පුවත්

කියපු හැටියට වඩා කරන හැටි වෙනස්ද?

By In
  • ආණ්ඩුවේ මන්ත්‍රීවරු 73කට මාදිවෙල මන්ත්‍රී නිවාස 
  • අලුත්වැඩියාවට පසුගිය වසර  10ටම රුපියල් මිලියන 19යි,  ගිය වසරට මිලියන 13යි 
  • නිවාස නඩත්තුවට රුපියල් මිලියන 50ක් 

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

මහජනතාවට ඇති ව්‍යස්ථාපිත බලය මැතිවරණ හෝ ජනමත විචාරනවලදී ක්‍රියාත්මක කිරීමෙන් පසු, එම බලය ක්‍රියාවට නංවන්නේ මහජන නියෝජිතයින්ය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් ලබාදීම ඕනෑම රටක සිදුවන්නකි. එහෙත් මන්ත්‍රී ධුරය ජනතා මුදලින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීම වරමක් කර ගැනීම ඉන් සාධාරණීකරණය වන්නේ නැත. වර්තමාන රජය බලයට පත්වීමට පෙර සිට එම  මහජන නියෝජිතයින්ට අධික පහසුකම් සැලසීම සම්බන්ධයෙන් දැඩි සේ විවේචනට ලක් කළේය.  

ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයේදී මෙන්ම පසුගිය මහ මැතිවරණයේදී ද වත්මන් රජය බලයට පත්වීමට පෙර මැතිවරණ වේදිකාවල දුන් එක් ප්‍රධානතම පොරොන්දුවක් වූයේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන්ම අහෝසි කරන බවයි. ඒ අතර මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම, මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීම, නිල නිවාස භාවිත නොකිරීම ජාතික ජන බලවේගය දුන් පොරොන්දු අතර ප්‍රධාන ඒවා වේ.

මැති ඇමති නිල නිවාස ලෙස භාවිත කළ සුඛෝපභෝගී මන්දිර වෙනත් පොදු කටයුතු සඳහා ලබා දෙන බව ඒ අතරින් ඉතා ආකර්ෂණීය පොරොන්දුවකි. ඇතැම් නිල නිවාස දැනටමත් එවැනි කටයුතු සඳහා පවරා දී තිබෙන බවටද වරින් වර වාර්තා පළ විය. ඇමති නිල නිවාස ලෙස භාවිත කළ එවැනි මන්දිර කොපමණ තිබේද? ඒවායේ වත්මන් තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව අපි පොදු අධිකාරීන් කිහිපයකින් තොරතුරු විමසා සිටි නමුත් තවම පිළිතුරු ලැබී නැත. එහෙත් මාදිවෙල මන්ත්‍රී නිවාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ දැනට පවතින මාදිවෙල මන්ත්‍රී නිවාස 120කින් 110ක්  2025.03.07 දින වන විට මන්ත්‍රීවරුන් වෙත ලබා දී තිබෙන බවයි. ඒ එආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් 73 දෙනෙකු හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකු වශයෙනි.

මන්ත්‍රී නිවාස අලුත්වැඩියාවට මිලියන 19ක් 

එමෙන්ම 2015.01.01 සිට 2025.01.16 දක්වා කාලය තුළදී වාර්ෂිකව මෙම මන්ත්‍රී නිවාස අලුත්වැඩියා කර ඇති අතර එම අලුත්වැඩියා කටයුතු සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුව මගින් පාලනය වන සෙසු පරිශ්‍ර කිපයක්ද  සහිතව එකම වැය ශීර්ෂයක් යටතේ වේ. ඒ අනුව ඒ වෙනුවෙන් වසර 10කදී  වැය කර ඇති මුදල රුපියල් මිලියන 19කට අධිකය (19,503,729.66). මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ලබාදුන් තොරතුරුවල සඳහන් වන්නේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් වැය කර ඇති මුදල කොපමණද යන්න වෙන් කර හඳුනා ගැනීමට අපහසු බවයි. එමෙන්ම නව පාර්ලිමේන්තුවක් පත්වීමේදී අදාළ මන්ත්‍රී නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සිදු කරන බවද එම තොරතරුවල සඳහන් වේ.

කෙසේ නමුත් මේ ආකාරයෙන් වාර්ෂිකව මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සිදු කර ඇතත් පෙර වර්ෂයන්ට සපෙක්ෂව විශාල මුදලක් වැයකර ඇත්තේ 2024 වර්ෂයේ නව රජය යටතේ පත්වන මන්ත්‍රීවරුන්ට ලබාදීමට මන්ත්‍රී නිවාස  අලුත් වැඩියා කිරීමේදීය ඒ අනුව 2024 වර්ෂයේ පමණක්  වැය කර තිබෙන මුදල් රුපියල් මිලියන 13.4කට අධිකය (13,429,601.00). එය පසුගිය වර්ෂ 09ක් සඳහාම සිදු කළ වියදම්වලට වඩා වැඩි මුදලකි. එසේ වූයේ කෙසේද යන්න මෙම පිළිතුරෙන් පැහැදිලි වන්නේ නැත.

පාර්ලිමේන්තුව මගින් පාලනය වන සෙසු පරිශ්‍ර කිපයක්ද ඇතුළත් පොදු වැය ශීර්ෂයකින් මාදිවෙල මන්ත්‍රී නිවාස සඳහාද මුදල් වෙන් කිරීම පිළිගත හැකි කාරණයක් වුවත්, ඒ ඒ පරිශ්‍ර සඳහා දරා ඇති පිරිවැය වෙන වෙනම ගණනය කළ නොහැකි බව කීම පිළිගැනීමට අසීරු කාරණයකි. 2024 වර්ෂයේදී වැය කර ඇති රුපියල් මිලියන 13.4කින් මාදිවෙල නිවාස සඳහා වැය කර ඇති මුදල කොපමණදැයි ගණනය කළ නොහැකි වීම තුළ බරපතළ ප්‍රශ්නයක් පැනනගී. එසේනම්, අදාළ වියදම් සාධාරණද? වැය වූ මුදලට සාපේක්ෂව එම කාර්යයන් නිසියාකාරව ඉටු වී තිබේද යන්න පරීක්ෂා කළේ කෙසේද? මෙම පොදු වැය ශීර්ෂය යටතේ ඇති අනෙකුත් පරිශ්‍රවල 2024 වසරේදී සිදු කළ ප්‍රතිසංස්කරණ මොනවාද? ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය සාධාරණද? පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ පිළිතුරෙන් මතු වන මෙම ගැටලු පිළිබඳව සොයා බැලීම ආණ්ඩුවේ වගකීමකි.

මාදිවෙල මන්ත්‍රී නිවාස අලුත්වැඩියාවට 2015 සිට 2024 දක්වා  වාර්ෂිකව වැය කර තිබෙන මුදල 

මන්ත්‍රී නිවාස නඩත්තුවට  මිලියන 50ක් 

එමෙන්ම ඉහත අලුත්වැඩියා කටයුතුවලට අමතරව, අදාළ මන්ත්‍රී නිවාස එදිනදා නඩත්තු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය, සහාධිපත්‍ය කළමනාකරන අධිකාරිය සමඟ ගිවිසුම් ගතව ඇති අතර ඒ අනුව එම නඩත්තු කටයුතු වෙනුවෙන් අදාළ අධිකාරිය වෙත 2015 සිට 2024 දක්වා  වාර්ෂිකව රුපියල් මිලියන 53.2ක (53,270,248.82) මුදල් ගෙවා තිබේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස නඩත්තු කටයුතු සඳහා  2015 සිට 2024 දක්වා  වාර්ෂිකව වැය කර තිබෙන මුදල 

කෙසේ නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පැවති පළමු කැබිනට් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරිණි. එහි සෙසු සාමාජිකයින් ලෙස, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරයෙකු වන ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරියක වන ජයන්තා සී.ටී. බුළුමුල්ල කටයුතු කරන ලදී.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්ය මණ්ඩල, කාර්යාල උපකරණ සහ ආරක්ෂක නිලධාරීන් ආදී විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ සුදුසු විකල්ප ක්‍රමවේද හඳුන්වා දීම පිණිස යෝග්‍ය නිර්දේශ ලබා දීමට මෙම කමිටුවට පැවරුණු වගකීමක් වේ.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ජාතික ජන බලවේග රජය යටතේ ලබා දෙන වරප්‍රසාද හා දීමනා සම්බන්ධයෙන් BBC සිංහල සේවයට අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා මෙසේ පවසා තිබිණි.

“අපි කලින් කියපු ටික තමයි, විශ්‍රාම වැටුප් අහිමි කරනවා, වාහන පර්මිට් එක නැති කරනවා, ඔය ටික තමයි ඉතින්. අපි V8, මොන්ටෙරෝ වගේ හයි රෑන්ක් ලක්ෂරි වාහන මන්ත්‍රීවරුන්ට දෙන්න බලාපොරොත්තුවක් නැහැ. නිල නිවාස සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා.”  

ඒ කියුම් හා කෙරුම් අතර ඇති පරතරය විමසා බැලීම දැනුවත් පුරවැසියන්ගේ වගකීමකි. සුඛෝපභෝගී මන්දිර නොවෙතත්, ආණ්ඩුවේ  මන්ත්‍රීවරු 73 දෙනෙකුට පමණ නිල නිවාස ලබාදීමට දැනටමත් කටයුතු කර තිබේ. එම නිවාස නඩත්තු වන්නේද, අලුත්වැඩියා කරන්නේද මහජන බදු මුදලිනි. ඇමතිවරුන් සඳහා වන සුඛෝපභෝගී මන්දිර පිළිබද තත්ත්වය කෙබඳු දැයි ඉදිරියේදී විමසා බලමු. 

පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In
පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සියලු දීමනා අරන්! ජනවාරි මාසයේ සමස්ත වියදම ලක්ෂ 720යි

– ජනක සුරංග දසවන පාර්ලිමේන්තුවේ මංගල අයවැය, පසුගියදා කිසිදු අභියෝගයකින් තොරව බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය. අයවැයෙහි බර කවර පරිමාණවලින්…

By In
පුවත්

පොල් වගා බිම් වැඩි වුණත් අස්වැන්න අඩු වෙලා වග කිව යුත්තේ රිළවා පමණක්ද? 

– මොහොමඩ් ආසික් ‘පොල්’  මෑත කලායේ අපේ රටේ වඩාත් කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවකි. පොල් නිසා රිළවුන් බැණුම් නෑසූ දිනයක්…

By In
පුවත්

වෙන්දේසියට පෙර ජනාධිපති කාර්යාලයේ සැප වාහන බෙදිල්ල!

– ජනක සුරංග  සාමාන්‍යයෙන් වාහන මහජන ප්‍රදර්ශනයට තබන්නේ අලෙවි ප්‍රදර්ශනාගාර තුළය. නමුත් නව රජයන් පත්වන විට පැවති රජයන්ට සම්බන්ධ නිලධාරීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *