Social, පුවත්

ඇස් පනාපිට බොරුවක් වු ජාතික පාසල් දහසේ වැඩ සටහන

By In
  • චාමර සම්පත්

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ  අක්‍රමවත් බව හේතුවෙන් පැහැදිලි  සියලුදෙනා ජනප්‍රිය පාසල් නැතහොත් ජාතික පාසල් සොයා යාම විලාසිතාවක් වි ඇත. ලඟම පාසල් කොතෙක් තිබුණ ද පාසල් සියල්ලේම අධ්‍යාපනය ලබාදීම එකසේ සිදු නොවන බැවින් කූට ලේඛණ සකසා හෝ තම දරුවා ජාතික පාසලකට ඇතුළත් කරගැනීමට දෙමාපියන් කොතෙකුත් වෙහෙසක් ගනී. මේ නිසාම ජාතික පාසල් ඇති කිරීම , ජාතික පාසල් වැඩි කිරීම මේවනවිට දේශපාලන පොරොන්දු බවටද පත්ව තිබේ. “ජාතික පාසල් 1000 ක් දක්වා වැඩි කිරීම” ද එලෙස පැවති දේශපාලන පොරොන්දුවකි.

ජාතික පාසල්

ලංකාවේ පවතින පාසල් විවිධාකාරයෙන් වර්ගකර ඇති අතර එම වර්ගීකරණය සියලුදෙනාටම අපහසු වර්ගීකරණයක් බව මේවනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරින් පිළිගෙන තිබේ. මේ නිසාම නව පාසල් වර්ගීකරණයක් ඉක්මණින් හදුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සුදාවෙනමින් සිටියි. රේඛිය අමාත්‍යාංශය නැතහොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන , ගුරු මාරු ඇතුළු සියලු කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශ හරහා සිදුවන පාසල් ජාතික පාසල් ලෙස පොදුවේ හදුන්වයි. අනිතුක් පාසල් පළාත් පාසල් වන අතර ඒවායේ ගුරු මාරු ඇතුළු කටයුතු සිදුවන්නේ පළාත් සභාව සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින්ය.  කෙසේවෙතත් සම්පත් බෙදීයාමේදී ජාතික පාසල් ඉහළ සංවර්ධනයට ලක්ව ඇති බව පෙනෙන්නට ති‌බෙන කාරණයකි. ගුරුවරුන් හිඟයක් නොමැත. ප්‍රතිඵල ඉහළ මට්ටමක තිබේ. පළාත් පාසල් වල මෙම සියල්ල පහළ මට්ටමක ඇති බැවින් ජාතික පාසල් සඳහා අනවශ්‍ය තරඟයක් රට තුල නිර්මාණය වී තිබේ. 

ජාතික පාසල් දහසක්

පසුගිය ආණ්ඩුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව ජාතික පාසල් දහසක් දක්වා වැඩිකරන බවට සිය  පොරොන්දුවක් ලබාදුනි. ඒ අනුව 2022 වර්ෂයේ ජාතික පාසල් දහසක් ස්ථාපිත කළ බවට ජාතික උත්සවයක්ද පැවැත්වු අතර දිවයින පුරා විවිධ පාසල් ජාතික පාසල් බවට පත්වු විශාල නාමපුවරු සකසා තිබෙන අයුරු තවමත් දකින්නට ලැබේ. කෙසේ වෙතත් ජාතික පාසලක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නම්කරන්නේ යම් නිර්නායක කිහිපයක් යටතේය. මේවනවිට පාසල් පද්ධතියේ ඇති ජාතික පාසල් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත ආශ්‍රයෙන් සොයා බැලීමේදී අනාවරණය වුයේ පාසල් දරුවන් රවටා ඇති බවය. එනම් ජාතික පාසල් දහසක් නිර්මාණය කර නොමැති බවත් අලුතින් පාසල් පද්ධතියට එක්ව ඇත්තේ ජාතික පාසල් 23 ක් පමණක් බවත්ය.

 මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය 2022 ජනවාරි 08 දින ජාතික පාසලක් ලෙස නම්කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික පාසල් දහස වැඩසටහන ආරම්භ කළේය. සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත් කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවත් අනාගතයට ගැළපෙන කුසලතාවන්ගෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රතිපත්තිමය තීරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදුකිරීමේ මුලික අඩිතාලමක් ලෙස මෙම තීරණය ක්‍රියාත්මත කරන බවත් එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකයන් සැලකිල්ලට ගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකින් තෝරා ගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට කටයුතු කර ඇති බවද හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

 ඒ වන විට පැවති ජාතික පාසල් සංඛ්‍යාව 374කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 3.6% කි. 2022 වසරේ සිට මේදක්වා ජාතික පාසල් ලෙස නම්කර ඇත්තේ තවත් පාසල් 23 ක් පමණි. 

පාසලකට මිලියන 02 ක්

සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම පාසල් 03 ක් ජාතික පාසල් බවට පත්කරන බව එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කර තිබු අතර ඒ අනුව තෝරාගන්නා ලද පාසල් සඳහා ආණ්ඩුව විසින් මිලියන 02 ක මුදලක් ද ලබාදී තිබේ. එම මුදල උපයෝගී කරගනිමින් අදාළ පාසල් නාම පුවරු සහ සමරු පළක සකස් කර ඇති අතර ජාතික පාසලක් බවට පත්කිරීමේ උත්සවය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ද සහභාගී කරවාගෙන පවත්වා ඇත. පාසල් සිසුන්ට භාවිතාකිරීමට හරිහමන් වැසිකිළියක් පවා නොමැති ඇතැම් පාසල් මෙම මුදල් යොදවා නාම පුවරු පමණක් ඉදිකිර තිබේ. එනම් මෙම පාසල් නමට ජාතික පාසල් වී ඇති අතර වැඩ වලින් තවමත් පළාත් පාසල්ය . ගතවු කාලය තුළ ජාතික පාසල් බවට ඇත්තේ පහත දක්වා ඇති පාසල් 23 පමණී.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය , කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය , දොම්පෙ දේවි බාලිකා මහ විද්‍යාලය. ,  වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ,  කොල්වින් ආර් ද සිල්වා මහ විද්‍යාලය , රාජසිංහ මහා විද්‍යාලය,  හැටන් ශාන්ත ශ්‍රේබ්රියල් විදුහල , ව්ලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය , පුහුල්වේල්ල මධ්‍ය මහා විද්‍යාලය ,  පුවක්දන්ඩ දම්මපාල බාලිකා විද්‍යාලය , පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය ,  පලාලි මධ්‍ය විද්‍යාලය ,  කල්මුණේ මුහම්මද් බාලිකා විද්‍යාලය , මහදිවුල්වැව මහා විද්‍යාලය , උහුමීය ඩී එස් සේනානායක මහා විද්‍යාලය , ලුණුවිල බෞද්ධ කාන්තා විද්‍යාලය , තම්බුත්තේගම මහා විද්‍යාලය , කැකිරාව විද්‍යාරත්න විද්‍යාලය ,  සියඹලාන්ඩුව මහා විද්‍යාලය ,  බිබිල යශෝධරා බාලිකා විද්‍යාලය . කුරුවිට මධ්‍ය විද්‍යාලය , රත්නාක ශාන්ත ජොන් දෙමල විද්‍යාලය , කෑගල්ල ස්වර්ණජයන්ති මහ විද්‍යාලය යන පසාල් පමණී.

නැවත ජාතික පාසල් නැහැ

ජාතික පාසල් දහස ව්‍යාපෘතිය සිදුව නොමැති බවට මේ සම්බන්ධයෙන් විමසීමේදී වර්තමාන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පිළිගත්තේය. එය නොගැලපෙන ව්‍යාපෘතියක් බවද අමාත්‍යවරයා පැවසුවේය. ජාතික පාසල් ඇති කිරීම නැවැත්විමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට පාසල් තුන බැගින් ජාතික පාසල් 1000 ක් දක්වා වැඩි කරන්න මීට අවුරුදු දෙකකට කලින් යෝජනා කරලා තිබුණා.(ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ) . පළාත් සභාවල පාසල් තමයි එතකොට ජාතික පාසල් බවට පත්වෙන්නේ. එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදන් පාසල් 1000 ක් පරිපාලනය කරන්න අපිට සිදුවෙනවා. ඒක ඉතාම දුෂ්කර වැඩක්. මේ වැඩේ කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නය ඇතිවුණා. 

ජාතික පාසල් ලෙස නම්කිරීමට තෝරාගත් පාසල් වලට මිලියන 02 ක වෙන්කර තිබුණා. ඒ පාසල් වල ගේට්ටු හදන්න බෝඩ් ගහන්න ඒවා දැන් වියදම් කරලා ඉවරයි.  නමුත් දැනට තිබෙන පාසල් ප්‍රමාණය එලෙසම තියාගෙන වෙනත් අලුතින් කිසිදු පාසලක් ජාතික පාසලක් බවට පත්කර අමාත්‍යාංශය යටතට නොගෙන පළාත් සභා පරිපාලනය යටතේ තවදුරටත් තියාගන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. මේවෙද්දි අපිට අවශ්‍යවෙන්නේ  ජාතික ද පළාත් ද කියන කාරණය නෙවෙයි. පාසලක් දියුණු කරන්නයි. එවිට එය ජාතික උනත් පළාත් උනත් දියුණු කරන්න පුළුවන්. මුදල් නැතිනම් මේ දෙකම වෙන්නේ නැහැ. බෝඩ් එක විතරක් ගැහුවට විතරක් ජාතික වෙන්නේ නැහැ. මේ වැඩේ පාසල් පරිපාලනය පිළිබඳව අවබෝධයෙන් කරපු වැඩක් කියලා මම හිතන්නේ නැහැ.

කොහොම උනත් වර්තමානයේ තිබෙන පාසල් වර්ගී කරණය අපහැදිලියි. ඒ පිළිබඳව ප්‍රතිපත්ති තින්දුවක් ලගඳීම ගන්නවා. පාසල් පර්ෂද 1250 ක් රටපුරා හදනවා. ආසන්න පාසල් සමුහයක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒතුළ ප්‍රමුඛ පාසලක් ඇතිවෙනවා. ඒ අනුව ප්‍රාථමිකයේ ළමුන් ශිෂ්‍යත්වයෙන් ඉහළට යනවා. එසේ නැති අයට 13 වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනය තිබෙන පාසලක් ලබාදීම තමයි අපේ අපේක්ෂාව වෙන්නේ. ඊලග අවුරුද්දේ මුල වන විට පර්ෂද සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තුවෙනවා. මේ තුළින් නගරය කරා ඇදීයන මානසිකත්වය නැතිකරන්න , ගුරු තුලනය කරන්න වගේම සම්පත් බෙදාගන්න පහසු වෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන්  දේශපාලන තීන්දු ගැනීමේ දී වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතාබැලිය යුත්තේ මන්ද යන්න මෙම කාරණයෙන්ම මනාව වැටහෙනවා ඇති. කවරෙකු උවද දරුවන්නේ අධ්‍යාපනය සහ දේශපාලනය පටලවා නොගත යුතුය. නොඑසේනම් වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක දරු පරපුරටයි.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *