Social, පුවත්

ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථාන හිගය

By In

කමණී හෙට්ටිආරච්චි

ලංකාවේ පාසල් දරුවන් සහ තරුණ පරම්පරාව අතර සීඝ්‍රයෙන් පැතිර යන අයිස් නැමති මත්ද්‍රව්‍ය පිළිබඳ මාතෘකාව පසුගිය දිනවල රටේ ඉමහත් ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් විය .අයිස් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පාසල් දරුවන් මූලික කරගනිමින් විවිධ වැඩසටහන් ද පසුගිය කාලය පුරා රට තුල ක්‍රියාත්මක විය .

                 ශ්‍රී ලාංකික ජනතාව අතර මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීමේ ඉතිහාසය පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කළ 1505 වසර දක්වා ඈතට දිවයයි . ‘අබිං’ නමැති මත්ද්‍රව්‍ය එම අවධියේ මත්ලෝලීන් අතර ජනප්‍රිය වූ මත්ද්‍රව්‍ය විය .1970 දශකයෙන් පසු ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බවට පත්වූයේ  ‘හෙරොයින්’ නමැති මත්ද්‍රව්‍ය ය .එය විවෘත ආර්ථිකයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙසට ද සමහරුන් අර්ථකථනය කරති .ලොව ප්‍රධානම මත්ද්‍රව්‍ය ලෙස හෙරොයින් හඳුනා ගෙන  තිබුණ ද අද ලංකාවේ වසංගතයක් ලෙස පැතිර යනු ලබන්නේ metham fetamine නම් අයිස් මත්ද්‍රව්‍ය වේ.

            අන්තරායකර ඖෂධ පාලක  මණ්ඩලයේ සංඛ්‍යා ලේඛන වලට අනුව හෙරොයින් වලට ඇබ්බැහි වූවන් සංඛ්‍යාව ලක්ෂ 93ක් පමණ වන අතර ගංජා වලට ඇබ්බැහි වූවන් සංඛ්‍යාව ලක්ෂ හතරකට ආසන්න ය. දරුවන් අතර සීග්‍රයෙන් පැතිර යන අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් නිවැරදි ලෙස තහවුරු කළ සංඛ්‍යාලේඛන මෙතෙක් නිල වශයෙන් ඉදිරිපත් වී නොමැති බව දක්නට ලැබේ .කෙසේ නමුත් ඇති වී තිබෙන  ව්‍යසනකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා රජය විසින් නොබෝදා විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමටද තීරණය කරනු ලැබීය .ඉන් ගම්‍ය වනුයේ මෙය ප්‍රබල සමාජ ගැටළුවක් බවට පරිවර්තනය වෙමින් තිබෙන ආකාරයයි.

             මත්ද්‍රව්‍ය නිවාරණය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් වෙන්කර හඳුනා ගැනීම මත්ද්‍රව්‍ය වලට  ඇබ්බැහි වූවන් සදහා සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදීම පිළිබඳව මෙම කාර්ය සාධක බළකායේ සහ රජයේ අවධානය යොමු වී තිබේ .

                  මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම රජයක් වෙත පැවරෙන ප්‍රධාන වගකීමකි. එම පිරිස දරුවන් හෝ වැඩිහිටියන් හෝ වේවා ඔවුන් යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කිරීම ආණ්ඩුවේ මෙන්ම සමස්ත සමාජයේ ද වගකීමකි .ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා නේවාසික ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවාවන් රජය මෙන්ම රාජ්‍ය නොවන ආයතන විසින් ද පවත්වාගෙන යනු ලබයි .නමුත් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන පරිදි මෙරට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ගේ ඉල්ලුමට සාපේක්ෂව පුනරුත්ථාපනය සඳහා අවශ්‍ය පහසුකම් පවතිනුයේ අවම මට්ටමකය. එබැවින් මෙය අවධානයට යොමුවි යුතු සමාජ ගැටළුවක් වන්නේය. 

             මෙම විෂය සම්බන්ධයෙන් කටයුතු කරන රජරට  විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජ් ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙනුයේ රටේ පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථාන බොහොමයක්  නිසි ප්‍රමිතීන් අනුව ක්‍රියාත්මක වන ඒවා නොවන බවයි.

                  ශ්‍රී ලංකාවේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යනු මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් සිය කාර්යය  ඉටු කරන පුරෝගාමී රාජ්‍ය ආයතනයයි. ඔවුනගේ සෙසු කාර්යයන් අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර ලබාදීම, මත්ද්‍රව්‍ය මත යැපෙන්නන්ට ප්‍රතිකාර ලබාදීම, පුනරුත්ථාපනය කිරීම ප්‍රධාන වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ප්‍රබල බාධකයක් ලෙස පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීම සහ ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලයට යොමු කරන ලද 2022 .11.16  දිනැති ලිපියට තොරතුරු නිලධාරී  ආර්.එම්.එස්.පි.එම්. රත්නායක අප වෙත එවන ලද ලිපියෙන් පහත දැක්වෙන තොරතුරු අනාවරණය විය.

             ලංකාවේ දැනට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රාජ්‍ය ආයතන 17 ක් පවතින අතර රාජ්‍ය නොවන ආයතන 24 ක් පවතී .එකී මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන මධ්‍යස්ථාන 4 ක් පවතින අතර සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන දෙකක් පවතී . පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය එක් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන (නම් කරන ලද) 10ක් පවත්වාගෙන යනු ලබයි.රජය විසින් හඳුනාගත් පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථාන 24 ක් පවතින අතර එම මධ්‍යස්ථාන අතරින් ලියාපදිංචිය ලබා ඇති පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 12කි.  

                එම මධ්‍යස්ථාන වලින් දැනට පුනරුත්ථාපනය කළ හැකි සංඛ්‍යාව කොපමණදැයි යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු සපයන එම මණ්ඩලය එම සංඛ්‍යාව මෙලෙස දක්වා ඇත .බස්නාහිර පළාත් නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ආයතනය සේවාලාභීන් හතළිහයි දකුණු පළාත්  නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ආයතනය සේවාලාභීන් 35යි මධ්‍යම පළාත් ආයතනය සේවාලාභීන් 35යි.නව දිගන්තය නිවාරණ ආයතනය සේවාලාභීන් සීයක් පුනරුත්ථාපනය කරන අතර මෙම සංඛ්‍යාව ඔවුන් එක්වරක පුනරුත්ථාපනය කරන පුද්ගලයන් ප්‍රමාණය වන අතර ප්‍රතිකාර කාලසීමාව මාස තුනකි.  

                  එම මධ්‍යස්ථානවල දැනට පවතින තදබදය අවම කිරීමට හෝ  වළක්වා ගැනීමට තවත් කොපමණ ඉඩ ප්‍රමාණයක් හෝ මධ්‍යස්ථාන ප්‍රමාණයක් අවශ්‍ය ද  යන පැනයට එම මණ්ඩලය ලබා දී තිබෙන්නේ මෙවැනි පිළිතුරකි. “මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා  පුනරුත්ථාපනය සඳහා ස්වේච්ඡාවෙන් සහ 2007 අංක 54 දරණ ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනුරුත්ථාපනය ) පිළිබඳ පනත මගින් උසාවි හරහා යොමු කරන අතර පවතින පහසුකම් මත සේවාවන් සපයනු ලැබේ .නේවාසික ප්‍රතිකාර සඳහා නොපැමිණෙන පුද්ගලයන් සඳහා ප්‍රජා පාදක ප්‍රතිකාර ක්‍රමය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත” යනුවෙනි. 

               මෙම සීමා සහිත පහසුකම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර තිබේ ද? එම බලධාරීන් කවුරුන්ද? ඔවුන්ගේ නම් සහ තනතුරු මොනවාද? යන්න පිළිබඳව විමසා යොමු කර තිබෙන පැනයට පිළිතුරු  ලබාදී  ඇති එම මණ්ඩලය ‘ඔව්’ යනුවෙන් සඳහන් කර ඇති අතර ඔවුන් දැනුවත් කර ඇත්තේ රේඛීය අමාත්‍යාංශයේ නිලධාරීන් බවද සඳහන් කර ඇත .එම නිලධාරීන්ගේ තනතුරු හෝ නම් කිසිවක් ඔවුන් විසින් අප වෙත එවන ලද පිළිතුරේ සඳහන් කර නොමැත .

             එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ සංවිධානයේ 2019 වර්ෂයේ ඉදිරිපත් කළ වාර්තාවට අනුව 2017 වර්ෂයේ ලෝක ජනගහනය ගත්විට අවුරුදු 15 ත් 64 ත් අතර වයස් කාණ්ඩයට අයත් පිරිස අතරින්  එක් වරක් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති සංඛ්‍යාව මිලියන විසිහතක් වේ. එය ලෝක ජනගහනයෙන් සියයට 5.5 ක් වේ .ඒ අනුව අපගේ මාතෘකාවට විෂය වූ මත්ද්‍රව්‍ය ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවන බව පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමට බලපාන සුවිශේෂී සාධක අතර භූමියේ පිහිටීම ද ඉවහල් වේ. ලෝකයේ මත්ද්‍රව්‍ය නිපදවන ප්‍රධාන කලාප දෙක වන පකිස්ථානය හා ඉරානය අයත් වන රත්තරන් චන්ද්‍රවංකය සහ බුරුමය තායිලන්තය ලාඕසය  ද අයත්  වන රත්තරන් ත්‍රිකෝණය අතර ලංකාව පිහිටා තිබීම නිසා ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත .මෙය සුවිශේෂී අවධානයට ලක් විය යුතු කාරණයකි.

ලංකාවේ මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ සියලු දෙනාට අදාළව නීති මගින් කටයුතු කිරීම නිසා එම පිරිසගෙන් බන්ධනාගාර තදබදය ඉහළ ගොස් ඇත .එම පිරිස පුනරුත්ථාපනය කිරීම සඳහා තිබෙන පහසුකම් අවම වීම හේතුකොටගෙන බන්ධනාගාර ගත වුවන් ඉන් නිදහස් ව යළි පෙර වැරදි වලට ම යොමු වීම නිසා එම වැරදි සඳහා නැවත නැවත බන්ධනාගාර ගත වීම චක්‍රයක් ලෙස සිදුවේ .මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සැදී පැහැදී සිටියත් ඔවුන්ට ඊට බාධා පමුණුවන කරුණු කීපයක් අතර දැනට පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඩ ප්‍රමාණවත් නොවීම විශේෂ අවධානයට ලක්විය යුත්තකි .ඉතා කනගාටුදායක කාරණය නම් පුනුරුත්ථාපනය වීමට බලාපොරොත්තුව සිටින්නෙකුට වසර කිහිපයක් පොරොත්තු ලේඛනයේ රැදි සිටීමට සිදුවී තිබීමය .මෙම ගැටළුව තවදුරටත් වසන් කිරිමෙන් සිදුවනුයේ මෙය බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්විමය.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *