අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්
එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි


මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු හා වක්‍ර බලපෑම් ඇති කරනු ලැබේ. එය මිනිසුන්ගේ සෞඛ්‍යයට, මානව ඵලදායිතාවට මෙන්ම පරම්පරාගත මානව ප්‍රාග්ධන වර්ධනයට බලපාන අතර මෙකී තත්ත්වය අවසානයේ දී ආර්ථික හානියට හේතු විය හැක. සැබැවින්ම මෙකී අවදානම, ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි අතිශය තීරණාත්මක අයුරින් බලපාන කරුණකි. එබැවින් අලුතෙන් ඉපදීමට නියමිත බිළිඳාගේ සිට පෙර පාසල් ඇතුළු වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ නිසි පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට පසුගිය පාර්ලිමේන්තුව මගින්ද පූර්ව කටයුතු සම්පාදනය විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ළමා පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම හා ළමා මන්දපෝෂණය පිටු දැකීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමටත්, මධ්‍යකාලීන හා දිගු කාලීන මැදිහත්වීම් සිදු කිරීමටත් විසි එක් දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් නිර්දේශ ඉදිරිපත් කරන ලදි.
අඩු බර සහ මිටි දරුවෝ
සෑම වර්ෂයකම ජුනි මාසයට යෙදෙන පෝෂණ මාසය තුළ විවිධ පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයෙන් කළ තොරතුරු ඉල්ලීම්වලට ලැබුණු ප්‍රතිචාර අනුව මෙරට වයස අවුරුදු 0-5ත් අතර දරුවන් ප්‍රමාණය 1,301,649ක් වන අතර එය මෙරට මුළු ජනගහනය අනුව 10%ක ප්‍රතිශතය ඉක්මවා යයි. එකී දත්තවල වැඩිදුරටත් සඳහන් වන්නේ වයසට සරිලන නිසි බර නොමැති අඩු බර සහිත දරුවන් 215,386ක් හා වයසට සරිලන නිසි උස නොමැති මිටි දරුවන් 133,538ක් වාර්තා වී ඇති බවයි. සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය විසින් මෙම තොරතුරු 2024 වර්ෂයට අදාළ පෝෂණ මාසයේදී සම්පූර්ණ කළ දත්ත මත නිකුත් කර ඇති අතර, ඒ අනුව අවුරුදු බිංදුවත් පහත් අතර කුඩා දරුවන්ගෙන් 16.54 %ක් අඩු බරැති ලෙසත් 10.25 %ක් මිටි දරුවන් ලෙසත් හඳුනාගෙන තිබේ.
මේ හේතුව නිසා ගර්භණී මාතාවන් හා කුඩා දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් සිදු කරනු ලබන ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි විමසා බැලීම සඳහා SLPI RTI FORUM තවදුරටත් පොදු මහජනතාවගේ පාර්ශ්වයේ සිට කටයුතු කරන ලදි. එහිදී අනාවරණය කරගනු ලැබූ තොරතුරු පහත පරිදි වේ.

කෙසේ නමුත් පසුගිය කාලයේ දී රජය විසින් යම් නොසලකා හැරීමකට ලක්වෙතියි ජනතාව තුළ යම් කුකුසක් ඇති කිරීමට හේතු වූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය මෙරට ගර්භනී මාතාවන්ගේ හා කුඩා දරුවන්ගේ අත්‍යවශ්‍ය පෝෂණය වෙනුවෙන් සිය නිෂ්පාදන ලබාදීමට අඛණ්ඩව කටයුතු කර ඇත. ඒ අනුව මෙම වසර අවසානය දක්වා තවත් එක්කෝටි නවලක්ෂ හැත්තෑ දෙදහසක ත්‍රිපෝෂ ප්‍රමාණයක් රට පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රෝහල් ඇතුළු තවත් ත්‍රිපෝෂ බෙදාදීමේ මධ්‍යස්ථාන හරහා නිකුත් කිරීමට ඉලක්ක කර ඇත. ඒ අනුව 2025 වර්ෂයේදී සමස්ත නිෂ්පාදිත ත්‍රිපෝෂ පැකට් ප්‍රමාණය එක්කෝටී තිස් තුන් ලක්ෂය ඉක්මවා යනු ඇත.

පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ පත් කරන ලද විශේෂ කාරක සභාවේ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරිණි. එම වාර්තාවේ සඳහන් ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු පෝෂණ නිර්දේශවලට ඇතුළත් 02 කරුණ වන්නේ “ගැබිණි මව්වරුන්ට හා මන්දපෝෂණයෙන් යුතු දරුවන්ට බාධාවකින් තොරව පෝෂණ අතිරේක සැපයීමයි.” එම නිර්දේශවල සඳහන් තවත් වැදගත් කරුණක් වන “පෙර පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීම සඳහා ප්‍රතිපාදන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීම” තවමත් සිදු වී නැත. සාමාන්‍ය පාසල් තුළ ළමයින්ට පළමු වසරේ සිට ප්‍රාථමික ශ්‍රේණිය දක්වා දිවා ආහාර ලබාදීමේ වැඩසටහනක් මේ වන විට කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම වැඩපිළිවෙළ පෙර පාසල්වල දරුවන් සඳහා ක්‍රියාත්මක නොවීම බලවත් අඩුපාඩුවක් ලෙසද පෙන්වා දිය හැකිය. කෙසේ නමුත් උක්ත නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පියවර ගැනීම වත්මන් ආණ්ඩුවේ වගකීමකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පෙර පාසල් හා පාසල් ළමුන්ගේ ගුණාත්මක පෝෂණ තත්ත්වය පිළිබඳ ක්‍රමවත් ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදී විශේෂයෙන් අවධානය යොමු විය යුතුය.
– ජනක සුරංග ✍️ 2025.08.03.