පුවත්

ලංකාවේ ඇති සියලු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නීති විරෝධියි

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට

කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කීපයක මේ වනවිට පවත්වාගෙන යනු ලබන සියලු පුද්ගලික  කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන යනු ලබන  නීතිවිරෝධී ඒවා බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා ගත් තොරතුරුවලින් හෙළිවේ.

එමෙන්ම   හික්කඩුව ජාතික උද්‍යානයතුල  වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්බ කර තිබෙන පළමු  එකම පළමු ආදර්ශ  කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය ලංකාව තුල ඇති එකම නිත්‍යානුකුල මධ්‍යස්ථානය  බවද එම තොරතුරු වලින් හෙළිවේ.

රජයට කිසිදු බදු මුදලක් නොගෙවා  කැස්බෑ සංරක්ෂණයේ මුවාවෙන් පවත්වාගෙන යනු ලබන අනෙකුත් මධ්‍යස්ථාන  දිනකට විශාල මුදලක් උපයාගනු ලබන්නේ  විදෙස් සංචාරකයෙකුගෙන් රුපියල් 1000 ක මුදලකට හා දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 50 සිට 100 දක්වා ටිකට් පතකට එම මධ්‍යස්ථාන නැරඹීම සඳහා අවස්තාව සලසා දෙමිනි.

එමෙන්ම  කැස්බෑ පැටවුන් නිදහස් කිරීම  වෙනුවෙන් දෙස් විදෙස් සෑම සංචාරකයෙකුම අදාළ මධ්‍යස්ථානය වෙත රුපියල් 1500ක මුදලක් ගෙවිය යුතු අතර ඒ සඳහා කැස්බෑ පැටවුන් පස් දෙනෙකු නිදහස් කිරීමට ඔවුන් ලබා දෙනු ලැබේ.

ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් යන සත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයට ද ඇතුලත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින සත්ව විශේෂයකි.

එවැනි  සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක් වන ශ්‍රි ලංකාවේ මුහුදු තීරය වෙත  ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න්, විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී ඒම සිදුවේ.

එසේ ලංකාව තුල දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන බටු කැස්බෑවා (Olive ridley turtle) , ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead)  ,  ගල් කැස්බෑවා (Green turtle)  , පොතු කැස්බෑවා (Hawksbill turtle)  , දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන්   දකුණු වෙරල තිරයේ දී දක්නට ලැබේ .

එසේ  කැස්බෑවන් දකුණු වෙරල තිරයේ දී නිරන්තරයෙන් දක්නට  ඇති ප්‍රදේශ අතර මිරිස්ස,  වැලිගම , හබරාදුව , හම්බන්තොට , අංගොඩ , රැකව ,බුන්දල යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකි ය. එම ප්‍රදේශ පදනම් කරගනිමින් මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන් ද පවත්වාගෙන යනු ලබයි.

1

වඳවී යෑමේ තර්ජනයට දැඩිව මුහුණ පා සිටින මෙම කැස්බෑවුන් සංරක්ෂණය සඳහා විවිධාකාරයේ වැඩසටහන් රට තුල ක්‍රියාත්මක වන අතරතුර   දකුණු වෙරළ තීරය තුලද  දිගටම මෙවැනි මධ්‍යස්ථාන 15ක පමණ ප්‍රමාණයක් මගින්   සිමෙන්ති ටැංකි කීපයක් අටවා ගත හැකි සෑම මඩුවකම ‘කැස්බෑ සංරක්ෂණය’නාමයෙන් කෙරෙනා මේ ජාවාරම පිළිබඳව මෙතෙක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  කිසිදු   ආකාරයක නීතියක්  ක්‍රියාත්මක නොකර ඇතිබව ද තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබා ගත් තොරතුරු මගින් හෙළිවිය .

මොකද්ද මේ කැස්බෑ සංරක්ෂණය?

මුළු ජීවිත කාලයම මුහුදේ ගත කළත්, සාගරවාසී කැස්බෑවුන් විශේෂ සියල්ලම බිත්තර දැමීම සඳහා වෙරළ කරා ඇදෙන අතර මේ ආකාරයෙන් මුහුදු වෙරළේ දමන බිත්තර විලෝපිකයින් සහ මිනිස් ක්‍රියාකාරකම් අතින් විනාශ වන නිසා මෙම බිත්තර එකතු කර ‘සංරක්ෂණ මධ්‍යස්ථානයන්’ හි තබා, ඒවායින් බිහිවන පැටවුන් මුහුදට මුදා හැරීම සහ ආබාධිත කැස්බෑවුන් ‍රැක බලා ගැනීම සිදුවන බවට පැවසෙනවා.

2

තත්ත්වය එසේ වුවත්, දකුණු  වෙරළ තීරය දිගේ පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන නීති විරෝධී වනවා පමණක්  නොවේ. කැස්බෑවුන් සංරක්ෂණය කරනු ලබන්නේ කැස්බෑවුන්ට සරිලන කිසිදු ජීවවිද්‍යාත්මක ක්‍රමයක් අනුව නොවන බවද එම මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමෙන් ගම්‍යමාන වන කරුණකි. මෙම මධ්‍යස්ථානවල හිමිකරුවන් විසින් වෙරළාශ්‍රිතව වෙසෙන්නන්ට හා ධීවරයින්ට බිත්තරයකට රුපියල් 50 සිට 100 දක්වා විවිධ අගයකින් යුතු මුදල් ගෙවා  ඔවුන් හරහා තම මධ්‍යස්ථානයන්ට බිත්තර එකතු කරගනු ලබන බව ද ධීවරයන් හා ප්‍රදේශයේ ජනතාව කියා සිටිනවා

3

සංරක්ෂණ මධ්‍යස්ථාන තුලින් කැස්බෑ ගහණයට වන හානිය

සංරක්ෂණය  මුවාවෙන් පවත්වාගත්තත්, මෙම මධ්‍යස්ථාන කැස්බෑවුන්ගේ පැවැත්මට ඉතාම හානිදායක දෙයක් වන්නේ,  චලතාපී සත්ත්ව කොටසක් වන කැස්බෑවුන්  බිත්තරයක් තුළ වැඩෙන පැටවාගේ ලිංගය තීරණය වෙන්නෙ බිත්තරයට ලැබෙන තාපය අනුවයි. කැස්බෑ මවක් සුදුසු ස්ථානයක් ‍තෝරාගෙන, වළක් හාරා බිත්තර දමන විට, කුටියේ ගැඹුරත්, හැඩයත්, බිත්තර දමන ආනතියත් නිසා පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ආසන්න වශයෙන් 1:1 ආකාරයෙන් වන බව පරිසර වේදීන් පෙන්වා දෙනවා.

p1 (25)

නමුත් ‘සංරක්ෂණය’ සඳහා වල හාරා බිත්තර පිටතට ගෙන ‘සංරක්ෂණ මධ්‍යස්ථාන’ වලට ගෙනවිත් නැවත වල දමන්නවුන්ට මෙම ජීව විද්‍යාත්මක කරුණු පිළිබඳව කිසිම දැනුමක් නැති නිසා කැස්බෑ ‘සංරක්ෂණ’මධ්‍යස්ථාන වලින් නැවත වල දමන බිත්තර වලින් බිහිවන 97%ක්ම පැටවුන් පිරිමි සතුන් වෙනබව පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මෙම හේතුව නිසා ප්‍රජනන කාර්යය සඳහා ගැහැණු සතුන් සාගරයට මුදා හැරෙන්නේ නැති  තරම් සේම මෙම මධ්‍යස්ථාන වල බිත්තර කුටීරයන්හි බිත්තර තැන්පත් කිරීමේ දී නියමිත දුර ප්‍රමාණයන්ට අනුව තැන්පත් නොකරන නිසා, දිලීර ආසාදන නිසා පැටවුන්ගේ මරණ අනුපාතය සැලකිය යුතු තරමින් ඉහළ යන බවයි පරිසර වේදීන් පවසා සිටින්නේ.   එම නිසා  සංරක්ෂණය මුවාවෙන් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථාන වලින් සාගර කැස්බෑ ප්‍රජාවට සිදු කෙරෙන්නේ ඉතාමත්ම දරුණු විනාශයක් බවද ඔවුහු පෙන්වා දෙති.

ස්වභාවික පරිසර  තත්ත්වයන් යටතේ දී බිත්තරයකින් කැස්බෑ පැටවෙකු බිහි වූ විට වෙරළේ සිට එසැනින් මුහුද කරා ඇදී ගොස් පැය 48ක් පමණ කාලයක් එක දිගට පිහිනීම සිදුකරනවා. ‘බාලක උන්මාදය’ (juvenille frenzy) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියෙන් ස්වභාවධර්මයා විසින් ශක්තිමත් පැටවුන් පමණක් ඉතිරි කර දුර්වලයින් ඉවත් කර දමනවා. මෙම පැටවුන් තනිව ආහාර සොයා ගැනීම අරඹන්නේ මෙම පැය 48 පිහිනා විඩා නිවීමෙන් පසුවයි.තම ජීවිත කාලයේම සංචරණය, මග සොයාගැනීම සඳහා අතිශය වැදගත් වන පෘථිවියේ චුම්බක පද්ධතිය පැටවුන් විසින් තම ජෛව පද්ධතියට ග්‍රහණය කරගන්නේ ද මෙම කාලයේ දී බව නීතිඥ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පවසා සිටි.

9

නමුත් මෙම ‘සංරක්ෂණ’ මධ්‍යස්ථාන වලින් බිහිවන පැටවුන්ට මෙම අතිශය වැදගත් ස්වභාවික ක්‍රියාවලියට මුහුණ පෑමේ අවස්ථාව අහිමි කර තිබෙනවා. ඔවුන්ව මුහුදට මුදා හැරෙන්නේ උපතින් පසු දින කීපයක් කොන්ක්‍රීට් ටැංකි වල තබා ගැනීමෙන් අනතුරුවයි. මෙයින් සිදුවන හානිය ද විශාල වන අතර  ප්‍රධාන වශයෙන්ම  බිත්තරයෙන් බිහිව පැය 48ක් පමණ දියඹට පිහිනීමට අවශ්‍ය ශක්තිය පැටවාට ලැබෙන්නේ බිත්තරයේ පෝෂ්‍ය ද්‍රව්‍ය වලින්. නමුත් දින කීපයක් සිමෙන්ති ටැංකියක් තුළ ඔබමොබ පිහිනීමෙන් පැටවුන් මෙම ශක්තිය අහිමි කරගන්නවා. එනිසා මොවුන් මුදා හැරිය විට පිහිනීමට ඇති ශක්තිය මදකමින්  වෙරළාසන්නයේ දී ම විලෝපිකයින්ට ගොදුරු වන නිසා දියඹට පීනා යන්නේ ඉතාම සුළු කැස්බෑ පැටවුන් ප්‍රමාණයක් පමණක් වීම තුල කැස්බෑ ගහනයේ වර්ධනයට එය සෘජු ලෙස දැඩිව බලපා තිබෙන බවද ජගත් ගුණවර්ධන මහතා පෙන්වාදෙයි.

‘’ අවාසනාවකට මෙන් මෙම කැස්ඹෑ පැටවුන් මෙම කාලයට වඩා වැඩි කාලයක් මිනිසුන් ළඟ තබා ගැනීම නිසා එම සතුන්ට විශාල කුසගින්නක් ඇතිවන විට ආසන්නයේ ඇති දේවල් ආහාරයට ගැනීම තුළ කැස්ඹෑ පැටවුන් රංචු වශයෙන් තබා ගැනීමේ දී එකිනෙකාව හපාගෙන කෑමට පටන්ගන්නවා. ඒ නිසා සමහර සතුන්ගේ ශරීර කොටස් අහිමි වෙනවා. එසේම ආසාදන තත්ව ද ඇති විය හැකියි. බීජ සමය පසු කළ කැස්ඹෑ පැටවා පිටින් ආහාර ගැනීම පටන්ගන්නා විට තම ශරීරයේ බර වැඩිවීම නිසා වතුරට මුදා හැරිය ද බොහෝ දුර පීනා ගොස් නිරුපද්‍රිත මුහුදු සීමාවකට යෑමේ අවකාශය අඩුයි. ඇතැම් විට එසේ දාපු පැටවුන් නැවත වෙරළාසන්න ප්‍රදේශවලට ගසාගෙන එනවා. එවිට ජලචර පක්ෂීන්ගෙන් හා විශාල මත්ස්‍යයින්ගෙන් අනතුරට ලක්වීමේ ඉඩකඩ වැඩිවෙනවා’’.

එමන්ම  මෙම පැටවුන් ටැංකි වලට දමන්නේ සියළුම විශේෂ එකට සිටින ලෙසයි. එම නිසා මෙම ඇතැම් විශේෂ අනෙක් විශේෂයන් නසා දමන නිසා පැටවුන් එකිනෙකාගේ ගාත්‍රා ආදිය සපා කා හානි කර, විනාශ කර දැමීමට පෙළඹෙනවා.   මෙනිසා මොවුන් ජීවත් වීමේ සම්භාවිතාව තව තවත් පහළ වැටේ . මිට අමතරව මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරකයින් ලවා මෙම පැටවුන් මුහුදටම ගෙන ගොස් අතහැරීම සිදුකරනවා. නමුත් කැස්බෑපැටවුන් මුහුදට මුදා  හැරීම කළ යුත්තේ රාත්‍රියේ දී වුණත්, මුදල් ඉපැයීමේ අරමුණෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට මොවුන් මෙම පැටවුන් දිවා කාලයේ මුහුදට මුදා හැරීම තුලින්  එයින් ඔවුන්ගේ ජීවත් වීමේ ඉඩකඩ තව තවත් පහළ වැටෙන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

බොහොමයක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන තුල විශාල  කැස්බෑවන් පවා  රඳවා ගෙන සිටින්නේ ඉතාම කුඩා ඉඩකඩක් සහිත සිමෙන්ති ටැංකි තුලය.  විශාල සාගරකය වසර 300 ට ආසන්න කාලයක් ජිවත්වීමේ වාසනාවක් ඇති සතෙකු මෙවැනි ස්ථානයක සිරකර තබා ගැනීමට සදාචාරාත්මක මෙන්ම නීතිමය අයිතියක් ද නොමැති පසුබිමක, මෙවැනි ජාවාරම් පවත්වාගෙන යන්නේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් පවතින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු නීතියක් ක්‍රියාත්මක කිරීමක් නොමැති නිසාත්, කැස්බෑ සංරක්ෂණය කෙරෙහි අදාල රාජ්‍ය ආයතනය දක්වන අඩු සැලකිල්ල නිසාත් බව මෙයින් පැහැදිලි වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සමස්ත ලංකා මුහුදු කැස්ඹෑ සංරක්ෂණ සංගමයේ සභාපති  ජීවන් කස්තුරිආරච්චි පළකර සිටියේ මෙවන් අදහසක්.

”ලෝකය දියුණු වෙලා. නව තාක්ෂණික දේවල් මුහුදට ඇවිල්ලා තියෙනවා. මෙම සතුන්ට දැන් මුහුදේ ජීවත්වීමට හැකියාවක් නෑ. ඒ නිසා දැන් මේ සතුන්ට සංරක්ෂණ මධ්‍යස්ථාන පවා බිහිවෙන්න වෙලා තියෙනවා. මේ සතුන්ට උද්ගතවෙලා තියෙන තත්වයත් සමග සමහර සුළු පිරිසක් කරන වැරදි නිසා මේ සතුන්ට මේ තත්වය උදාවෙලා තියෙනවා.

8

දැනට වසර 05කට පමණ පෙර ලංකාවේ කිසිදු සංරක්ෂණ මධ්‍යස්ථානයක් හෝ සංගමයක් බිහිවෙලා තිබුණෙ නෑ. ඒ කාලෙ එක් එක් තැන් තැන්වල පොඩි පොඩි වශයෙන් පවත්වාගෙන ගිය කැස්බෑවුන් ආරක්ෂා කරන තැන් එකතැනකට ගෙනැල්ලා සංගමයක් පිහිටුවලා කැස්බෑවුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බව එවක සිටි වනජීවී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු වනජීවී නිලධාරීන් තීරණය කරනු ලැබුවා නමුත් ඒක වුනේ නෑ.

සමහර මධ්‍යස්ථානවල  කැස්බෑවන්ට හරිම අකටයුතු දේවල් සිදුවෙනවා. සමහර කැස්බෑවුන්ට සති දෙකක් පමණ කෑම ලබාදෙන්නෙ නෑ. සමහර සංරක්ෂණ මධ්‍යස්ථාන, මේක ව්‍යාපාරයක් ලෙස හිතනවා මිස ඒ සත්වයාට සැලකිය යුතු ආකාරය ගැන හිතන්නෙ නෑ. සතුන් අතින් අල්ලනවා. ඡායාරූප ගන්නවා. එම කිරණ එම සතුන්ට වදිනවා. ඒ පිළිබඳ කිසිදු දැනීමක් නෑ. වනජීවී නිලධාරීන් ඒ පිළිබඳ දැනුවත් කළ යුතු වෙනවා.”

මෙහි දී මූලිකවම සිදුවෙලා තියෙන්නේ සංචාරක ආකර්ශනය නිසා අධිකව මුදල් උපයන ස්ථාන බවට පත් වෙලා තිබීම. අපි මේ පිළිබඳව වනජීවී නිලධාරී මහතුන් දැනුවත් කරලා තියෙනවා. මේ පිළිබඳව අපි නීති උපදෙස් ලබාගැනීම සඳහා අදාළ අංශවලට යොමු කරලා තියෙනවා. කැස්බෑවන් සංරක්ෂණය කියන එකට මූලිකත්වය දිය යුතුයි. එසේ නොකර   එවැනි වැරදි කරන අය හඳුනාගෙන ඒවා නොකරන්නට ඒ අයට උපදෙස් දීලා එම සතුන් ආරක්ෂා කරගැනීමට උපදෙස් දීලා එම බිත්තර මිනිසුන්ගේ ආහාර බවට පත්වීම වලක්වා ඒවා ආරක්ෂා කරගැනීමට ක්‍රමවේදයක් සකසා දෙන්න ඕන.

”වෙරළ තීරය තුළ ටැංකි 4ක් 5ක් හදාගෙන ධීවරයින්ගේ මාර්ගයෙන් කැස්බෑවො ටිකක් දැලක පටලවලා ටැංකිවලට ගෙනත් දාගන්නවා. ඉතින් ටිකට් එකක් ගහලා පෙන්වනවා. මේක සමහර අය ව්‍යාපාරයක් කරගෙන. පසුගිය කාලයේ ඉදි කරපු සහ දැනට ඉදිවෙමින් පවතින එවැනි ස්ථාන තියෙනවා. නමුත් සංගමයක් හැටියට අපට අවසරයකුත් නෑ එවැනි ස්ථාන නිරික්ෂණය කරලා යම් පියවරක් ගන්න. වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේකට විසඳුමක් සොයාගත යුතුයි. හතු පිපෙන්න වගේ රට පුරා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන බිහිවෙනවා. කැස්බෑ පැටවුන් බිහිවූ විගසම මුහුදට මුදා හැරීම කළ යුතුයි. නමුත් සති ගණන් ටැංකිවල තියාගෙන අතින් අල්ලලා සියළු දෙනාට පෙන්වීම තුළින් කැස්බෑ පැටවුන්ට හානි වෙන බවද ජීවන් කස්තුරිආරච්චි මහතා පවසා සිටියේය.

නිතිය ක්‍රියාත්මක නොවීම

ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ  III වන කොටසේ 30 වන වගන්තියට ප්‍රකාරව” ඇ” සිට ”උ ” දක්වා වගන්ති තුල සදහන් නීතිරීති වලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම් වේ .එපමණක් නොවෙයි, එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවෙන වැරදිකරුවන්ට ලබා දිය යුතු දඬුවම් පැහැදිලිවම දක්වා තිබෙන  අතර  ඒ අනුව අදාළ වැරැද්ද සිදුකරනු ලබන තැනත්තා හට ඔහු වරද කරු කිරීමේදී රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ දඩය සහ දෙකටම යත්විය යුතු වුවත් වසර ගනනක් මුළුල්ලේ නීති විරෝධිව සත්ව හිංසනයන් ද සිදුකරමින් පවත්වාගෙන යන මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු වැටලීමක් , අත්අඩංගුවට ගැනීමක් ,නඩු පැවරීමක් කර නොමැති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු මගින් හෙළි වේ.

රාජ්‍ය ආයතනයක් වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව   ලංකාවේ වනජීවීන් නිසා විශාල   ලාභයක් ලබන බව තොරතුරු පනතින් වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත්  තොරතුරුවලින් අනාවරණ වන නමුත්  වනජීවීන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය සම්බන්ධයෙන් මෙවැනි නිහඬ  ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද පුදුම සහගත ය.

(මුලාශ්‍ර තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් ඒවා වේ)
(මුලාශ්‍ර තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් ඒවා වේ)

කැස්බෑවුන් පාරිසරික ලෙස වැදගත් වන සාදක අතර කොරල් පරිසර පද්ධතිවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම,මුහුදු පරිසර පද්ධති තුල ස්ථාවර ආහාර ජාල ඇති කිරීමට දායක වීම.වැල්ලබඩ ශාක ප්‍රජාවන්ට අවශ්‍ය පාංශු පෝෂක සැපයීම.ආදිය පෙන්වා දිය හැකිය.

මේ තරම් සුවිශේෂ පාරිසරික මෙහෙයක් කරනු ලබන කැස්බෑවුන් විධිමත් ලෙස සංරක්ෂණය කළ යුතු සත්ව කාණ්ඩයක් වුවත් සතුන් නිසා රුපියල්  මිලියන ගණනක ලාබ උපයන  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුලින්  රජයට ලබා ගත හැකි විශාල ආදායමක්  නැති කරගන්නවා සේම කැස්බෑ වන්ගේ ආරක්ෂාවටද දැඩි තර්ජනයක් වී තිබෙනවා.

මෙම නීතිවිරෝදී කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රමාණවත්  විදිමත් කැස්බෑ සංරක්ෂණ රජයේ මධ්‍යස්ථාන ඇති නොකිරීම සම්බන්ධයෙන් කළ විමසීමක දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ  ” මෙය  සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන එන එකක් නමුත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි ප්‍රවිෂ්ට වෙලා ඉන්නේ. මේවායේ නීතිවිරෝධී කටයුතු වලක්වන්න වැටලීම් කරන එක තවත් එක ක්‍රමයක් පමණක් බවත් මේ ආශ්‍රිත මිනිසුන්ගේ ආර්ථිකයක් ගොඩනැගිලා තිබෙන බැවින්  මෙය  නියාමනයකට යන්න  කටයුතු කරන බවත්  මේ සම්බධයෙන් ඉදිරියේදී ඉක්මනින්ම සොයා බලා කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

පේරාදෙණියේ නවකවදය වැළැක්වීමට පරිපාලනය ගෙන ඇති පියවර මොනවාද?

– ධනුෂ්ක සිල්වා අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් හෙළා දැක තිබේ. එමගින් වින්දිතයින්ට…

By In
පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *