පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

By In

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට!

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම, තුවාලකරුවන් පැහැරගෙන යාම් සහ එම ස්ථානයේ තිබී ජීව පතරොම් සහිත ග්ලොක් (Glock) වර්ගයේ පිස්තෝලයක් ඇතුළු ගිනිඅවි හා සන්නිවේදන උපකරණ සොයාගැනීම මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක සංවාදයක් නිර්මාණය කර ඇත. මෙම සිදුවීමත් සමග චීන තානාපති කාර්යාලය වහාම මැදිහත් වී පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටියද, මෙහි යටින් දිවෙන බරපතලම ප්‍රශ්නය වන්නේ විදේශිකයන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමට බලධාරීන් සතුව ඇති යාන්ත්‍රණය කෙතරම් දුර්වලද යන්නයි.

සංචාරක වීසා පිටුපස ඇති නීතිවිරෝධී රැකියා සහ ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ නීතියට අනුව සංචාරක වීසා (Tourist Visa) හෝ සංචාරක ETA බලපත්‍රයක් හිමි යම් විදේශිකයෙකුට මෙරට තුළ කිසිදු ගෙවීම් ලබන හෝ නොලබන රැකියාවක නිරත වීම, වෙළඳාම් කිරීම හෝ ව්‍යාපාර පවත්වාගෙන යාම තහනම් වේ.

නමුත් අද වන විට කොළඹ, ඇල්ල, වැලිගම, අරුගම්බේ සහ මිරිස්ස වැනි ප්‍රධාන සංචාරක කලාපවල සංචාරක වීසා මගින් මෙරට රැඳී සිටින විදේශිකයන් නීතිවිරෝධී ලෙස ආපනශාලා, හෝටල්, සර්ෆිං (Surfing) පුහුණු මධ්‍යස්ථාන, මැණික් ජාවාරම් සහ වෙනත් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර පවත්වාගෙන යනු ලබයි. මේ හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයන්ට සහ ස්වයන් රැකියාවල නිරත වන ලාංකිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇත.

නීතිවිරෝධී රැකියා සොයන්න විශේෂ ක්‍රමවේදයක් නැහැ!

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කළ RTI 138/2025 දරන ඉල්ලීමට එම දෙපාර්තමේන්තුව ලබාදී ඇති නිල පිළිතුරු මගින් රටේ පවතින මෙම අනාරක්ෂිත තත්ත්වය මනාව පැහැදිලි වේ.ප්‍රශ්නය: සංචාරක වීසා මත පැමිණ නීති විරෝධී රැකියාවල නිරත වන විදේශිකයන් හඳුනා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පවතීද?” ඒ සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පිළිතුර වූයේ  “නැත” යන්නයි. 

රට තුළ සංචාරක වීසා භාවිත කරමින් නීතිවිරෝධී ලෙස රැකියාවල හා ව්‍යාපාරවල යෙදෙන විදේශිකයන් හඳුනාගැනීමට කිසිදු විශේෂ ක්‍රමවේදයක් හෝ විධිමත් පරීක්ෂණ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බව මෙයින් තහවුරු වේ. එමෙන්ම ව්‍යාපාරික වීසා (Business Visa) ලබාගැනීමට ව්‍යාජ සමාගම් ලියාපදිංචි කර මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් ද දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී නොමැති බව දක්වා ඇත.

පිටුවහල් කළ විදේශිකයන්ගේ සංඛ්‍යාලේඛන (RTI නිල දත්ත)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් 2023 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මෙරටින් ඉවත් කළ (Removed) සහ පිටුවහල් කළ (Deported) චීන සහ අග්නිදිග ආසියානු ජාතිකයින්ගේ නිල සංඛ්‍යාලේඛන පහත පරිදි වේ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් 747% කින් ඉහළට!

ඉහත නිල දත්ත දෙස බැලීමේදී ඉතා බරපතල ප්‍රවණතාවයක් අනාවරණය වේ ඒ අනුව 2023 වසරේදී පිටුවහල් කළ චීන ජාතිකයින් සංඛ්‍යාව 17 කි. 2024 වසරේදී එය 21 දක්වා ඉහළ  ගොස් තිබේ. නමුත් 2025 වසරේදී පිටුවහල් කළ චීන ජාතිකයින් සංඛ්‍යාව 144 දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත. ඒ අතර බහුතරයක්  පරිගණක අපරාධ හා වෙනත් හේතුන් මත සිදුකරන ලද වැටලීම් වලදී හමුවූ පිරිස පමණක් වෙති.

එමෙන්ම 2023 සිට 2025 දක්වා කාලය තුළ පිටුවහල් කළ චීන ජාතිකයින් සංඛ්‍යාව 747% කින් (පස්ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින්) ඉහළ ගොස් තිබේ.2025 වසරේදී පිටුවහල් කළ සමස්ත විදේශිකයින් 176 දෙනාගෙන් 81.8% කටත් වඩා වැඩි ප්‍රමාණයක් චීන ජාතිකයින් වීම මත හැගවෙන්නේ මෙරට තුළ වැඩි පිරිසක් විවිධ ක්‍රියාකාරකම් මත රැදී සිටින බව.වේ 

ජාතික ආරක්ෂාව සහ දේශීය ව්‍යාපාරිකයා සුරැකීම

වරාය නගරයේ සිදුවූ නීතිවිරෝධී ගිනිඅවි සහ පැහැරගැනීම් පිළිබඳ සිදුවීමත්, සංචාරක වීසා ආවරණයෙන් මෙරට නීතිවිරෝධී රැකියාවල හා ව්‍යාපාරවල යෙදෙන විදේශිකයන් හඳුනා ගැනීමට ක්‍රමවේදයක් නොමැති වීමත් එකට තබා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන සහ සංචාරකයින් අත්‍යවශ්‍ය වේ. නමුත් සංචාරක වීසා මගින් පැමිණ මෙරට නීති පද්ධතිය සහ වීසා කොන්දේසි උල්ලංඝනය කරන විදේශිකයන් සෙවීමට බලධාරීන් වහාම විධිමත් පරීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. එසේ නොමැති වුවහොත් දේශීය ව්‍යාපාරිකයන්ගේ අයිතීන් අහිමි වීම පමණක් නොව, විදේශීය අපරාධකරුවන්ට මෙරට සුරක්ෂිත තොටුපළක් බවට පත්වීම වැළැක්විය නොහැක.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *