පුවත්

තිතටම මත් වූ හැටි ගණන් හිලව් එක්කම!

By In

2023 දී පමණක් 1,62,088ක් අත්අඩංගුවට

– මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ  සෑම රටකටම බරපතළ අර්බුදයක්ව පවතින මත්ද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා අපේ රටේත් විවිධ කාලවල විවිධ විසඳුම්, වැඩසටහන්, ව්‍යාපෘති ක්‍රියාත්මක විය. නමුත් ඒවාවයෙන් නිසි ඵල ලැබී නොමැති බව වර්තමානයේදී ද දක්නට ලැබෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිළිබඳ දත්ත සහ වරින් වර අත්අඩංගුවට ගන්නා මහාපරිමාණ මත් ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම්වලින් පෙනී යයි. වාර්ෂිකව අත්අඩංගුවට පත් වන සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය පිළිබඳ සැකකරුවන්ය.  

ශ්‍රී ලංකාව තුළ පසු ගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ එයට ගොදුරු වී ඇති තරුණ වැඩිහිටි පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අනුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට එහි තොරතුරු නිලධාරි ආර්.එම්.එස්.පී. එම්. රත්නායක මහත්මිය විසින් එවා ඇති තොරතුරු  මෙම ලිපියට පාදක කර ගැනේ.

ලොවම මත් වෙලා

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය 2024 ජුනි මාසයේ  නිකුත්  කර  ඇති  මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වන ලෝක දත්තවලට අනුව 2022 වසරේදී මිලියන 292ක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් එය පෙර දශකයට වඩා සියයට 20ක වැඩි විමක් බවත් පවසා තිබේ. ගංජා තවමත් ලෝකයේ බහුලව භාවිතා කරන මත්ද්‍රව්‍ය බවත්, ඉන් පසුව අබිං හෙරෙයින් සහ අයිස් සඳහන් වන බවත් එම සංවිධානය පවසා තිබේ.

විවිධ නම්වලින් හඳුන්වන්නාවූ විස මත්ද්‍රව්‍ය භාවිතය ශ්‍රී ලංකාව තුළද පසුගිය කාලයේ ඉතා ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් ඇති බව නොරහසකි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ලබා දී ඇති තොරතුරුවලට අනුව 2023 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ශ්‍රී  ලංකාව තුළ අත්අඩංගුවට පත් සංඛ්‍යාව 1,62,088කි. එය 2022 වසරට වඩා සියයට 0.06ක වැඩි වීමක් බවද සඳහන් කර තිබේ. 2022 වසරේදී අත්අඩංගුවට පත් සංඛ්‍යාව 1,52,976කි.

මෙලෙස අත් අඩංගුවට පත් පුද්ගලයින් අතර හෙරොයින් වැරදි සඳහා සියයට 40.8ක් ගංජා ආශ්‍රිත වැරදි සඳහා සියයට  42.2ක්, අයිස් (Methamphetamine) වැරදි සඳහා සියයට 16.1ක් වශයෙන් අත් අඩංගුවට පත්ව තිබේ.

ලංකාවේත් තිතටම මත!

මෙයින්  වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගත්ව ඇති අතර එය සියයට 58.5කි. වයඹ පළාතෙන් සියයට 9ක් සහ දකුණු පළාතෙන් සියයට 9.4ක් අත්අඩංගුවට පත්ව තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට 41.6කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 12.7ක් හා  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සියයට හයක් ලෙස වාර්තා වී තිබේ. අන්තරායකර  ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ලබා දී ඇති තොරතුරු අනුව 2023 වසරේදී වයස අවුරුදු 15-64 අතර වයස්වල පසුවන පුද්ගලයින්ගෙන් ලක්ෂයකට 796ක්  මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙන්නේ පෙර  වසර හා සැසඳීමේදී හෙරොයින්  සහ ගංජා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම්වල සංඛ්‍යාත්මක වැඩි වීමක් පෙන්නුම් කරන බවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්න්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩී වීගෙන එන බවත්ය.

2023 වසර තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම්වලින් විශාල ප්‍රමාණයක්  ගංජා වැරදි ලෙස වාර්තා වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. එම ප්‍රමාණය 68,458කි. හෙරොයින් වැරදි සඳහා පුද්ගලයින් 66,142 දෙනෙක් අත් අඩංගුවට පත්ව සිටිති.

‘අයිස් ගහන‘ අය වැඩි වෙලා

2023 වසරේදී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පෙර වසරට වඩා වැඩි අගයක් ගන්නා බවත් මෙම තොරතුරුවල සඳහන් වෙයි. ඒ අනුව 2023 වසරේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 850.7ක් ගංජා කිලෝ ග්‍රෑම් 10,220.5ක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කෙසේ නමුත් අයිස් මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කළද නිලධාරින්ගේ භාරයට පත් වූ අයිස් ප්‍රමාණයේ අඩුවක් පෙන්නුම් කරන බවද එම මණ්ඩලය ලබා දී ඇති දත්තවල සඳහන් වෙයි.

ගංජා වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව

2019                       45,923

2020                       41,080

2021                      44,239

2022                      53,579

2023                      68,458

හෙරොයින් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්

2019                      40,970

2020                      51,603

2021                      50,412

2022                      69,688

2023                      62,142

අයිස් මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්

2019                      2,073

2020                      2,387

2021                      13,720  

2022                      22,631

2023                      26,096

කෙසේ නමුත් 2022 වසරට වඩා 2023 වසරේදී හෙරොයින් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම්වල  සංඛ්‍යාත්මක අඩුවක් පෙන්වයි.

අයිස් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වන සංඛ්‍යාවේ  ක්‍රමික වර්ධනයක් 2023 වසර තුළද පෙනී ගොස් තිබුණද අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍යවල ප්‍රමාණයේ අඩුවක් පෙනෙන බවද  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. 2023  වසරේදී  අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ ග්‍රෑම් 83 ග්‍රෑම් 247ක් සමඟ සැකකරුවන් 26,096 දෙනෙක්අත් අඩංගුවට පත්ව සිටිති. මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රවණතාව වයස අවුරුදු 15- 64 අතර ජනගහණයෙන් ලක්ෂයට පුද්ගලයින් 128කි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ලබා දී ඇති තොරතුරු අනුව ගංජා, හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2023 වර්ෂය තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව පළාත් අනුව මෙසේය.

ගංජා            හෙරොයින්    අයිස්

බස්නාහිර                28,167         41,189         19,948

දකුණ                     8,007           5,648           475

වයඹ                       7,231           5,345           611

උතුරු මැද               3,812           2,646           482

මධ්‍යම                    5,540           3,032           709

ඌව                        4,605           783              199

සබරගමුව               3,064           1,946           486

උතුරු                     1,334           1,016           250

නැගෙනහිර             3,430           955              578

පුනරුත්ථාපනය අත්‍යවශ්‍යයි

අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය මගින් ලබා දී ඇති තොරතුරු අනුව 2023 වසරේදී  හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා පුද්ගලයින් 18,365ක්, ගංජා වැරදි සඳහා පුද්ගලයින් 3916ක්, අයිස් මත්ද්‍රව්‍ය සඳහා පුද්ගලයින් 6,767ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය සඳහා 144ක් බන්ධනාගාර ගත වී සිටිති.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නොනැවතී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමටද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන ඇති අතර ඒ සඳහා ඔවුන් සතු පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් දකුණු පළාතේ උණවටුන, බස්නාහිර පළාතේ තලංගම,මධ්‍යම පළාතේ හන්දෙස්ස, සහ ඌරාපොළ නිට්ටඹුව යන ස්ථානවල පවත්වාගෙන යනු ලබයි.

මත්ද්‍රව්‍යවලින් තොර තරුණ පිරිසක් බිහි කිරීම අරමුණු කර ගෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පාසැල් සිසුන් සහ කරුණ පිරිස්  ගුරුනරුන් දෙමාපියන්  ඇතුළු බලපෑම් කණ්ඩායම්  දැනුවත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

ඒ අනුව පාසැල් සිසුන්, ජාත්‍යන්තර පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වඩසටහන් සිසුන්ගේ කුසලතා වර්ධන වැඩසටහන්, ගුරුවරුන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන්, දෙමාපියන් පුහුණු කිරීම, දහම් පාසැල් සිසුන් දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කරයි. මෙයට අමතරව තරුණ පිරිස් ඉලක්ක කර නිවාරණ අධ්‍යාපන සහ පුහුණු වැඩසටහන්ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන සහ පුහුණු අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන බවද ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In
පුවත්

කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 92ක් කල් පැනලා  ඇ.ඩො. මිලියන 67ක් වතුරේ!

– සජීව විජේවීර කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක්  නොතිබුණ ද එය පාලනය කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ හැකි…

By In
පුවත්

හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම අසාධාරණද? ජනවාරි මාසයේ වියදම රු. මිලියන 34ක්!

– මොහොමඩ් ආසික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන වේදිකාව තුළ කතා බහට ලක්වීමට පටත් ගත්තේ  මයට වසර…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *