– සිරංගිකා ලොකුකරවිට
කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ රටවල ඇති දේශීය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද අනුව ද කොරෝනා මර්දනය කිරීම සඳහා ප්‍රතිකාර සොයා වෙහෙසෙන්නට විය.
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා සංචාරයක් සඳහා මෙරටට ආ චීන ජාතික කාන්තාවකි. ඇය කොරෝනා ආසාදිතයකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 ජනවාරි 27 වැනි දින තහවුරු කළේ ය. ඉන් පසු කොරෝනා වැළඳී තිබේ ද යන්න හඳුනාගැනීම සඳහා සිදුකරන ඇන්ටිජන් පරීක්ෂණ මෙරට දී පැවැත්වීම නවතා දමන තුරු ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 672,754කි. ඒ අතරින් 16,897ක් මියගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දැක්වේ.
මේ තරම් විශාල පිරිසකට කොරෝනා ආසාදනය වී 17,000කට ආසන්න පිරිසක් මිය යද්දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ද වරින් වර ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කළේ මෙරට දේශීය වෛද්‍ය ක්‍රම යෙදා ගනිමින් කොරෝනා මර්දනය සඳහා විවිධ පර්යේෂණ සිදු කරන බවයි. නමුත් කොරෝනා රෝගය වසංගත තත්ත්වයෙන් අත් මිදී සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් බවට පත් වන තුරු ම ශ්‍රී ලංකාවේ එවැනි පර්යේෂණ සිදු කළ බවට තහවරු කළ හැකි සාක්ෂියක් ලැබුණේ නැත.
මිථ්‍යාව ප්‍රවර්ධනය කිරීම
එසේ වුව ද, එවකට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි රට කොරෝනා වසංගතයෙන් මුදවා ගැනීම සඳහා ආශිර්වාද ජලය සහිත මුට්ටි ගඟේ පා කළා ය. තවත් කණ්ඩායමක් දුම් මුට්ටි හිස තබාගෙන ගිය අතර එවකට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද දුම්මුටට්ටිය භාවිත කරන්න යැයි පොලිසිවලට දැනුම් දී තිබිණි.
කාලි අම්මා හීනෙන් කියූ බෙහෙතෙකින් කොරෝනා සුව කළ හැකි බව කියූ කෑගල්ලේ ධම්මික නමැති පෙදරේරුවෙක් පාර්ලිමේන්තුවට කැඳවා මාධ්‍ය මගින් දැවැන්ත ප්‍රචාරයක් දෙමින්, කතානායකවරයා, සෞඛ්‍ය ඇමතිවරිය සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එම පැණිය පානය කර පෙන්වූහ. පසුව එය ධම්මික පැණිය ලෙස ප්‍රචලිත විය.
කරාපිටිය රෝහලේ බටහිර වෛද්‍යවරයකු ද ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් තමන් කොරෝනා සඳහා දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ බව පවසමින් එයට පත්තර පිටු ගණන් ප්‍රචාරයක් ලබා ගැනීමට සමත්විය. ගාල්ලේ බටපොළ තරංගා නමැති දේශීය වෛද්‍යවරියක ලෙස ලියාපදිංචියක් ඇති තැනැත්තියක් ද කොරෝනා සඳහා පානයක් නිපද වූ අතර, රාවණා පරපුරේ අයකුයැයි කියාගන්නා තැනැත්තෙක් ද රාවණ පැණියක් කරළියට ගෙන ආවේ ය.
මේ අතර කොරෝනා මර්දනයට බව පවසමින් එවකට අගමැති මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවේ සියලු බෞද්ධ විහාරස්ථානවලට දැනුම් දී තිබුණේ අවම වශයෙන් සතියක කාලයක් රතන සූත්‍රය දේශනා කරන ලෙසයි. රතන සූත්‍රයෙන් කොරෝනා මර්දනය කළ හැකියැයි රටේ අගමැතිවරයා විශ්වාස කරද්දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ද කොරෝනා මර්දනය සඳහා සත් පත්තිනි පූජා සහ රතන සූත්‍රය දේශනාකර විහාරස්ථානවලල ඝණ්ඨා නාද කරවමින් ද දේවස්ථාන ඇතුළු සියලු සිද්ධස්ථානවල ආශිර්වාද පූජා පවත්වන ලෙස දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබිණි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන්, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගෙන රටපුරා පිරිිත් පැන් ඉසීමේ වැඩසටහනක් ද සිදු කෙරිණි.
මෙවැනි කාර්යයන්, ඒවා ගැන විශ්වාසය තැබූ මැති ඇමතිරුන් හෝ නිලධාරීන්ගේ පෞද්ගලික ධනයෙන් සිදු කළේ යැයි සිතිය නොහැකිය. එසේ නම්, ඒ සඳහා මහජන මුදල් කොපමණ වැය කර තිබේද?
සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු සඟවයි
කොරෝනා මර්දනය සඳහා ගංඟාවලට මුට්ටි දැමීම, පාර්ලිමේන්තුවේ දී ධම්මික පැණිය ප්‍රවර්ධනය කිරීම ආදී එවකට සෞඛ්‍ය ඇමතිනිය සහභාගී වූ වැඩසටහන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වෙන්කරන ලද්දේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු පනත යටතේ කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අරුණි සෝමරත්න එයට කිසිදු පිළිතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අතරතුර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කොරෝනා මර්දනය කළ හැකි බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් ගැන කිසිදු පර්යේෂණයක් සිදු කළ බවට තොරතුරු වාර්තා වූයේ නැත.
කොරෝනා මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට හැකි දේශීය හෝ ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනයට දේශීය වෛද්‍ය අංශය උත්සාහයක් ගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී 2023-07-18 දිනැතිව නිකුත් කළ MIM/AD/16/05 අංක දරන ලිපියෙන් සනාථ වෙයි.
රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ වර්තමානයේ දකුණු කොරියාවේ ජාත්‍යන්තර එන්නත් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සුනෙත් අගම්පොඩි මහතා ඒ පිළිබඳ මෙසේ කීවේ ය.
කිසිදු පර්යේෂණයක් සිදු කර නෑ
“අපේ රටේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කිසිම පර්යේෂණයක් සිදු වුණේ නැහැ. අපට එවැනි පර්යේෂණ සඳහා තිබෙන දැනුම අඩුයි. පර්යේෂකයන්ට උනන්දුව තිබුණත් ඒ සඳහා හිතකර අයුරින් රජයේ ප්‍රතිපත්ති සම්පාදනය වෙන්න ඕනේ. රජය ඊට පහසුකම් සපයන්න ඕනේ. දැනට ශ්‍රී ලංකාව, මාලදිවයින සහ භූතානය හැර දකුණු ආසියාවේ සියලුම රටවල එන්නත් පිළිබඳ පර්යේෂණ සිදු කරනවා. දකුණු අප්‍රිකානු රටවල් පවා සැලසුම් කරලා තියෙනවා ඒ ඒ රටවලට ඉදිරි වසර 10ක කාලයේ දී අවශ්‍ය එන්නත්වලින් 50%ක් තම රටේ ම නිපදවා ගැනීමට. ඒ අනුව අපි ඉන්නේ ලෝකයේ ඉතාමත් දුර්වල තැනක.”
කෙසේවුවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්ත වනවිටත් භාවිතයේ තිබූ “දෙසඳුන් කල්කය” නමැති ඖෂධයක සඵලතාව සෙවීම සඳහා දේශීය වෛද්‍ය අංශය පර්යේෂණයක් කළ බවයි. මෙම පර්යේෂණය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව රුපියල් 154,810.00ක මුදලක් ද වියදම් කර ඇති බව තොරතුරු පනත යටතේ දේශීය ඖෂධ සම්බන්ධ පර්යේෂණ පිළිබඳ කරන ලද විමසීමක දී පවසා ඇත. වෙනත් කිසිදු මුදලක් කොරෝනා පර්යේෂණ සඳහා වියදම් කර නැති බව ද සඳහන් වේ.
ඒ අතරතුර සිදු වූයේ කොරෝනා මර්දනයට සුදුසුයැයි කියමින් විවිධ දේශීය බෙහෙත් වට්ටෝරු සහ පැණි වර්ග වෙළෙඳපොළට පැමිණීම යි. මේවා රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව ජනමාධ්‍ය සහ සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් ප්‍රවර්ධනය කෙරිණි.
එලෙස ප්‍රචාරය වූ ඖෂධ අතර ධම්මික පැණිය, කරාපිටියේ කොරෝනා කරල, අලුත්වල ලංකා වෙදමැදුරේ EPIREPIES, රාවණ පැණිය, නාථ දෙවියන්ගේ දුම්මුට්ටිය සහ සුදර්ශන පැණිය වැනි දේ විය.
ධම්මික පැණිය ෆේල්!
ධම්මික පැණියෙන් කොරෝනා මර්දනය කළ හැකි බවට ගෙනගිය පුළුල් ප්‍රචාර හේතුවෙන් ඒ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ දී පර්යේෂණයක් ද සිදු කෙරිණි. එම පර්යේෂණය සිදු කළ කමිටුව අවසානයේ තීරණය කළේ ධම්මික පැණියේ කිසිදු ඖෂධීය ගුණාංගයක් නොමැති බව යි. මෙය ඖෂධයක්, ආහාර අතිරේකයක් හෝ ප්‍රතිශක්තීකරණ පානයක් ලෙස හෝ පිළිනොගන්නා බවත් එහි කිසිදු ඖෂධීය ගුණයක් හඳුනාගෙන නොමැති බවත්, තොරතුරු පනත මගින් කරන ලද විමසීමේ දී අනාවරණය වෙයි.
එම කමිටුවේ සාමාජිකයකු වූ රජරට විශ්වවිද්‍යාලයේ එවකට හිටපු මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසන්නේ රජය විශ්වවිද්‍යාල 05කින් මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ධම්මික පැණිය ගැන පරීක්ෂණ කරන්නට කියූ බව ය.
“ඒ වගේ නිෂ්පාදනයක් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කරන්න කියලා රජය කමිටු පත්කළාම රටේ ජනතාවට වක්‍රාකාරයෙන් අදහසක් එනවා එය කොරෝනාවලට සුදුසු ඇති කියලා. මේවා එදා රජය සංවිධානාත්මකව කරපු වැඩ. ඒ නිසා විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ නොකරපු විවිධ පාන වර්ග බෙහෙත් වට්ටෝරු සමාජය පුරා පැතිරුණා. මේකට ඒ රජයත් වගකිව යුතුයි. ඒ වනවිට රජයට කිසිම අදහසක් තිබුණේ නැහැ වසංගතය පාලනය කිරීමට. ඒ නිසා සිදුවෙන දෙයක් වෙන්න ඉඩ දීලා ආධ්‍යාත්මික දේවල්, අපේ දේවල් කියමින් ඒවා ප්‍රවර්ධනය කළා. මේ ක්‍රමය වැරදියි. අවසානයේ අපේ පරීක්ෂණවලින් තහවරු වුණා ධම්මික පැණිය වැඩකට නැති නිෂ්පාදනයක් බව.”
මේවා අතරින් ප්‍රතිශක්තීකරණ ඖෂධ ලෙස හෝ භාවිතයට සුදුසු යැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කර ඇත්තේ සුදර්ශන පැණිය සහ අලුත්වල ලංකා වෙදමැදුරේ ‘EPIREPIES’ පමණි. ඒවා ද කොරෝනා මර්දනය සඳහා සුදුසු ලෙස අනුමත කර නැත. සිදු කළ තොරතුරු විමසීමට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම හෝ පාලනය කිරීම සඳහා සුදුසු බවට කිසිදු ඖෂධ නිෂ්පාදනයක් අනුමත කර නොමැති බවයි.
අනාගත අභියෝගයකට සූදානම්ද?
දේශීය ඖෂධවල ගුණ කියමින් ඒවා පර්යේෂණ මගින් වැඩි දියුණු කිරීමට රජය කටයුතු කරන බවටට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කොරෝනා කාලයේ ප්‍රචාරයන් ගෙන ගියේ ජනතාවට දැඩි බලාපෙෙරාත්තු ඇතිකරමිනි. නමුත් 2016 අංක 12 දරන තොරතුරු පනත අනුව කරන ලද විමසීම්වලින් තහවරු වන්නේ එවැනි පර්යේෂණ කිසිවක් සිදු කර නොමැති බවයි.
“දෙසඳුන් කල්කය” නමැති ඖෂධයක සඵලතාව සෙවීමට රුපියල් 154,810.00ක වැය කළ ද එය කොරෝනා වසංගතය සඳහා ප්‍රයෝජනයට ගත් ඖෂධයක් නොවේ. ධම්මික පැණිය වැනි දේශීය ඖෂධයැයි කියාගත් විවිධ පාන වර්ග ප්‍රචාරය කිරීමට පාර්ලිමේන්තුවේ කතානායකවරයා, සෞඛ්‍ය ඇමතිනි, දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පවා යුහුසුළුව කටයුතු කළ ද ඔවුන් මෙරට කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමට සැලසුමක් හෝ සකස් කර නැත.
ලෝකයේ රටවල් රැසක් කොරෝනා වසංගතයෙන් පසු නැවත එවැනි වසංගතයකට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ. එමෙන්ම ඒවාට අවශ්‍ය පර්යේෂණ සිදු කරයි. නමුත් අපේ රටේ එවැනි සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත.
උගත් පාඩම් නොමැති වීම හේතුවෙන් තවත් වසංගතයක් පැමිණිය ද ජනතාව අමාරුවේ වැටීම වැළැක්වීමට අපේ රට කරවන ඇත්තන්ට නොහැකි වනු ඇත. ඒ එම කටයුත්ත සඳහා ඔවුන් තවමත් විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කරන්නට පියවර ගෙන නොමැති නිසාවෙනි.