- වසර දෙකකට අසන්න වුවත් තවමත් නිතිය ක්‍රියාත්මක කාරලා නෑ
- මැතිවරණ සංවිධානත් නිහඩයි
ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි. එය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සේම මෙරට රාජ්‍ය නිලධාරීන්ටද විශාල වගකීමක් තිබේ. ඒ නිසාම මේ සියලු දෙනාගේ අපක්ෂපාතිත්වය අත්‍යවශ්‍ය කරුණකි. නමුත් මැතිවරණ කාලවලදී ඇතැම් රජයේ නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, තම තනතුරට හිමි නැති සහ නොගැළපෙන දේශපාලන ක්‍රියාවන්හි යෙදීම මෙන්ම එම නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙරට නීතිගරුක පුරවැසියන් විශ්වාසය පළුදු කිරීමට හේතු වේ.
මැතිවරණ නීතිවල කාර්යභාරය
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති සැලසුම් කර ඇත්තේ සියලුම අපේක්ෂකයින් සඳහා සම මට්ටමේ තරඟ බිමක් සහතික කිරීම, ඡන්දදායකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ මැතිවරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහාය. මැතිවරණ කොමිෂන් සභාව විසින් බලාත්මක කරන ලද රෙගුලාසි මෙන්ම රාජ්‍ය නිලධාරීන් සඳහාම පවතින ආයතන සංග්‍රහය ඇතුළු නීති රීති අනුව රාජ්‍ය සම්පත්, තනතුරු හා බලය අනිසි ලෙස භාවිත කිරීම සහ පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම්වල නිරත වීමට රාජ්‍ය නිලධාරීන්ට ඉන් ඉඩක් නැත.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් මගින් ලබාගත් නිල තොරතුරු පදනම් කරගත් මෙම ලිපිය මගින් අනාවරණය කෙරෙන්නේ, නීති රීති එතරම් තිබියදීත් පසුගිය ජනාධිපති වරණයේදී (2024) මෙන්ම පාර්ලිමේන්තු මහ මැතිවරණ කාලයේදී අනීතික ලෙස තම තනතුරට ඇති බලය මෙන්ම සමාජීය අවකාශයන්, හා සමාජ මාධ්‍ය අවභාවිත කරමින් කටයුතු කරනු ලැබූ රජයට හිතෛෂි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් රජය විසින් ඔවුන්ට දණ්ඩ මුක්තිය ලබාදෙමින් ගෙන යන නිහඩ ප්‍රතිපත්තිය සම්බන්ධයෙනි.
තොරතුරු දීමට මැළි වීම
පසු ගිය 2024 ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මැතිවරණ නීති නොසලකා හරින ලද රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබඳව තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ තෝරාගත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් 016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව මගින් සිදුකළ තොරතුරු විමසීමට අනුව 2025 ජනවාරි 30 දිනැතිව ලිපි අංක EC/LI/RTI/RR/01/2024 යන ලිපි අංකය යටතේ පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ‘’තම තනතුරට නොගැලපෙන් දේශපාලන ක්‍රියාවන්හි නිරත වූ රාජ්‍ය නිලධාරීන් ලෙස පැමිණි වාර්ගි කාරණයක් සිදුනොකරන බැවින් එම තොරතුරු මැතිවරණ කොමිසන් සභාවේ නොමැති බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් RTIC/Appeal/1684/2024 අභියාචනා අංකය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිසන් සභාවේ අභියාචනා විභාගයේදී තොරතුරු කොමිසම විසින් සිදුකළ දැනුම්දීමට අනුව මැතිවරණ කොමිසන් සභාව විසින් 2025.05.10 දිනැතිව ලිපි අංක ‘’EC/LI/05/2025/01/විවිධ’’ යටතේ දිවයිනේ සියලුම සහකාර මැතිවරණ කමසාරිස් කාර්යාල වෙත ලිපියක් නිකුත් කරමින් 2024 ජනාධිපතිවරණ කාලසීමාව තුලදී සිය තනතුරට අහිමි දේශපාලන ක්‍රියාවන්හි නිරතවූ රජය නිලධාරීන් සම්බන්ධයෙන් ලද පැමිණිලි ගැන ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසන පාර්ශවයන්ට ලබාදීමට පහසු ආකාරයෙන් සකසා තබන ලෙස දැන්වීමට කටයුතු කර තිබේ.එය මෙම තොරතුරු විමසීමෙන් ලද ජයග්‍රහණයකි.
මැතිවරණ නීති කැඩූ රාජ්‍ය නිලධාරීන් 20ක් තහවුරුයි
ඒ ආකාරයෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල කීපයකින් ලද තොරතුරු අනුව අනුරාධපුර, අම්පාර හා මාතර යන දිස්ත්‍රික්කයන්හි එසේ තනතුරට නොගැළපෙන දේශපාලන කටයුතුවල නිරත වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති ලෙසත් හම්බන්තොට, ත්‍රිකුණාමලය, කොළඹ, පුත්තලම යන දිස්ත්‍රික්ක 04 තුළ පමණක් එසේ තම තනතුරට නොගැලපෙන විවිධ දේශපාලන ක්‍රියාවන්හි නියැලුණු රාජ්‍ය නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ. ඒ අතුරින් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී යම් වරදක් සිදු කර ඇති බවට තහවුරු වූ නිලධාරීන් 20 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු යොදමින් සිටින බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් 2024.10.03 දිනැතිව ලිපිඅ අංක HB/RTI/01/පොදු යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය. අදාළ තොරතුරු විශ්ලේෂණයේදී තහවුරු වූයේ එසේ වාර්තා වූ රාජ්‍ය නිලධාරීන් අතුරින් වැඩි පිරිසක් සිටින්නේ විදුහල්පතිවරුන් බවයි. එම සංඛ්‍යාව 13කි. එයින් විදුහල්පතිවරුන් 09ක් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද, තවත් විදුහල්පතිවරුන් දෙදෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වෙයි.
මීට අමතරව ඒ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට මහ රෝහලේ හා තංගල්ල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුද, දිස්ත්‍රික්කයේ තවත් වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති හා කොන්සල් ජනරාල් වරයකුද, කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභාවේ සභාපතිවරයාද චෝදනා ලැබූවන් අතර වේ. ඔවුන් මැතිවරණ නීති කඩකිරීම මෙන්ම තම තනතුරට නොගැළපෙන දේශපාලන ක්‍රියාවන් සිදු කර තිබෙන බවට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සඳහා ලැබුණු පැමිණිලි මත පරීක්ෂණ සිදුකොට නිසි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ඒ වනවිට ස්ථාපිත කරතිබූ හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය මගින් 2024.09.04 සහ 27 දිනැති ලිපි අංක EC/EDR/PRE/2024/HA/F/6 යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඇතුලි අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර තිබේ.
එමෙන්ම අදාළ නිලධාරීන් අතුරින් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් 05 දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමටද මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

හිමි විය යුතු දඬුවම්
රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් Transparency International Sri Lanka ආයතනයේ පොදු දේපළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහන යටතේ මෙන්ම වෙනත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සාක්ෂි සහිතව මෙම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව, අදාළ දිස්ත්‍රික්කයන්හි මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන හා මැතිවරණ කොමිසන් සභා මගින් මෙම පරීක්ෂණය සිදු කොට ආදාළ ආයතන දැනුවත් කිරීමට කටයුතු සිදුකරණ ලදී.
විශේෂයෙන්ම 2017.12.07 දින නිකුත්කරනු ලැබූ 32/2017 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන ලෙස රාජ්‍ය සේවකයින් වර්ගීකරණය කර තිබේ. එහි සඳහන් පරිදි තෘතීක මට්ටමේ හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද යන්න අර්ථ දක්වා තිබේ. ඒ අනුව වෛද්‍යවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද මාණ්ඩලික ගණයට අයත් වේ. එමෙන්ම ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ අංක 1 මගින් දේශපාලන අයිතිවාසිකම් භුක්තිවිඳීමට හිම්කම් නොමැති නිලධරයෙකුට තහනම් කටයුතු සඳහන් කර තිබේ. ඒ සඳහා මාණ්ඩලික නිලධාරීන්ද අයත්ය. එහි 1.2 මගින් දක්වා ඇති ආකාරයට එම නිලධාරීන්ට මැතිවරණයකදී ඡන්දය ලබාදීම හැර කිසිදු දේශපාලන ක්‍රියාවක නියැලීමට නොහැකි අතර එසේ සිදු කිරීම සේවයෙන් පහකිරීමට භාජනය වියයුතු වරදක්සේ පෙන්වා දී තිබේ. එමෙන්ම ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ 1:2:2 අනුව මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයෙකු හට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීමද ඉහත සඳහන් දඬුවමට පාත්‍ර වීමේ වරදක් සේ පෙන්වා දී තිබේ. එමෙන්ම මැතිවරණ කොමිසන් සභාව මගින් ප්‍රකාශයට පත්කර තිබු 2394/56 හා 2024.07.26 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මාණ්ඩලික නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් අහිමි බව පෙන්වා දී තිබේ.
ඊට අමතරව මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අංක 2394/56 හා 2024.07.26 දිනැති ඇති විශේෂ ගැසට් පත්‍රයේ සහ මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත්කර ඇති EC/EDR /PRE /2024/6-04 B හා 2024.07.26 දිනැති අංක 05 චක්‍රලේඛයේ 08(II) වගන්තිය අනුව දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ මාණ්ඩලික නිලධාරීන් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ අගතියට පත්වන ආකාරයෙන් ක්‍රියාකාරකම්වලට සහභාගී වීම හෝ ඒවාට අනුබලදීම වරදක් බව පෙන්වා ඇත.
පක්ෂග්‍රාහීව ක්‍රියාත්මක වන නීතිය
විශේෂයෙන්ම ඉහත රාජ්‍ය නිලධාරීන් අතුරින් විදුහලපතිවරුන් දෙදෙනකු මෙන්ම අධ්‍යක්ෂවරුන්, තරුණ සේවා සභාවේ සභාපතිවරයා එවකට හිටපු ජනාධිපති, ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ අය වෙති. ඒ අතර එක් විදුහල්පතිනියක් ජන අරගල ව්‍යාපාරයට සහාය දැක්වීම වෙනුවෙන් ඉහත චෝදනාවන්ට ලක්වී තිබේ. ඒ හැරුණු කොට අනෙකුත් විදුහල්පතිවරුන් 9ක් හා නියෝජ්‍ය විදුහල්පතිවරියන් දෙදෙනා මෙන්ම වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් 15 දෙනාම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හෙවත් වර්තමාන ජනාධිපතිවරයාට හා වර්තමාන ආණ්ඩුවට වෙනුවෙන් සහයෝගය දැක්වූ අය වෙති.
මෙවන් දේශපාලන පසුබිමක් තුළ අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගත් පියවර සම්බන්ධයෙන් විමසා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත හා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2024.10.05 දිනැතිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ අයදුම්පත් යොමු කරන ලද අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිසන් සභාවට අභියාචනා කිරීමෙන් පසු අභියාචනා අංක RTIC/Appeal/1757/2024 අභියාචනා අංක යටතේ අභියාචනා ක්‍රියාවලිය යන අතර තුර 2025.01.29 දිනැතිව ලබාදුන් තොරතුරු මගින් කියා සිටියේ අදාළ වෛද්‍ය වරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) ගේ අංක MH/FS/PI/04/2024/B-127/271 හා 2024.09.13 දිනැති ලිපිය මගින් මුලික විමර්ශනයක් ආරම්භකර ඇති බවයි.
කෙසේ නමුත් 2024.09.13 ලිපිය අනුව අදාල වෛද්‍ය වරුන් සම්බන්ධයෙන් ගෙන තිබෙන නීතිමය හෝ විනය පියවරවල් සම්බන්ධයෙන් මාස 10ක පසුව නැවත 2025.07.15 දිනැතිව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තොරතුරු ඉල්ලීමක් ගොනුකරමින් විමසා සිටියත් ඒ වනවිටත් අදාල වෛද්‍ය වරුන්ට කිසිදු නීතිමය හෝ විනය පියවරක් ගෙන නොතිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2025.07.29 දිනැතිව ලිපි අංක MH/RTI/126(FS) යටතේ කියා සිටියේ අදාල තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.
කෙසේ නමුත් කොළඹ ජාතික රෝහලේ නියෝජය අධ්‍යක්ෂක වරයාලෙස කටයුතු කරනු ලැබූ වෛද්‍ය බෙල්ලන මහතා සඳහා ඔහු විසින් වගකිවයුතු රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රටතුළ ආන්දෝලාත්මක තත්වයක් ඇතිවන ආකාරයෙන් සහ මහජනතාව තුල නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියෙන් තොර මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම පදනම් කර ගනිමින් ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පර්ජිචේදයේ 31:1:15 වගන්තිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තනනම් කිරීම සිදුකරනු ලැබුවේ මාසයක ආසන්න සුළු කාලසිමා වකදී වේ.
මෙම සිද්දි දෙක තුලින් මානව පිළිබිඹු වන කාරණයක් වන්නේ කන්න ඔනෑ විට කබරයා වුවද තලගොයා කර ගාන්නා වැනි ජන වහර සපත කරමින් ආණ්ඩුවට දඩුවම් දෙන්න ඔනවිට දඩුවම් දීමටත් රැකීමට අවශ්‍ය වුවිට නිහඬව සිටීමටත් එකම නීතිය භාවිත කර ඇති ආකාරයයි. නමුත් ඉහත වෛද්‍ය වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් අනීතිකව ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් සිදුකර ඇත්තේ රටේ පොදු මහත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදයට අභියෝග කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලිකට එරෙහිව කටයුතු කිරීමක් වේ. එසේ වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන රජයත් ඔවුන්ට සහය දෙන රාජ්‍ය නිලධාරින් ද සිදු කරනු ලබන්නේ නිදහස් හා සාධාරණ මැතිරණ ක්‍රියාවලිකට සිදුකරනු ලැබූ බලපෑම සාධාරණී කරණය කිරීමකි.
ඒ ආකාරයෙන්ම මැතිවරණ නීති මෙන්ම ආයතන සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරනු ලැබූ විදුහල්පති වරුන්, නියෝජ්‍ය විදුහල්පති වරුන් සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයද සිදුකර ඇත්තේ ඒ ආකාරයෙන්ම සැහැල්ලු පන්දුවක් සේ අතින් අතට මාරුකරමින් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මඟ හැරීමක් පමණක් වේ.
අදාල විදුහල්පති වරුන් සම්බන්ධයෙන් ගනු ලැබූ විනය හෝ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2024.10.05 දිනැතිව යොමුකරන ලද තොරතුරු ඉල්ලුමට 2025.01.29 දිනැතිව ලිපි අංක ED/05/RTI/01/03/01(2024/177) යටතේ පිළිතුරු ලබාදෙමින් පවසා ඇත්තේ අදාළ සිද්දියට අදාලව එම විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ නොමැති බවත් කෙසේ නමුත් හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන සහකාර තේරීම්භාර නිලධාරිගේ අංක EC/EDR/PRE/2024/HA/F/6 හා 2024.09.27 ලිපියෙන් ඉල්ලා ඇති තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා අංක ED/04/60/05/පොදු II හා 2024.11.08 දිනැති ලිපිය මගින් අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) විසින් දකුණුපලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවෙත යොමුර තිබෙන බවයි. ඒ අනුව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසමින් 2025.02.27 දිනැතිව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්ත මේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ තොරතුරු ඉල්ලීමට 2025.05.19 දිනැතිව ලිපි අංක ‘’දප/අදෙ/තොරතුරු/3/2(2025)’’යටතේ ලාබාදුන් තොරතුරු මගින් අනාවරණය වුයේ අදාල පරීක්ෂණ කටයුතු 2025.03.28 දිනැතිව ලිපි අංක ‘’දප/අදේ /විනය/03/1050’’ යටතේ දකුණු පාලත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පාසල් කීපයක විදුහලපතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් 07 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අම්බලන්තොට, අගුණුකොලපැලැස්ස, බෙලිඅත්ත, වලස්මුල්ල යන කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයන්හි කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්හට පවරා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන පාසල් කීපයක විදුහල්පතිවරුන් 09 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට 2024.11.28 දිනැතිව ලිපි අංක ED/04/60/01/05/පොදු II යටතේ පළාත් අධ්‍යාපන කාර්යාලයේ ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත යොමුකර ඇති බවයි.
මේ ආකාරයෙන් නීතිය පන්දුවක් කර ගනිමින් එම නිතිය ක්‍රියාත්මක කිරීම එකිනෙකා අතරට යොමු කිරීමේ ක්‍රියාවලික තුළදී සිදුවන්නේ කුමක්දැයි නීතිගරුක පුරවැසියන්ට නොතේරෙන කරුණක් නොවේ. නමුත් අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් අම්බලන්තොට කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට 2025.05.22 දිනැතිව යොමුකළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඒවනවිට එම කාර්යාලයේ සේවයකළ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩි රණතුංග විසින් ප්‍රකශ කර ඇත්තේ මැතිවරණ හා වාරවිභාග නිසා කාර්යබහුල වීම නිසා එම පරීක්ෂණ කටයුතු ආරම්භකිරීමට නොහැකි වූ බවයි.එමෙන්ම අප විසින් සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වුයේ අදාල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා පරීක්ෂණ පැවැත්වූ අධ්‍යාපන කොට්ඨාශ තුල ඇති පාසලක නියෝජ්‍ය විදුහල්පති වරෙයෙකු වන ඔහුදේ සමීප ඥාතියෙකු හා තවත් විදුහල්පතිවරයෙකු වන ඥාති සම්බන්ධතාවයක්ද පවතින මිත්‍රයෙකු සිටින බවයි. ඕනෑම රාජ්‍ය නිලධරියෙකු එවැනි අවස්ථාවක තමන් එම පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට (Conflict of interests) කටයුතු කිරීම මුලික ආචාර ධර්ම ක්‍රියාවලික් වුවත් මෙහිදී එම ක්‍රියාවලිය සිදු නොවීම සම්බන්ධයෙන්ද වග කිවයුතු නිලධාරීන්ගේ පරික්ෂණයට භාජනය විය යුත්තක් වේ.
මේ ආකාරයෙන් අදාල රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක් තුල අපවිසින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වුයේ ඉහත ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් රැකගැනීම ආණ්ඩුවේ දේශපාලනඥයින් කීපදෙනෙකු කටයුතු කරමින් තිබෙන බවයි. ඒ බව සනාථ කිරීමට හැකි ඡායාරූපය සාක්ෂි බොහොයක් ද අප සතුව පවතී. එමෙන්ම මැතිවරණ සමයේ ඉතා සුළු සිදුවීමකදී පාවා මාධ්‍යවෙත නිවේදන නිකුත් කරන මැතිවරණ සංවිධාන,විවිධ ක්‍රියාකරුවන් මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද සෝචනීය කරුණක් වේ.
කෙසේ නමුත් ජනාධිපති අනුරකුමාර දිසානායක විසින් ජනතාව ඉදිරියේ කුමන බලාපෑම් ආවත් නිතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට නිරන්තරයෙන් උදම් අනන සමාජ පසුබිමක ඉහතින් සඳහන් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකරන්නේ තමන්ට පක්ෂව කටයුතු කරන නිසාද යන්න සම්බන්ධයෙන් අප මෙරට අපක්ෂපාති ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කරන්නෙමු. එමෙන්ම ඉහතින් සඳහන් කරනු ලැබූ වෛද්‍ය වෛද්‍ය වරුන් දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකු ජනාධිපති අනුරකුමාර දිසානායක හා එම පක්ෂයේ මහජන නියෝජිතයින් පක්ෂ ක්‍රියාකාරීන් සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව අපට ඡායාරූපය මගින් වුවද කරුණු තහවුරු කිරීමට හැකිය. ආණ්ඩුව විපක්ෂයේ සිටියදී මෙන්ම මැතිවරණ වේදිකාවන්හිදී පමණක් නොව මේ වන විටත් ප්‍රකශ කරන්නේ සමානව නීතිය ක්‍රියාත්මකකරන බවයි. පුරවැසියන්ද එම සටන් පාඨය කෙරෙහි ප්‍රබල විශ්වාසයක් පළ කර ඇති පසුබිමක, මැතිවරණ නීති උල්ලංඝනය කළ තමන්ට පක්ෂපාත රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කුමන හෝ පාර්ශවයක් කටයුතු කරන්නේනම් එය හුදෙක් වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබාදී තිබෙන පාරිශුද්ධත්වයේ පොරොන්දුව කෙලෙසා දමන්නකි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි