ක. ප්‍රසන්නා
ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඇති එකම විසඳුම එන්නත ලෙස සැලකෙන හෙයින් මහජනතාව සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් තීව්‍ර කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පසුගිය 2021 ජනවාරි 29 දා සිට එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරිණි. ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, චීනයේ සිනොෆෝම්, රුසියාවේ ස්පුට්නික් – වී සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් බයොන්ටෙක් වැනි එන්නත් දැනට ශ්‍රී ලංකාවේ ලබා දෙනු ලබයි. එසේම චීනයේ සිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමටත් මොඩර්නා එන්නත ඇමරිකාවෙන් ආනයනය කිරීමටත් පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, කොවිඩ් එන්නත් මෙරටට ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. එම නිසා එන්නත් හිඟය සහ ඉල්ලුම හේතු කොට ගෙන නිෂ්පාදකයින් තීරණය කරනු ලබන මිල ගණන් යටතේ එන්නත් ලබා ගැනීමට සිදු වී ඇත.
මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද එන්නත් සහ ඒවායේ මිල සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන අමාත්‍යංශය වෙත පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද ඉල්ලීම මත මාස හතරකට පසු ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් (SM/PSRP/02/02/33/2021) තොරතුරු ලබා දෙන ලදී.
වර්තමානය වන විට එන්නත් බොහෝ ප්‍රමාණයක් මෙරටට ආනයනය කෙරෙමින් පැවතුනද, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අපට ලබා දෙනු ලැබුවේ මාර්තු මාසයට පෙර තොරතුරු පමණි. එම තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවට මාර්තු මාසය වන තෙක් එන්නත් මාත්‍රාවන් පන් ලක්ෂ පහළොස්දහසක් (515,000) ක් පමණ ආනයනය කර ඇත. මෙයින් කොවිඩ්ෂීල්ඩ් එන්නත් ලක්ෂ 5 ක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර ස්පුට්නික් – වී එන්නත් 15,000 රුසියාවෙන් ආනයනය කර ඇත.
ඉන්දියාවේ කොවිඩ්ෂීල්ඩ් එන්නතේ මාත්‍රා 10 ක කුප්පියක මිල රුපියල් දසදහස් දෙසිය අසූ හතයි සත තිස් අටකි. (රුපියල් 10,287.38 – ඇ.ඩොලර් 51.5) එබැවින් එක් මාත්‍රාවක් රුපියල් එක්දහස් විසි අට කට (රුපියල් 1,028.74 – ඇ.ඩොලර් 5.15) ආනයනය කෙරිණි. එසේම රුසියාවේ ස්පුට්නික් – වී එන්නතේ මාත්‍රා 5 ක් රුපියල් නමදහස් නමසිය හතළිස් හතයි සත පනස් එකකි. (රුපියල් 9,947.51 – ඇ.ඩොලර් 49.80) ඒ අනුව එක් මාත්‍රාවක් රුපියල් එක්දහස් නමසිය අසූ නමයයි සත පනහක් (රුපියල් 1,989.50 – ඇ.ඩොලර් 9.96) විය.
මේ අතර, කොවිඩ්ෂීල්ඩ් එන්නත ආනයනය කිරීම සඳහා ප්‍රවාහන වියදම් ද ඇතුළත්ව රුපියල් පනස් එක් කෝටි පනස් තුන් ලක්ෂ හතළිස් හයදහස් පන්සීය හතළිහයි සත පනහක් (515,346,540.50) වැය කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි. කෙසේ වෙතත්, කෝවිල්ෂිල්ඩ් එන්නත කෝවැක්ස් ව්‍යාපෘතිය යටතේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සඳහා නොමිලයේ ලබා දුන් බව ප්‍රචාරය කෙරිණි. කෝවැක්ස් ව්‍යාපෘතිය යනු එන්නත් හා රෝග වැළැක්වීම සඳහා වූ ගෝලීය සංවිධානයකි. වසංගත රෝග මර්ධනය සඳහා නවෝත්පාදනයන් සඳහා වූ එකමුතුවක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වී ආරම්භ කළ ව්‍යාපෘතියකි.
(https://www.thehindubusinessline.com/news/indias-gift-of-5-lakh-doses-of-covishield-vaccines-to-reach-sri-lanka-on-thursday/article3)
කොවිඩ් -19 එන්නතෙහි වර්ධනය හා නිෂ්පාදනය වේගවත් කිරීම මෙන්ම ලොව සෑම රටකටම සාධාරණ හා සම ප්‍රවේශයක් සහතික කිරීම එහි අරමුණයි. මේ මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට කොවිෂිල්ඩ් එන්නත හිමිවූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ත්‍යාගයක් වශයෙනි. කෙසේ වෙතත්,එම එන්නත් සඳහා පනස් එක් කෝටි පනස් තුන් ලක්ෂ හතළිස් හයදහස් පන්සීය හතළිහයි සත පනහක් (515,346,540.50) වියදම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සඳහන් කරයි.
ඒ අනුව ඉන්දියාව විසින් ලබා දුන් කොවිඩ්ෂීල්ඩ් එන්නත සඳහා පමණක් රුපියල් පනස් එක් කෝටි හතළිස් තුන් ලක්ෂ හැත්තෑදහසක් (රුපියල් 514,370,000) ක් වැය කර ඇති අතර ප්‍රවාහන කටයුතු සඳහා නම ලක්ෂ හැත්තෑහය දහස් පන්සිය හතළිහයි සත පනහක් (රුපියල් 976,540.50) වැය කර ඇත.
මේ අතර රුසියාව විසින් පරිත්‍යාග කරන ලද ස්පුට්නික් – වී එන්නතෙහි පළමු තොගය ආනයනය කිරීම සඳහා ප්‍රවාහන වියදම් ද ඇතුළුව රුපියල් තුන් කෝටි විසි ලක්ෂ තිස් දහස් හත්සිය හැට හතරයි සත තිස් එකක් (32,030,764.31) වැය කර ඇති බව වාර්තා වී තිබේ.
ඉහත තොරතුරුවලට අනුව, රුසියාවේ ස්පුට්නික් – වී එන්නත මිලදී ගැනීම සඳහා පමණක් රුපියල් දෙකෝටි අනූ අට ලක්ෂ හතළිස් දෙදහස් පන්සියයක් (රුපියල් 29,842,500) ක් ආනයනයට වැය කර ඇති අතර ප්‍රවාහනය සඳහා සඳහා රුපියල් දෙකෝටි දහ අට ලක්ෂ අටදහස් දෙසිය හැට හතරයි සත තිස් එකක් (2,188,264.31) වැය කර ඇති බව සඳහන් වී තිබේ.
මේ අතර චීනයේ සිට ආනයනය කරන ලද සිනොෆෝම් එන්නත ද ඉහළ මිලකට මිලදී ගත් බව වාර්තා විය. ශ්‍රී ලංකාව එම එන්නතේ එක් මාත්‍රාවක් ඇ.ඩොලර් 15 කට මිලදී ගත් බවත් බංග්ලාදේශය එක් මාත්‍රාවක් ඇ.ඩොලර් 10 කට මිලදී ගත් බවත් පිළිගත හැකි ඇතමුන් ප්‍රකාශකර ඇත. මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට නියමිත සිනොවැක් එන්නතෙහි මිල රහසක් ලෙස තබා ගැනීමට එකඟතාවයකට පැමිණ ඇති බව කියති.
ඊට අමතරව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ බෙදාහැරීම් අංශය විසින් නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවට තවත් කොවිඩ්ෂීල්ඩ් එන්නත් මාත්‍රා එක් කෝටි අසූ ලක්ෂයක්ද (18,000,000), ස්පුට්නික් – වී එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක්ද (13,000,000), ෆයිසර් එන්නත් මාත්‍රා පනස් ලක්ෂ පන්සීය අසූවක්ද (5,000,580) ආනයනය කිරීමට නියමිත බවයි.
රටේ දැනට පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සියලුම පුරවැසියන් සඳහා එන්නත් මිලදී ගැනීමේ අවශ්‍යතාව පවතී. ඒ අතරම, ලබා දෙන එන්නත් සහ ඒවායේ පිරිවැය ගැන තොරතුරු දැන ගැනීම සඳහාද මහජනයාට අයිතියක් ඇත. එසේම පරිත්‍යාග වශයෙන් ලබා දෙන එන්නත් සඳහා ගෙවීම් සිදුකල යුත්තේ මන්ද යන්න පිළිබඳව රජය පැහැදිලි කළ යුතුය.
Information on Covid-19 vaccines imported to Sri Lanka
Source: State Pharmaceutical Corporation
Name of the vaccine | Country of importation | Number of doses administered | Price of the vaccine | Cost for the vaccine (LKR) | Transportation costs (LKR) | Total (LKR) |
Covishield | India | 500,000 | 10-dose vial LKR 10,287.38 (USD 51.5) Price of one dose LKR 1,028.74 (USD 5.15) | 514,370,000.00 | 976,540.50.00 | 515,346,540.50 |
Sputnik-V | Russia | 15,000 | 5-dose vial LKR 9,947.51 (USD 49.80) Price of one dose LKR1,989.50 (USD 9.96) | 29,842,500.00 | 2,188,264.31.00 | 32,030,764.31 |