් සූරාකෑමේ වේදිකාවක් ලෙසද මතු වී ඇති ආකාරය මෑත කාලයේදී බෙහෙවින් දක්නට ලැබුණි.
ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පමණක් 2021 සිට 2023.12.31 දක්වා කාන්තාවන්ගේ හා පාසල් ළමුන්ගේ නිරුවත් ඡායා රූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම පිළිබඳ සිදුවීම් 1,063ක් වාර්තා වී තිබෙන බවට අනාවරණ වේ. එවැනි සමාජ ප්‍රවණතාවක් බොහෝ විට ඇති වී තිබෙන්නේ විශ්වාසය පලුදු වීම, හා මුදල් ඉපයීම, පළිගැනීම යන කරුණු හේතුවෙනි. විශේෂයෙන්ම මෙම අසම්මත භාවිතයන් හේතුවෙන් ඇති කරනු ලබන ප්‍රතිවිපාක හිතනා තරම් සුළු නොවේ. එහිදී වින්දිතයන්ට දැඩි සේ චිත්තවේගීය පීඩාවලට ලක් වීම, කොන් කිරීමට ලක් වීම පමණක් නොව ජිවිත තුළින් වන්දි ගෙවීමට පවා සිදුව තිබේ.
තෙවසරක පොලිස් පැමිණිලි
මෙම ලිපියට පදනම් වන්නේ, මෑත වකවානුව තුළ කාන්තාවන්ගේ හා පාසල් ළමුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කළ සොයාබැලීමකි.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම වෙනුවෙන් ලංකාවේ පොලිස් මූලස්ථාන, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළුව දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකටම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමු කළ අතර ඒ අනුව ලබාදුන් තොරතුරු මත මෙම අනාවරණය සිදුකරනු ලැබේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ලබා දුන් තොරතුරු අනුව 2021 සිට 2023.12.31 දක්වා කාන්තා හා ළමා නිරුවත් ඡායා රූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම පිළිබඳව වාර්තා වි ඇති පැමිණිලි සංඛ්‍යාව 1,063කි. ඒ අතර කාන්තාවන් සම්බන්ධ සිදුවීම් 892ක් මෙන්ම පාසල් ළමුන් සම්බන්ධ සිදුවීම් 171ක් වේ. මෙහි දී කැපී පෙනෙන දෙය නම් වාර්ෂිකව මෙ වැනි සිදුවීම් දෙගුණයක වර්ධනයක් දක්නට ලැබීමයි.
එමෙන්ම ඉහත සිදුවීම්වලට අදාළ සැකකරුවන් 332 දෙනෙකු වෙනුවෙන් 2023.12.31 දින වන විට නීතිය ක්‍රියත්මක කර තිබෙන අතර ඒ අතරින් 144 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ආකාරයෙන්ම ප්‍රදේශයන්හි පවතින පොලිස් ස්ථාන වෙත සිදු කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන්ද සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ 2021 සිට 2023.12.31 දක්වා ලංකාවේ පොලිස් කොට්ඨාස 43ක් අතරින් පොලිස් කොට්ඨාස 19ක් වෙත පමණක් කාන්තාවන්ගේ හා පාසල් ළමුන්ගේ නිරුවත් ඡායා රූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැමිණිලි 76ක් වාර්තා වී තිබෙන බවයි. ඒ අතර කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරීම පිළිබඳ සිදුවීම් 50ක් මෙන්ම පාසල් ළමුන් සම්බන්ධ පැමිණි 26ක් වේ. එම සිදුවීම් අතරින් එම කාලය තුළදී වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කුරුණෑගල පොලිස් කොට්ඨාසය තුළින් වන අතර එම පැමිණි සංඛ්‍යාව 14කි.
අර්බුදයේ වර්ධනය
ස්මාර්ට්ෆෝන් පැමිණීම, සමාජ මාධ්‍ය වේදිකා වැඩි වීම සහ භාවිතය වැඩි වීම හේතුවෙන් සන්නිවේදනය සහ සම්බන්ධතාවයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇත. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් සහ අවබෝධයක් මෙන්ම නීතිමය තත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් නොමැති වීම හේතුවෙන් මෙවැනි අපරාධ සමාජගතවීමේ ප්‍රවණතාව ද දැඩි සේ ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ, කාන්තාවන්ගේ සහ බාල වයස්කාර අයගේ නිරුවත් ඡායාරූප සංසරණය වීම සම්බන්ධ සිද්ධීන් ඉහළ ගොස් ඇත්තේ එම නොදැනුවත්භාවය සහ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ඇති අඩු දැනුම නිසා ය.
පසුගිය කාලය තුලදී පාසල් ළමුන් ඇතුළු කාන්තාවන්ගේ නිරුවත් අන්තර්ගතයන් සමාජගත වී ඇත්තේ තමන්ගේ සමිපතමයන් සේ කටයුතු කළ පුද්ගලයන් මාර්ගයෙන් වන අතර බොහොමයක් අන්තර්ගතයන් වින්දිතයන් විසින්ම (අපරාධයට ගොදුරු වුවන්) පෞද්ගලික, විශ්වාසනීය සබඳතාව මත තවකෙනෙකුට ලබාදී ඇති ඒවා වේ. විශ්වසනීය සබඳතාවලදී බෙදා ගනු ලැබූ අන්තර්ගතයන් පසුකාලීනව එම සම්බන්ධතා බිඳ වැටුණු පසු අදාළ සම්බන්ධයේ එක් පාර්ශ්වයක් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
මේ ආකාරයෙන් සමාජයේ ඇති අඩු දැනුවත්භාවය නිසාම පොලිසිය මෙන්ම විවිධ ආයතන විසින් ළමයින් හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ඒ ආකාරයෙන් 2021 සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී පමණක් පොලිස් කොට්ඨාස මට්ටමින් එවැනි දැනුවත් කිරීමේ වැඩ සටහන් 46,516ක් සිදු කර තිබෙන බව දිවයිනේ පොලිස් කොට්ඨාස 31ක් මගින් ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය. එසේ දැනුවත් කිරීම් සිදු කරනු ලැබුවත් සිදුවීම්වල වර්ධනය වාර්ෂිකව වැඩි වී තිබේ.
වින්දිතයන්ට ඇති බලපෑම
පුද්ගලික ඡායාරූප අන්තර්ජාලය හරහා බෙදා හැරීමේ ප්‍රතිවිපාක විනාශකාරීය. කාන්තාවන් සඳහා, මෙය බොහෝ විට චරිත ඝාතනය, කොන් කිරීම සහ ආන්තික අවස්ථාවන්හිදී සියදිවි නසාගැනීමේ ප්‍රවණතා ඇති කිරීමට තරම් ප්‍රබල වී තිබේ. කාන්තාවන්ගේ සදාචාරය අසමානුපාතික ලෙස විනිශ්චය කරනු ලබන ශ්‍රී ලාංකික සමාජය තුළදී වින්දිතයන් ඔවුන්ට ලැබිය යුතු සංවේදනය සහ සහයෝගය ලබා ගැනීමට වඩා මහජන පරීක්ෂාවකට නිතර මුහුණ දීමට සිදුවී තිබේ. එම සමාජ තත්වයද මෙවැනි තත්වයන්ට ගොදුරු වූවන් දැඩි සේ පීඩනයට ලක්කිරීමට හේතුවක් වී තිබේ.
විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ තත්ත්වය තවත් ඛේදජනක තත්වයක් උදා කර තිබේ. ක්ෂණික මානසික කම්පනයෙන් ඔබ්බට, මෙම තරුණ වින්දිතයන්ගේ අධ්‍යාපනය, සමාජ අන්තර්ක්‍රියා සහ වෘත්තීය අපේක්ෂාවන් කෙරෙහිද බලපෑම් ඇති කරයි..
ගැටලුවේ මූල හේතු
නීති රීති අණපනත් සැකසී තිබුණත් ඩිජිටල් සාක්ෂරතාව නොමැතිකම ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරන බොහෝ පරිශීලකයන්ට සබැඳි ආරක්ෂාව පිළිබඳ මූලික අවබෝධයක් නොමැති වීම, මෙවැනි අවදානම් තත්ත්ව තේරුම් නොගෙන පුද්ගලික රූප බෙදාගැනීම, පුද්ගලයන් සූරාකෑමට ගොදුරු වීමට මුලික හේතුවක් වී තිබේ.
ලිංගිකත්වය යනු ශ්‍රී ලංකාවේ ඉතා සංවේදී විෂයකි. කලාතුරකින් පවුල්වල හෝ පාසල්වල මේ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කෙරුණද, මෙම සංවාදයේ ඌනතාව තරුණියන්ට පුද්ගලික රූප බෙදා ගැනීම සහ කැමැත්ත අවබෝධ කර ගැනීම පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට ඇති අවකාශය අහුරා තිබේ. විශේෂයෙන්ම සයිබර් අපරාධ සහ ළමා කාමුක දර්ශන ආමන්ත්‍රණය කරන නීති ශ්‍රී ලංකාවට ඇතත්, බලාත්මක කිරීම දුර්වල මට්ටමක පැවතීම මෙහිදී කැපී පෙනේ. වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ විට බාධකවලට මුහුණ දීමට සිදුව තිබේ. මේ ආකාරයේ සමාජ මාධ්‍ය වේදිකා හරහා විවිධ හිංසනයන්ට ලක්වූ අයෙකු කියා සිටියේ ‘’ පොලිසියට පැමිණිලි දාන්න ගිහාම කිවුවේ දුරකතනයේ සිම් එක මාරු කරලා ඉන්න කියලා’’ යනුවෙනි. බොහෝ අවස්ථාවන්හි නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ඇති අඩු දැනුවත්භාවය හා විමර්ශනය කිරීමේ නොහැකියාවද හේතු වී තිබේ.
සමාජ මාධ්‍ය භූමිකාව
සමාජ මාධ්‍ය වේදිකා මෙම අර්බුදයේ උත්ප්‍රේරකයක් මෙන්ම සටන් බිමක් ලෙසද ක්‍රියා කරයි. ඔවුන් එවැනි රූප, ඉතා වේගයෙන් බෙදා හැරීමට පහසුකම් සපයන අතරම, ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ සූරාකෑමට එරෙහිව සටන් කිරීම සඳහා මෙවලම්ද ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, අන්තර්ගතය නිරීක්ෂණය කිරීමේ සහ නියාමනය කිරීමේ වගකීම බොහෝ දුරට මෙම වේදිකාවලටම පැවරේ. එය බොහෝ විට පුද්ගලිකත්වය, ප්‍රකාශනයේ නිදහස සහ ආරක්ෂාව සමතුලිත කිරීමට අරගල කරයි. නමුත් ලංකා රජය මෙම අපරාධ අවම කිරීම හා විමර්ශනය වෙනුවෙන් අදාළ ආයතන සමඟ නෛතික එකඟතාවකට පැමිණ නොමැති අතර අන්‍යෝන්‍ය එකඟතාව මත පමණක් කටයුතු කරන බව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් ලබාදුන් තොරතුරුවල සඳහන් වේ.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි වේදිකා නිතර අසභ්‍ය පින්තූර බෙදා හැරීමට භාවිත කරයි. එවැනි අන්තර්ගතයන්ට එරෙහි ප්‍රතිපත්ති තිබියදීත්, බලාත්මක කිරීමේ යාන්ත්‍රණ බොහෝ විට වැළැක්වීමට වඩා ප්‍රතික්‍රියාශීලී වේ. එපමණක් නොව, සංකේතාත්මක පණිවුඩ සේවා මගින් පැහැදිලි ද්‍රව්‍ය පැතිරීම ලුහුබැඳීම සහ නැවැත්වීම සැලකිය යුතු අභියෝගයක් බවට පත් කරයි.
නීතිමය භූ දර්ශනය
ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට දණ්ඩ නීති සංග්‍රහය සහ සයිබර් අපරාධ පනත යටතේ ළමා කාමුක දර්ශන සහ පැහැදිලි අන්තර්ගතයක් අන්තරජාලය වෙත බෙදාගැනීම වැනි ගැටලු විසඳීමට ප්‍රතිපාදන ඇත. කෙසේ වෙතත්, මෙම නීති බොහෝ විට ඩිජිටල් අපරාධවල සූක්ෂ්මතාවන් සවිස්තරාත්මකව විසඳීමට අසමත් වේ. මීට අමතරව, වින්දිතයන් නීතිය ඉදිරියට පැමිණීමට ඇති අකමැත්ත, සමාජ විනිශ්චයට ඇති බියෙන් සැඟව සිටීමට උත්සහ ගැනීමද ඔවුන්ට නීතියෙන් ලැබිය හැකි පිළිසරණ අහිමි වීමට හේතුවී තිබේ.
මේ සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුවගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේවන් අදහසකි.
‘’මෙවැනි තත්වයන් පදනම්කරගෙන තමයි ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) ගෙන්න කාටයුතු කළේ. නමුත් ඔන්ලයින් ආරක්ෂණ පනතේ අන්තර්ගතය තුළ මේ හා සම්බන්ධ කිසිදු සඳහනක් නෑ. වගන්තියක් දෙකක් හැරෙන්න. නමුත් මේක පදනම්කරගෙන තමයි ව්‍යාජ වශයෙන් OSA අවශ්‍ය බව පෙන්වා දුන්නේ. ඇත්තටම මේක බටහිර ලෝකයේ ප්‍රශ්න තුළත් තියෙන උග්‍ර ප්‍රශ්නයක්, නමුත් එය පුදුමයට කාරණයක් නොවේ. අනෙක් කාරණය තමයි Generative AI තාක්ෂණය (උත්පාදක කෘත්‍රිම බුද්ධිය) හරහා 2022 අග භාගයේ සිට නිෂ්පාදනය කරනු ලබන Child Sexual Exploitation material (ළමා ලිංගික සූරාකෑමේ ද්‍රව්‍ය) එහෙම නැත්නම් කාන්තාවන් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කළ හැකි අන්තර්ගතයන් අතිශයින්ම වැඩි වෙලා තියෙනවා. පරිගණක ඉතිහාසයේ නොතිබුණු, නොදැකපු තර්ජනයක් තාක්ෂණික පදනමකින් වැඩි වෙලා තියෙනවා.’’
‘‘Generative AI එන්න කලිනුත්, පසුවත් අපි කියලා තියනවා මේකට පිළිතුර OSA එක නොවේ, පැහැදිලි උත්තරය කියලා අනිවාර්යයෙන්ම සෘජු, ක්‍රමානුකූල, සාක්ෂි සහිත, දත්ත පදනම් කරගත්ත උත්තරයක් අවශ්‍යයයි කියන එක. ඒ වගේම නීතිමය වශයෙනුත් පොලිසියෙන් විතරක් කරන්නත් බෑ, අදාළ සමාජ මාධ්‍ය ආයතනවලට විතරක් කරන්නත් බෑ. මේ සඳහා සෘජු හා පුළුල් ලෙස සමාජගත කරලා සමාජයේ සාකච්ඡාවක් ඇති කරන්න පුළුවන්. මන්ද කිව්වොත් මේ සඳහා දේශපාලන, සමාජ වශයෙන් පුළුල් කතිකාවතක් අවශ්‍යයි.’’ එමෙන්ම OSA එකෙන් ලබා දී තිබෙන්නේ සරල පක්ෂපාතී ප්‍රාථමික උත්තරයක් බවද ආචාර්ය හත්තෙටුව කියා සිටියේය.
‘‘මේ සම්බන්ධයෙන් සමාජයේ ඇති මාධ්‍ය සාක්ෂරතාවද අඩු වන අතර ඒවා කියල දෙන අයත් වැරදියි. වැරදි රාමුවකින් තමයි මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ කතිකාව රාමුගතවෙලා තියෙන්නේ. කරන කට්ටියටත් තේරිලා නෑ කොහොමද කරන්නේ කියලා.’’
ඒ සඳහා පවතින ශක්තිමත් නීති ඒ අයුරින්ම බලාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතී. ප්‍රතිපත්ති සම්පාදකයන් වින්දිතයන්ගේ ආරක්ෂාව සහ අපරාධකරුවන්ගේ වගවීම කෙරෙහි අවධානය යොමු කරමින්, උසස් සයිබර් ආරක්ෂණ රාමු සහිත රටවල ආකෘති අනුගමනය කිරීම සලකා බැලිය යුතුය.