සොබා සෞන්දර්යයෙහි අසිරිය සොයා යන්නන් හට සුන්දර “උඩගලදෙබොක්ක” ග්‍රාමය අමතක කළ නොහැකි ගමනාන්තයකි. මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් උඩගලදෙබොක්ක, සංචාරක – ගවේෂකයින් ගේ නොමඳ අවධානය පැහැරගන්නා ආකාරයේ ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ගම් පියසකි. එහෙත් එහි පෙනෙන සුන්දරත්වය එහි දිවි ගෙවන්නන් ගේ ජීවිත තුළ කිසිසේත් ම ගැබ් වී නොමැති බව පැවසුවහොත් එය විශ්වාස කළ හැකි වේ ද?
එහෙත් සත්‍යය වශයෙන් ම වසර 2022 වන විටත් රාත්‍රියට හරි හැටි බල්බයක් දල්වාගැනීමට තරම් වත් විදුලිය නොමැති, හදිසි අවස්ථාවක රෝහලකට යාමට හෝ වාහනයක් පැමිණීමට හැකි තරම් මං මාවත් පද්ධතියක් නොමැති, උසස් පෙළ දක්වා වත් ඉහළට ඉගෙන ගැනීමට හැකියාවැති පාසලක් නොමැති, කොයි මොහොතේ වන සතුන් ගේ පහරකෑම් වලට ලක් වේ දැයි බියෙන් ජීවත් වීමට තරම් දුෂ්කර ජීවන රටාවක් යට කී සුන්දරත්වයෙන් වැසී පවතී.
මෙම දුෂ්කරතා මධ්‍යයෙහි වර්තමානය වන විට උඩගලදෙබොක්ක ග්‍රාම නිලධාරී වසමෙහි පවුල් 36 ක් ජීවත් වේ. එහි වසන ඡන්ද හිමි ඡන්ද දායකයින් ප්‍රමාණය 72ක් බව අප විසින් මිනිපේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය වෙත යොමු කරන ලද තොරතුරු දැන ගැනීමේ ඉල්ලුම්පත්‍රය සඳහා පිළිතුරු සපයමින් ඔවුන් සඳහන් කර එවා ඇත. එම ඉල්ලුම්පතෙහි ම මෙම ප්‍රදේශයෙහි පවත්නා අනෙකුත්; බලශක්ති සහ මාර්ග සම්බන්ධ ගැටලු පිළිබඳව ද අප විමසීමක් කළ අතර ඒ සඳහා පහත ආකාරයේ පිළිතුරු ලැබී ඇත.
එනම් මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් 2020 “සපිරි ගමක්” සංවර්ධන වැඩසටහන් යටතේ රුපියල් මිලියන 02ක් වැය කරමින් උඩගලදෙබොක්ක ග්‍රාමයට පිවිසීමට ඇති මාර්ගය සංවර්ධනය කර ඇති බව සහ 2022 වර්‍ෂයේ “ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ උඩගලදෙබොක්ක ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 03 ක මුදලක් අනුමත වී ඇති බවත් ය. ග්‍රාමයට ඇතුල් වීමේ ප්‍රවේශ මාර්ග සංවර්ධනය සඳහා රජය විසින් අවධානය යොමු කළ ද ගම අභ්‍යන්තරයේ වන මාර්ග සංවර්ධනය කිරීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව ද සඳහන් කර එවා ඇත.
මෙයට අමතරව උඩගලදෙබොක්ක, ගලමුදුන, සහ මැදකැලේ යන ගම්මාන සඳහා විදුලි බලය සැපයීම වෙනුවෙන් ජාතික විදුලි ජාලයෙන් බැහැරව විදුලිය සැපයීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් කටයුතු කරමින් පවතින බවත් මේ වන විට ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගෙන කොන්ත්‍රාතුව පිරිනමා ඇති බවත් විදුලිබල අමාත්‍යංශය විසින් දන්වා එවා ඇති අතර, ඔවුන් සඳහන් කළ පරිදි 2022.01.12 වන දින වන විට උඩගලදෙබොක්ක ගම්මානය සඳහා 25 kWp ධාරිතාවයකින් යුත් සූර්‍ය විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කර එවා ඇත.
එම වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳ විමසා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු විමසීමක් මේ වන විටත් සිදු කර ඇති අතර ඒ පිළිබඳ පසු ලිපියකින් දැනුවත් කිරීමට අපේක්‍ෂා කරමු.