පුවත්

පොලිස් වධහිංසනය ගැන තොරතුරු අනාවරණයක් 

By In

– ධනුෂ්ක සිල්වා

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන කෲර, අමානුෂික හා අවමන්සහගත සැලකීම් පිළිබඳ වාර්තා මාධ්‍යවල නිරන්තරයෙන් දක්නට ලැබේ. විශේෂයෙන්ම විරෝධතා, උද්ඝෝෂණ, මහජන රැලි හා විමර්ශන කටයුතුවලදී පොලිසිය නීතියේ සීමාවන් ඉක්මවා ජනතාවට එල්ල කරන බියජනක ප්‍රහාර, ජීවිතයට තර්ජන ඇති වන ලෙස ක්‍රියා කිරීම සහ අධික බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක් වී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට අමානුෂිකව පහරදීම, සිරගෙවල්වලදී ඔවුන්ට සිදුකරන ශාරීරික සහ මානසික හිංසන, නීතිවිරෝධී විමර්ශන ක්‍රම සහ බිය ගැන්වීම සඳහා සිදුකරන තර්ජනකාරී ක්‍රියා මඟින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර පොලිසිය පිළිබඳ පොදු මහජන විශ්වාසයද බිඳවැටේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පොලිස් නිලධාරීන්ගේ කෲර, අමානුෂික සහ පොලිස් වධහිංසනට අදාළව 2023 ජුනි මස සිට 2024 ඔක්තෝබර් 31 වන දින දක්වා කාලසීමාව තුළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ලැබී ඇති පැමිණිලි පිළිබඳව නිල තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදි. මෙම ඉල්ලීමෙහි අරමුණ වූයේ එම කාලසීමාව තුළ පුරවැසියන් විසින් වධහිංසනය, බිය ගැන්වීම, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හා අමානුෂික පරීක්ෂණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති සම්පූර්ණ සංඛ්‍යාත්මක හා තත්ත්වමය තොරතුරු ලබා ගැනීමයි. එම තොරතුරු විශ්ලේෂණය කරමින් ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ වගකීම සහ ආරක්ෂාකාරීත්වය යන කරුණු සම්බන්ධයෙන් පොලිසිය පිළිබඳව පවතින ව්‍යාප්ත විශ්වාසභංගය සනාථ කිරීම හා ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව අවධාරණය කිරීම මෙම ලිපියේ අපේක්ෂාවයි.

නොවිසඳුණු පැමිණිලි 19ක්

ඒ අනුව, 2023 ජුනි මස සිට 2024 ඔක්තෝබර් 31 වන දින දක්වා කාලසීමාව තුළ පොලිස් වධහිංසාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට වින්දිතයන් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඉහත පැමිණිලිවලට අදාළව චූදිත නිලධාරීන්ට එරෙහිව මේ වන තුරුම කිසිදු නෛතික හෝ විනයමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, එම පැමිණිලිවලින් කිහිපයක් සම්බන්ධයෙන් දැනට විමර්ශන පැවැත්වෙමින් පවතින බවත් අනාවරණය විය. 

දැනට පැමිණිලි 9ක් විමර්ශන මට්ටමේ පවතින අතර එහිදී වින්දිතයන් 9 දෙනෙකු සෘජුවම වධහිංසාවට ලක්ව ඇති බව වාර්තා වෙයි. එම වින්දිතයින් වදුරඹ, මිදිගම, අහුන්ගල්ල, පුස්සැල්ලාව, නුවර එළිය, නාරම්මල, ආරච්චිකට්ටුව, දොඩම්ගොඩ සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම වධහිංසනවල ස්වභාවය පිළිබඳව අනාවරණය වන තොරතුරු අනුව, අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම් හතරක්, අත්අඩංගුවට ගෙන නීතිවිරෝධීව රඳවා තබා ගැනීමේ සිදුවීමක්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් දෙකක් සහ පහරදීම මගින් වධහිංසාවට ලක් කිරීමේ සිදුවීම් දෙකක් ලෙස මෙම පැමිණිලි නවය වර්ගීකරණය කළ හැක. 

මෙම කාලසීමාවේදී ලැබුණු වධහිංසාව සම්බන්ධ පැමිණිලි නවයකින්, අනාවරණය වන්නේ වින්දිතයන් නව දෙනෙකු වධහිංසාවට ලක්වී ඇති බවයි. එම වධහිංසන සිදු වන්නේ පොලිස් නිලධාරීන් 19 දෙනෙකු අතිනි’ වින්දිතයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් හතර දෙනෙකු සම්බන්ධ වූ අවස්ථා දෙකකදී වධහිංසාවට ලක්ව තිබේ. එමෙන්ම වින්දිතයන් සිව්දෙනෙකු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධ වූ වෙනත් අවස්ථා දෙකකදීද වින්දිතයන් තිදෙනෙකු එකම පොලිස් නිලධාරියෙකු සම්බන්ධ වූ අවස්ථා තුනකදීද වධහිංසාවට ලක්ව තිබේ. 

බහුතරය ඉහළ නිලධාරීන්

වධහිංසාව සම්බන්ධයෙන් චූදිතයන් ලෙස නම් වුණු 19 දෙනාගෙන් 18 දෙනෙකු පුරුෂ පොලිස් නිලධාරීන් වන අතර, එක් අයෙක් කාන්තා පොලිස් නිලධාරිනියකි. මෙය පෙන්වන්නේ වධහිංසන ක්‍රියාදාමයට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් විවිධ නිල මට්ටම්වලින් පැමිණ ඇති බවයි. වෘත්තීය මට්ටමින් චූදිතයන් බෙදා බැලීමේදී, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙක්, පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙක්, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් සහ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් වධහිංසාවට සම්බන්ධ වී සිටින බව තහවුරු වේ. මෙම විශ්ලේෂණය අනුව, වධහිංසාව යනු යම් නිල මට්ටමකට සීමා නොවී, පොලිස් ආයතනයේ විවිධ පියවරවල නිලධාරීන් සම්බන්ධ වූ ආකාරයකින් ව්‍යාප්තව සිදුවන තත්ත්වයක් බව පැහැදිලිව පෙනේ. මෙම තොරතුරු මඟින් නීති සුරැකීම සඳහා පිහිටුවූ ආරක්ෂක ආයතනයක් වන පොලිසියේ යහපත් කළමනාකරණය, පාරදෘශ්‍යතාව සහ වගකීම යන කරුණු පිළිබඳව දැඩි ප්‍රශ්න මතු කරයි.

පුවත්

ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…

By In
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය

ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *