පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

By In

  • පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරකුමාර මහජන මුදලින්  ගමන්ගත් ගුවන්  ගමන් 
  • ප්‍රතිපත්ති සහ ප්‍රායෝගිකත්වය: විනිවිදභාවය පොරොන්දු වූ රජයක තොරතුරු වසන් කිරීමේ කලාව 
  • මහජන මුදලින් යන ජනපති සංචාර පුද්ගලික තොරතුරු වන්නේ කෙසේද? 
  • ගුවන් හමුදාවේ ප්‍රතික්ෂේප කිරීම: “පුද්ගලිකත්වය” ද? “තොරතුරු වසන් කිරීම” ද? 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා සිට, රාජ්‍ය ආයතන සතු තොරතුරු මහජනයාට විවෘත කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු වී තිබේ. කෙසේ වෙතත්,එසේ වූ පසුබිමක වුවත්  අද වනවිටත් ශ්‍රී ලංකාවේ බොහොමයක් පොදු අධිකාරීන් මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ලබාගැනීමට යාමේදී පුරවැසියන්ට ඒ ඒ පොදු අධිකාරීන් මගින් විවිධ වාරනයන්ට ලක්වීමට සිදුව තිබේ.ඒ ආකාරයෙන්ම  රාජ්‍ය නායකයාගේ ගමන් බිමන් සහ ඒ සඳහා වැයවන මහජන මුදල් පිළිබඳ තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන අවස්ථාවලදී පැන නගින නීතිමය සහ පරිපාලනමය බාධක තවමත් ප්‍රබලව පවතින්නේ විනිවිධ භාවය සම්බන්ධයෙන් ජනතාවට උදම් ඇනු රජයක් තුල වීම විමතියට කරුණක්.

 වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  අභ්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ තොරතුරු  සහ ඒ සඳහා වැයවන පිරිවැය හෙළිදරව් කිරීම, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය විසින් මෑතකදී ප්‍රතික්ෂේප කරනු ලැබුවේ “පුද්ගලික තොරතුරු” යන පදනම යටතේය. මෙම ලිපිය මගින් එම ප්‍රතික්ෂේප කිරීමේ නීතිමය පදනම, ඊට අදාළ ඓතිහාසික පූර්වාදර්ශ සහ මහජන අභිලාෂය පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරේ.

 පුද්ගලික තොරතුරු වූ ජනපතිගේ ගුවන් ගමන් 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ  2025 ඔක්තෝබර් 21 දිනැතිව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත යොමු කරන ලද තොරතුරු ඉල්ලීම මගින් පහත කරුණු විමසා තිබුණි: 

  • ජනාධිපතිවරයාගේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිත කරන හෙලිකොප්ටර්/ගුවන්යානා වල සැතපුමකට වැයවන ඉන්ධන සහ පිරිවැය. 
  • මෙම පහසුකම් කුලී පදනම මත ලබාදීමේදී අයකරන මුදල. 
  • 2024 ඔක්තෝබර් 01 සිට 2025 ඔක්තෝබර් 21 දක්වා අනුර කුමාර දිසානායක මහතාගේ අභ්‍යන්තර ගුවන් ගමන් වාර ගණන, දුර ප්‍රමාණය සහ අදාළ ප්‍රදේශයන්. ඇතුළුව තවත් තොරතුරු කීපයක් එම තොරතුරු ඉල්ලීමට ඇතුලත් විය.

මෙම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය 2025 නොවැම්බර් 28 දිනැති ලිපියක් මගින් ශ්‍රී ලංගුහ/සි.681/11/1/1/29/පි යන අංකය යටතේ නිකුත් කරනු ලැබූ පිළියක් මගින්  මුලින් පරිපාලනමය කටයුතු සඳහා දින 14 ක කාල දිගුවක් ලබාගත් ගුවන් හමුදා තොරතුරු නිලධාරියා, පසුව 2026 ජනවාරි 20 දිනැති ශ්‍රී ලංගුහ/සි.681/11/1/1/29/පි1  ලිපියක් මගින් දන්වා සිටියේ තොරතුරු පනතේ 5(1)(අ) වගන්තිය යටතේ මෙම තොරතුරු මුදාහැරිය නොහැකි බවයි. 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5(1)(අ) වගන්තියෙන් අදහස් වන්නේ “පුද්ගලික තොරතුරු” හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි. එහෙත්, රාජ්‍ය නායකයෙකු නිල වශයෙන් සිදුකරන ගුවන් ගමන් සහ ඒ සඳහා වැයවන මහජන මුදල් “පුද්ගලික තොරතුරු” ගණයට අයත් වන්නේද යන්න සම්බන්ධයෙන් පසුගිය තොරතුරු ඉල්ලීම හා කොමිසන් සභා තීන්දු විශ්ලේෂණය කිරිමේදී  එය හුදු තොරතුරු ලබා නොදීමට මෙන්ම කාලය ලබාගැනීමට දරන අනීතික ක්‍රියාවලික් බව පෙනී යන කරුණකි.

විශේෂයෙන් ජනාධිපතිවරයා යනු මහජන බදු මුදලින් නඩත්තු වන රජයේ ප්‍රධානියාය. ඔහු විසින් රාජ්‍ය රාජකාරි උදෙසා රජයේ දේපළ (ගුවන් හමුදා යානා) භාවිත කිරීමේදී ඒ සඳහා දරන පිරිවැය සහ වාර ගණන වැනි තොරතුරු හුදෙක් පුද්ගලික රහස්‍යභාවය මත පදනම්ව වසන් කිරීමට නොහැකි බව අමුතුවෙන් මතක් කලයුත්තක් නොවේ, ඒ බව තොරතුරු කොමිසමද තහවුරු කර තිබේ.

 පූර්වාදර්ශ නඩු තීන්දුවක් 

මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඒ.ඒ.එම්.ආර්. අලි අතර ඇතිවූ අභියාචනය (17/2023) ඉතා වැදගත් වේ. එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නෞකාවක රැඳී සිටීම සම්බන්ධ වියදම් ඉල්ලා සිටි අවස්ථාවේදී, නාවික හමුදාව තර්ක කළේ එම තොරතුරු ලබාදීම ජාතික ආරක්ෂාවට” (වගන්තිය 5(1)(බ)(i)) හානිකර බවයි. 

නමුත් තොරතුරු කොමිසම එම තර්කය ප්‍රතික්ෂේප කරමින් පහත සඳහන් තීන්දු ලබා දුන්නේය:

  • රජයේ නෞකාවක් සඳහා වැයවූ මුදල සහ ගෙවීම් සිදුකළ පාර්ශවය පිළිබඳ තොරතුරු “ජාතික ආරක්ෂාව” හෝ “භූමියෙහි අඛණ්ඩතාවය” පළුදු කරන තොරතුරු නොවේ. 
  • එවැනි තොරතුරු මුදාහැරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව ඔප්පු කිරීමට පොදු අධිකාරිය (නාවික හමුදාව) අපොහොසත් වී ඇත. 
  • එබැවින් අදාළ මුදල් වියදම් සහ ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාදිය යුතුය. 

පසුව මෙම නඩුව අභියාචනාධිකරණය දක්වා ගිය අතර, 2026 මාර්තු 19 දින අභියාචනාධිකරණය ද තීන්දු කළේ තොරතුරු පනතේ 4 වන වගන්තිය මගින් රාජ්‍ය රහස් පනත වැනි අනෙකුත් සියලු ලිඛිත නීතීන් අභිබවා යාමට RTI පනතට බලය ලබාදී ඇති බවයි. 

ගුවන් හමුදාවේ ප්‍රතික්ෂේප කිරීම සහ මහජන උනන්දුව

ගුවන් හමුදාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  ගමන් බිමන් විස්තර “පුද්ගලිකත්වය” මත පදනම්ව වළක්වාලීම, ඉහත දැක්වූ අධිකරණ තීන්දුවල හරයට පටහැනිය. නීතිඥ සුරේන් ඩී. පෙරේරා පෙන්වා දෙන පරිදි, ‘ජොහැන්නස්බර්ග් මූලධර්ම’ (Johannesburg Principles) අනුව තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා කළ හැක්කේ නීත්‍යානුකූල ජාතික ආරක්ෂක හේතුන් මත පමණි. 

හුදෙක් පරිපාලනමය ක්‍රියාවන් හෝ මහජන මුදල් වැයවීම් වසන් කිරීමට ‘පුද්ගලිකත්වය’ හෝ ‘ජාතික ආරක්ෂාව’ යන ලේබල භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී විනිවිදභාවයට බාධාවකි. ජනාධිපතිවරයා ගමන් ගත් ප්‍රදේශ හෝ වාර ගණන පිළිබඳ තොරතුරු, වර්තමානයට අදාළව (2024-2025) යම් ආරක්ෂක ගැටලුවක් මතු කළ හැකි වුවද, ඒ සඳහා වැයවන මුදල සහ සැතපුමකට වැයවන පිරිවැය වැනි දත්ත පුද්ගලික තොරතුරු ලෙස සැලකීමට කිසිදු නීතිමය පදනමක් නැත. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කර ඇති 5(1)(අ) වගන්තිය යටතේ වන ප්‍රතික්ෂේප කිරීම, තොරතුරු කොමිසමේ සහ අභියාචනාධිකරණයේ පූර්වාදර්ශයන්ට අභියෝගයකි. ජනාධිපතිවරයෙකුගේ නිල සංචාර සඳහා භාවිත කරන මහජන මුදල් පිළිබඳ තොරතුරු දැනගැනීමට බදු ගෙවන පුරවැසියාට පූර්ණ අයිතියක් අද ඇති බව මේ අනුව ගුවන් හමුදා මුලස්ථානය දැනගතයුතු සත්‍යකි. 

රාජ්‍ය ආයතන තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම, RTI පනතේ අරමුණ වන “වගවීම” සහ “විනිවිදභාවය” ගිලිහී යයි. ගුවන් හමුදාව මෙම තොරතුරු ලබා නොදීම හේතුවෙන් 2025.12.19 දිනැතිව තොරතුරු කොමිසම වෙත අභියාචනා කර ඇති නමුත් මේ වනවිටත් එය විභාගයට ගැනීමටද තොරතුරු කොමිසම කටයුතු කර නොමැතිවීමද කණගාටුවට කරුණකි, 

රාහුල්සමන්තහෙට්ටිආරච්චි 

පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In
පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *