– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
මෙරට තුළ අද වන විට දැඩි සේ කතාබහට ලක්වන කාරණයක් වන්නේ දූෂණයෙන් තොර රටක් ඇති කිරීමයි. ඒ වෙනුවෙන් ජනතාව මෙන්ම වර්තමාන රජය ද පෙළගැසී තිබේ. කෙසේ නමුත් අල්ලස, දූෂණය, නාස්තිය සඳහා වගකිවයුතු වන්නේ දේශපාලඥයින් පමණක් නොවේ. බොහොමයක් රාජ්‍ය නිලධාරීන්ගේ අනීතික සහ දූෂිත ක්‍රියා කලාපයද ඊට හේතුවකි.
ශ්‍රී ලංකාවේ සිදුවන පරිසර හානි සිදුවන ප්‍රමුඛම ක්ෂේත්රයක් වන්නේ භූ විද්‍යා හා පතල් කැණීම් ක්ෂේත්රයයි. නීති විරෝධී මෙන්ම බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන කැණීම් ඒ සඳහා ප්‍රබල හේතුවක් වී තිබේ. විවිධ වරප්රසාදයන්ට යටවූ අදාළ ක්ෂේත්රයේ රාජ්‍ය නිලධාරීන් සහ පොලිසිය ද එම පරිසර හානියට සෘජුවම වගකිව යුතුය. මෙම විමර්ශනාත්මක ලිපිය මගින් අනාවරණය කෙරෙන්නේ, අම්බලන්තොට පොලිස් වසමේ සිදු වූ එවැනි නීති විරෝධී වැලි ජාවාරමකට සම්බන්ධ විත්තිකරුවන් රැක ගැනීම සඳහා, නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකළ මහජන වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ දූෂිත ක්රියාදාමයකි.
වැලි හාරා අතහැර දැමූ ස්ථාන
බරපතළ පරිසර විනාශයක්
පසුගිය කාලය පුරා අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන ගණනාවක නීති විරෝධී ආකාරයෙන් වැලි ගොඩ දැමීම් හා ප්‍රවාහනය සිදුකරනු ලැබුවත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, පොලිසිය මෙන්ම වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නීතිය ක්‍රියාත්මක නොවීම තුළ එය උග්‍ර වෙමින් තිබිණි. එහි ප්‍රතිපලයක් ලෙස අද වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වලෙවත්ත, මාමඩල, ජන්සගම ආදී ප්‍රදේශවල විශාල පරිසර විනාශයක් සිදුකරමින් ඉතිරිව ඇත්තේ කොනක් මායිමක් නොමැති විශාල වළවල් පමණකි. එවැනි තත්වයක් සඳහා බෙහෙවින් බලපා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සහ විවිධ දේශපාලඥයින්ගේ හා පොලිසියේ උසස් නිලධාරීන්ගේ අනිසි අත පෙවීම් ය.
වැටලීම සිදුකළ ස්ථානයක්
මේ ආකාරයෙන් තංගල්ල පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ ජංසගම ග්‍රාම නිලධාරී වසමේ මාමඩල දෙබරගස්මුල්ල ප්‍රදේශයේ කුඹුරු යායක හා ඒ අශ්‍රිතව නීති විරෝධීව වැලි ගොඩ දැමීමේ මධ්‍යස්ථාන තුල දී 2023 මාර්තු මස 27 වන දින වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරීන් ද සමඟ සිදුකළ මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගෙන එක් එක් පුද්ගලයාට වෙන් වශයෙන් චෝදනා ගොනු කරනු ලැබූ පුද්ගලයන් 15 දෙනෙකු හා වැලි කැනීම සඳහා යොදාගත් බැකෝ යන්ත්‍ර හා ස්කැවේටර් යන්ත්‍ර, කැන්ටර් රථයක් ඇතුළු යන්ත්‍ර සූත්‍ර 10ක් සඳහා අධිකරණ කටයුතු සිදුකිරීම වෙනුවෙන් අම්බලන්තොට පොලිසියට ඉදිරිපත් කර තිබුණත් එම යන්ත්‍ර සූත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් නොකර මුදා හැර තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් හා වලාන දූෂණ මර්දන ඒකකය මගින් මෙන්ම තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් විමසීමට කටයුතු කෙරිණි.
යන්ත්‍ර සූත්‍ර මුදාහැරීම!
අදාළ තොරතුරු ඉල්ලීමට අනුව වලාන දූෂණ මර්දන ඒකකය මගින් ලිපි අංක ම.දු.ම.ප්‍ර.ඒ/ස්ථා/අවුට්/1108/2023 යටතේ 2023.07.10 දිනැති ලිපිය මගින් ලබා දුන් තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් හා යන්ත්‍ර සූත්‍ර එක් එක් පුද්ගලයා හට වෙන් වශයෙන් චෝදනා ගොනු කරමින් නඩු භාණ්ඩ කුවිතාන්සි අංක 725 සිට පිළිවෙලින් 728 දක්වා හා 733 සිට 740 දක්වා ලේඛන ගත කර තිබෙන බවට තොරතුරු අනාවරණය විය. මෙම අධිකරණ කටයුතු වෙනුවෙන් අම්බලන්තොට පොලිසිය වෙත ඉදිරිපත් කෙරුණු යන්ත්‍ර සූත්‍ර ඉහළ පොලිස් නිලධාරියෙකුගේ මැදිහත්වීම මත අධිකරණ කටයුතු වෙනුවෙන් ඉදිරිපත් නොකර මුදා හැරීමට කටයුතු යොදා තිබෙන බවට පසුව තොරතුරු වාර්තා විය.
සමාන නොවූ පොලිස් නීතිය
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් එවකට තංගල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාගේ අත්සනින් යුත් ලිපි අංක SSP/TAN/S/204/2023 යටතේ 2023.07.08 දිනැති ලිපිය මගින් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ අධිකරණ කටයුතු අවසන් කර නොමැති හෙයින් එම තොරතුරු ලබාදීම තොරතුරු පනතේ 5 වන වගන්තියේ සඳහන් විධානයන්ට අනුව ප්‍රතික්ෂේප කරන ලදී. පසුව මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම වෙත අභියාචනා කිරීමෙන් පසු ලිපි අංක SSP/TAN/S/204/2022 යටතේ 2024.08.11 දිනැතිව ලබාදුන් තොරතුරු අනුව විමර්ශනය මගින් අනාවරණය වූයේ සැකකරුවන් 2023.07.20 දින අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙන බවයි. නමුත් එහිදී ද සම්පුර්ණ තොරතුරු ලබාදීමට තංගල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කටයුතු නොකළ අතර අනතුරුව තොරතුරු දැනගැනීමේ කොමිසම මගින් 2023.11.23 දිනැතිව අභියාචනා අංක 825/2023 යටතේ නිකුත් කරනු ලැබූ නියෝගයට අනුව තංගල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව අනාවරණය වූයේ අනු අංක 18 ක් දක්වා නඩු භාණ්ඩ හා ඒ එක් එක් නඩු භාණ්ඩ වෙනුවෙන් 725/23 සිට 742/23 දක්වා පිලිවෙලින් නඩු භාණ්ඩ කුවිතාන්සි අංක නිකුත්කර තිබෙන බවයි. නමුත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ 740/23 යන භාණ්ඩ කුවිතාන්සි අංකයේ සඳහන් බැකෝ යන්ත්‍රයට හා එක් පුද්ගලයෙකුට පමණක් බවයි.
පොලිසියේ පැහැදිලි කිරීම
අනෙකුත් යන්ත්‍ර සූත්‍ර මෙන්ම පුද්ගලයින් 14 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමට හේතු ලෙස තංගල්ල කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය දන්වා ඇත්තේ, අදාළ වැටලීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස 2023.04.04 දිනැතිව එවකට සිටි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ (නීති) එම්.එස්.කේ. ප්‍රනාන්දු මහත්මිය විසින් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හට යොමු කරන ලද ලිපියක් මගින් කරුණු පහක් යටතේ විමර්ශනයක් කරන ලෙස දන්වා ඇති නමුත් ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 14 දෙනෙකු අනාවරණය නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත 2023.04.05 දින කරුණු වාර්තා කර ඇති බවයි.
ඉන් පසු 2023.04.06 දින LD /POLICE /28/5/120 යටතේ එහි වැඩ බලන අධ්යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ජී. අජිත්පේම මහතාගේ අත්සනින් යුක්ත ලිපියක් මගින් නීති විරෝධීව භාවිත කරන බවට අනාවරණය නොවූ යම් උපකරණ, යන්ත්‍ර, ද්‍රව්‍ය වේ නම් ඒවා නිදහස් කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විරෝධයක් නොමැති බවට දන්වා තිබෙන හෙයින් ඒ අනුව එම යන්ත්‍ර සූත්‍ර නිදහස් කිරීමට කටයුතු කළ බව එම තොරතුරුවල සඳහන් වේ. මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වත්මන් අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය එච්.එම්.ආර්. ප්‍රේමසිරි මහතාගෙන් අප කළ විමසීමක දී කියා සිටියේ අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා ඉදිපත්කර තිබෙන නඩු භාණ්ඩ හෝ පුද්ගලයන් නිදහස් කිරීමට ලිපියක් නිකුත් කිරීම කළ නොහැක්කක් බවයි. එමෙන්ම වැලි කැනීම වන අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් මෙම යන්ත්‍ර සුත්‍ර හා පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් නොකර ඒ සම්බන්ධයෙන් පසුව විමර්ශනයක් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් මෙන්ම මෙම නීතිමය ක්‍රියාදාමය මඟ හැරීමට සිදු කළ දෙයක් බව පසක් වන කරුණකි.
විත්තිකරුවන්ට විශේෂ සැලකිල්ලක්
විශේෂයෙන්ම ප්‍රදේශයේ පොලිසියේ මෙන්ම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැනීම් සම්බන්ධයෙන් නිසියාකාරව නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක ඒ සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ඒකකය වෙත මහජනතාව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එහි නිලධාරීන් 23 දෙනෙකු මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද සහභාගී කරවා ගනිමින් මහජන මුදලින් එම වැටලීම සඳහා රුපියල් 20,250.00ක ඉන්ධන වියදමක් ද දරමින් අදාළ වැලි ගොඩ දැමීම සිදුකරනු ලැබූ භූමිය තුළදීම සිදුකරන ලදි. එම වැටලීමෙන් පසු 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ අංක 63(1)(අ) වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් භාරයට ලබාදුන් නඩු භාණ්ඩ හා පුද්ගලයින් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදු කිරීම පමණක්, නීතියට අනුව අම්බලන්තොට පොලිස් ස්ථානයට පැවරී ඇති වගකීමක් වේ. 2023.03.27 සඳුදා දින අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ පසුබිමක එසේ සිදු නොකරමින් අනෙකුත් පුරවැසියන් සම්බන්ධයෙන් පොලීසිය සතුව නොමැති සානුකම්පිත භාවයක් මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට ඇතිවී, නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබටවීම මෙහි දී මැනවින් පෙනී යන කරුණකි .
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සමඟ දිනකට දෙකකට පමණක් සීමා වූ ලිපි හුවමාරුවකින් අදාළ සැකකරුවන් හා නඩු භාණ්ඩ නිදහස් කිරීමට අම්බලන්තොට පොලිසිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය කර්යක්ෂමව කටයුතු යෙදීම තුලම මෙහි අනීතික නිදහස් කිරීමක් ඇති බව නීති ගරුක ඕනෑම නිලධාරියෙකු හට වැටහෙන කරුණකි. තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසන ආකාරයට මෙම වැටලීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් අදාළ පොලිස් නිලධාරින්ටම පවරා තිබේ නම් එය හුදෙක් හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි දෙයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
එමෙන්ම භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් RTI /2023/075 යන ලිපි අංක යටතේ 2023.07.11 දිනැතිව ලබාදුන් තොරතුරු අනුව ද කරුණු තහවුරු වූයේ 2023 මාර්තු මස 27 දින අදාළ ප්‍රදේශයේ වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් පුද්ගලයන් 15 දෙනා හා අනෙකුත් යන්ත්‍ර සූත්‍ර හා ද්‍රව්‍ය 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ අංක 63(1)(අ) වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගත් බවට කරුණු සඳහන් කර තිබෙන බවයි. එම පනතේ අදාළ වගන්තිය මගින් පැහැදිලි කර තිබෙන්නේ ‘’…. බලපත්‍රයක් නොමැතිව ඛනිජ ද්‍රව්‍ය කිසිවක් සඳහා ගවේෂණය කරන හෝ පතල් කනින හෝ ඒවා සකස් කරන, ප්‍රවාහනය කරන, වෙලඳාම් කරන හෝ අපනයනය කරන යම් තැනැත්තෙකු, මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු අතර මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්ලක්ෂයක් නොඉක්මවන දඩයකට සහ දෙවන හෝ තදනන්තර වරදක් සම්බන්ධයෙන් වරදක් වන විට රුපියල් එක් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ එක් අවුරුද්දක් නොඉක්මවන කාලයක් බන්ධනාගාර ගත කරනු ලැබීමකට හෝ එම දඬුවම් දෙකටම ඔහු යටත් විය යුතු බවයි.’’
පරස්පර විරෝධී තොරතුරු
කෙසේ නමුත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය ඒ ආකාරයෙන් පිළිතුරු ලබා දුන්නත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් RTI /2023/075 යන ලිපි අංක යටතේ 2023.07.11 දිනැතිව ලබාදුන් තොරතුරු මගින් අනාවරණය වූයේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ බලය අදාළ පොලිසියට ඇති බැවින් අදාළ පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පොලිසිය සතු දෙයක් බව ය. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් පැතීමක් සිදුකර ඇති බව ද, එම උපදෙස් අනුව ක්‍රියාකරන බව ද සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් අඛණ්ඩව තොරතුරු ගවේෂණය කරමින් 2023.09.15 දිනැතිව යොමු කළ තොරතුරු ඉල්ලුම්පතට තොරතුරු ලබා නොදීම හේතුවෙන් තොරතුරු කොමිසමට අභියාචනා කිරීමෙන් පසු තොරතුරු කොමිසම මගින් 1373/2023 අභියාචනා අංකය යටතේ නොතීසි නිකුත් කිරීමෙන් පසු භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් RTI/2023/125 යන ලිපි අංකය යටතේ 2024.02.28 දින ලබාදුන් තොරතුරු මගින් අනාවරණය වූයේ අදාළ කාර්යාංශය මගින් නීතිපති දෙපාර්තමේන්තුව මගින් LD/ENFU/OP/08/23/1/78 දරන ලිපි අංකය යටතේ 2023.04.24. දිනැතිව උපදෙස් ඉල්ලා ඇති බවයි. එයට ප්‍රතිචාර ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් C/97/23/GS&MB දරණ ලිපි අංකය යටතේ 2023.10.23 දිනැතිව අදාළ අනවසර කැනීම් ස්ථාන තුන සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය වෙත අම්බලන්තොට පොලිසියට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ද පිටපත් සහිතව උපදෙස් ලබා දී තිබේ.
නීතිපතිටත් උඩින් සිටින්නේ කවුද?
නීතිපති උපදෙස් මගින් පැහැදිලිව අදාළ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා හට ගත යුතු අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලිව දක්වා තිබේ. එහි සඳහන් ආකාරයට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තියේ ප්‍රතිපාදන අනුව රජයේ සේවකයෙකුට හෝ සාම නිලධාරියෙකුට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කළ හැකි බවට ප්‍රතිපාදන සලසා තිබේ. එමෙන්ම පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 15වන වගන්තිය ප්‍රකාරව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සියලු නිලධාරීන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කාර්ය සඳහා රජයේ සේවකයන් බව දක්වා ඇත. තවද 2009 අංක 66 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය සංශෝධිත පනතේ 63 (ඇ) වහන්තිය ප්‍රකාරව කාර්යාංශයේ සෑම නිලධාරියෙකුම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ අරමුණු උදෙසා සාම නිලධාරියෙකු බවට ද විධිවිධාන සලසා ඇති බවද එමගින් අවධාරණය කර තිබේ.
එමෙන්ම අදාළ සැකකරුවන් 15 දෙනා වෙනුවෙන් නම් සඳහන් කරමින් ඒ ඒ සැකකරුවන් වෙනුවෙන් ගතයුතු නීතිමය පියවරවල් සම්බන්ධයෙන් වෙන්වශයෙන් නීතිපති උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තියේ ප්‍රතිපාදන අනුව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරියෙකු හට නියමිත මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනුකර අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කළ හැකි බවට ද උපදෙස් ලබාදී තිබේ.
විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව මගින් එවැනි අවධාරණයක් සිදුකර ඇත්තේ රජයේ නිලධාරීන්ගේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් මෙවැනි සිදුවීමක දී අදාළ පනතට අනුව ක්‍රියා කළ හැකි බව ඒත්තු ගැන්වීමට බව පැහැදිලි ය. නමුත් මෙහිදී සිදුව ඇත්තේ අදාළ නීතිමය ක්‍රියාවන් ඉටු නොකිරීම හේතුවෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාව නැතිවන තෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය හෝ පොලිසිය කල් මරමින් කටයුතු කිරීම මිස නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් ඉටුකිරීමක් නොවන බව පැහැදිලි කරුණකි. මෙතරම් පැහැදිලිව නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබියදී මේ ආකාරයෙන් දඩමස් ගොරකා කරන්න තරම් හැකියාවක් ඇති ඉහළ නිලධාරියා කවුරුන්ද? ඔහුට මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට තරම් මෙම වැලි ජාවාරම පසුපස සිටින්නේ කවුරුන්ද? යන්න සම්බන්ධයෙන් රටේ ජනතාවට හෙළි කිරීම යුක්තිගරුක රජය නිලධාරීන්ගේ වගකීමකි යුතුකමකි.
එමෙන්ම මෙම නීතිපති උපදෙස් ලබාදීමෙන් පසුව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් LD/ENF/Letters/Police/02/10 ලිපි අංකය යටතේ 2023.11.08 දිනැති ලිපියක් මගින් අම්බලන්තොට පොලිසියේ එවකට සිටි ස්ථානාධිපතිවරයා හට දන්වා ඇත්තේ මෙම වැටලීමට අදාළව නඩු පවරන ලෙසට නීතිපති උපදෙස් ලබා දී ඇති බැවින් එම නඩු කටයුතු සඳහා එකී සිදුවීමට සම්බන්ධ පොලිස් විමර්ශනවලට අදාළ විමර්ශන සටහන් හා උධෘත කාර්යාංශයට අවශ්‍ය බැවින් ඒවායේ සහතික පිටපත් ඉදිරි කටයුතු සඳහා ලබාදෙන ලෙසයි.
14 දෙනෙකුට සහ යන්ත්‍ර 9කට නඩු නෑ
මේ අකාරයෙන් නීතිපති උපදෙස් ලබා දී ඇතත් මෙම සිදුවීමට අදාළව 14 දෙනෙකුට හා යන්ත්‍ර සූත්‍ර 09ක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණ ක්‍රියා මාර්ගයක් 2024.11.01 වන දා තෙක් ගෙන නොමැති බව SSP/TAN/S/RTI/08/2024 ලිපි අංකය යටතේ 2024.11.01 දිනැතිව තංගල්ල කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්ත තන්ත්‍රි මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය.
කෙසේ නමුත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වන්නේ අධ්යක්ෂ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය මගින් LD/POLICE/28/5/120 අංක දරන 2023.04.06 දිනැති ලිපිය මගින් දන්වා සිටි පරිදි වැටලීම සිදුකරන අවස්ථාවේ එම යන්ත්‍ර සූත්‍ර නීති විරෝධිව භාවිත නොකරන ලද බවට අනාවරණය වීම නිසා නිදහස් කර ඇති බවයි. මෙම ප්‍රකාශයේ පරස්පර විරෝධී බව හොඳින් කැපී පෙනෙන්නේ මෙවැනි ලිපියක් නිකුත් කර තිබෙන භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය නැවත ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට 2024.04.24 දිනැතිව LD/ENFU/OP/08/23/1/78 දරන ලිපි අංකය යටතේ නීතිපති උපදෙස් පැතීම තුළ ය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය වෙත අම්බලන්තොට පොලිසිය මගින් නඩු කටයුතු සඳහා එකී සිදුවීමට සම්බන්ධ පොලිස් විමර්ශනවලට අදාළ විමර්ශන සටහන් හා උධෘත ද යවා ඇති බවට රහසිගත මූලාශ්‍රයක් මගින් තොරතුරු අනාවරණය වන පසුබිමක භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය මගින් මේ වන තෙක් මෙම සැකකරුවන්ට හා උපකරණ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග නොගෙන සිටින්නේ අශ්වයා යවා තබා ස්තාලය වැසීමට දරන උත්සයක් වැනි දෙයක් බව මැනවින් පෙනී යන්නකි.
විශේෂයෙන් මේ ආකාරයෙන් නීතිය අවභාවිත කෙරුණු සිද්ධියකට සම්බන්ධ නිලධාරීන් ලබාදෙන විමර්ශන වාර්තා සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතිද යන ප්‍රශ්නයද මෙහිදී මතු කළ යුතු ය. මෙවැනි සිදුවීම් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම කල්මරමින් තමන්ට රිසිසේ පරශ්නය විසඳා ගැනීමට පරිසරය සකස් කිරීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් අනුගමනය කරන උපක්රමයකි. එහි ප්‍රතිඵලය, නීතිමය කටයුතු සිදු කිරීමේ දී පවතින දින වකවානු නික්මීමෙන් පසු ඒ සඳහා නීතිමය පියවර ගැනීමට අවස්ථාව නොමැති වීමයි. එමෙන්ම අදාළ ආයතනය මගින් නීතිය ක්‍රියාත්මක නොකරමින් මුනිවත රකිමින් සිට ඇත්තේ කුමන වරප්‍රසාදයක් හෝ හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් දූෂණ විරෝධී ලෙස කටයුතු කරන වර්තමාන රජයේ දැඩි අවධානයට හා විධිමත් විමර්ශනයකට ලක්විය යුතු කාරණයකි. එමෙන්ම මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය මගින් 2024.10.01 දිනැතිව තොරතුරු විමසා ඇති නමුත් 2024.11.04 දින දක්වා එම තොරතුරු ලබා දීමක් සිදුකර නොමැත.
වැලි හෑරු ස්ථාන
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වත්මන් අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය එච්.එම්.ආර්. ප්‍රේමසිරි මහතාගෙන් කළ විමසීමේ දී කියා සිටියේ මෙවන් අදහසකි. “මම හිතාගෙන හිටියේ මේක නඩු දාලා අවසන් කියල, එකම දේ තියෙන්නේ නිත්‍යානුකූලව දැන් නඩු දාන්න අපිට අවස්ථාවක් තියෙනවද කියලා. නමුත් මම මේ ගැන හොයලා බලනවා’’.
විශේෂයෙන්ම රටේ නීතිමය ආධිපත්‍ය සම්බන්ධයෙන් ඉහළින් සිටින ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් උපදෙස් ද නොතකමින් කටයුතු කිරීම තුළ මෙම සිදුවීමට සම්බන්ධ පොලිසියේ හා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ සියලු නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව ද හෑල්ලුවට ලක්කර කටයුතු කිරීම මෙන්ම සැමට සමාන යැයි සම්මත නීතියේ ආධිපත්‍යය ද බිඳ දමා තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක අවශ්‍යතාවය කැපී පෙනෙන අතර එවැනි විමර්ශනයක් සිදු කිරීමේදී හොරාගේ අම්මාගෙන් පේන අහනවා සේ සිදු නොකරමින් විධිමත් විමර්ශන කණ්ඩායමක් මගින් සිදුකළ යුතු බව පෙන්වා දිය යුතු කරුණකි.