පුවත්

කීරිමලේ ජනාධිපති මන්දිරය සීමා මායිම් නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාලයකට බදු දෙයි!

By In

එන්. ලෝකදයාලන් 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද කීරිමලේ ජනාධිපති මන්දිරය සහ ඒ අවට ප්‍රදේශය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට වසරකට ඩොලර් දස දහසකට බදු දී ඇති බව තොරතුරු දැනගැනීමේ අයදුම්පතකට ලබාදී ඇති තොරතුරකින් අනාවරණය වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුළදී  කීරිමලේ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඉදිකරන ලද මෙම ජනාධිපති මන්දිරය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ‘නෝතන් යුනි’ (NorthernUni) නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට බදු දී ඇත.

එම බදු ගිවිසුමේ පිටපතක් ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කළ විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම පිටපත ලබාදීම  ප්‍රතික්ෂේප කරන ලදී. මේ අනුව බදු ගිවිසුමේ පිටපතක් ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අභියාචනයක් ඉදිරිපත් කළ අතර කොමිෂන් සභාව විසින් අභියාචනය විමර්ශනය කොට ඒ සඳහා ලිඛිත ප්‍රතිචාරයක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට නියම කරන ලදී.

මේ කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ‘නෝතන් යුනි’ නම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සමඟ ඇති කර ගත් ගිවිසුමේ පිටපතක් ලේඛකයාට ලබා දී ඇත.

එහි සඳහන් තොරතුරුවලට අනුව මෙම ගිවිසුමට එළඹ ඇත්තේ 2023 ඔක්තෝබර් 16 වැනිදාය. ගිවිසුම අනුව කීරිමලේ පිහිටි ජනාධිපති මන්දිරයේ බදු මුදල් ලෙස ‘නෝතන් යුනි’ සමාගම වසරකට ඩොලර් දස දහසක් නගර සංවර්ධන අධිකාරියට ගෙවිය යුතුය.මෙම ගිවිසුම වසර 50 ක් සඳහා බලපැවැත්වේ.

 ගිවිසුම අනුව පළමු වසර සඳහා ඩොලර් 10,000 ක් ගෙවිය යුතු අතර ඉන් පසුව සෑම වසරකම ගෙවිය යුතු මුදල 0.5 % කින් වැඩි වේ.

මෙහි ආදර්ශ සිතියමක් ගිවිසුමට අමුණා ඇතත්, ඉඩමේ මිණුම් සැලැස්මක් එම  සිතියමේ හෝ අවබෝධතා ගිවිසුමේ කොතැනකවත් දක්වා නොමැත.

ගිවිසුමේ 6.8 වගන්තියට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගිවිසුම අත්සන් කර දින 180ක් ඇතුළත ඉඩම් අත්පත් කර ගැනීමට අදාළ ඉතිරි කටයුතු අවසන් කළ යුතුය. එලෙස වැඩ නිම නොකළහොත් මාස තුනක කාලයක් තුළ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කළ යුතු බවත්  එම ස්ථානය සම්පූර්ණයෙන් තක්සේරු කර නොමැති බවත් ආදී ලෙස පරස්පර විරෝධී තොරතුරු අමුණා ඇත.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙම ගිවිසුමට එකඟ වී තිබේ. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙම ගිවිසුමේ මූල්‍ය හවුල්කරුවෙකු ලෙස සඳහන් කර ඇති අතර ‘ඕ’ වගන්තියෙහි 2023-08-23 වන දින වලිගාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ගිවිසුමට කිසිදු විරෝධයකින් තොරව අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.

කොන්ත්‍රාත්තුවේ 5-3 වගන්තියේ සඳහන් වන්නේ කිසියම් හේතුවක් නිසා එම ස්ථානය ‘නෝතන් යුනි’ සමාගමට ලබා දිය නොහැකි නම් කොන්ත්‍රාත්කරුගේ මුදල් ආපසු ලබා දිය යුතු බවයි, 5-6 වගන්තියේ වටිනාකම ඇස්තමේන්තු කර තිබිය යුතු බවක්  සඳහන් වූවද එහි වටිනාකම කොතැනකවත් සඳහන් නොවේ. 6-9 වගන්තියේ තක්සේරු වටිනාකමින් ආයෝජකයාට ලැබෙන මුදල ඉඩම් හිමියාට ගෙවිය යුතු බව සඳහන් වේ. 

මෙලෙස කීරිමලේ ජනාධිපති මන්දිරය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ලබාදීමේ ගිවිසුම එකිනෙකට සම්බන්ධයක් නැති අසම්පූර්ණ ගිවිසුමක් බව තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබාගත් ලේඛණයෙන් අනාවරණය වී තිබේ.

පුවත්

ජනාධිපතිවරයාගේ  පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා

‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි  ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…

By In
පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *