Social, පුවත්

චීන ආධාර නැවතී ලංකාවේ පානිය ජල යෝජනා ක්‍රමය අතරමඟ නවතී

By In
  • මොහොමඩ් ආසික්

මහනුවර  සහ කුරුණෑගල  යන  දිස්ත්‍රික්කවල  පවුල් 72,000 කට අලුතින් පානිය  ජල සම්බන්ධතා ලබා දීමත් තවත්  ජල සම්බන්ධතා 1,01 000 ක ජල ධාරිතාවය  වැඩි දියුණු කිරීමත් අරමුණු කර ගෙන  චීන රජයේ එක්සිම් බැංකුවේ  ණය ආධාර   මත 2019 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකාවේ විශාලතම ජල යෝජනා ක්‍රමය සඳහා ලබා දෙන ණය ආධාර චීන රජය විසින් නවතා දැමීම නිසා ජල ව්‍යාපෘතියද මේ වන විට   අතර මග නැවතී ගොස් තිබේ.

චීන රජයේ  එක්සිම් බැංකුවේ ණය ආධාර රුපියල් මිලියන 51,000 ක(2019)  ඇස්තමේන්තුවක් යටතේ 2019 දෙසැම්බර් මස 21 වනදා මහනුවරදී මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරිණ.

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, පාතදුම්බර,  තුම්පනේ ,අකුරණ , පූජාපිටිය,  ගඟවට කෝරළය  සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාව  සඳහ පානීය ජලය සැපයීම වෙනුවෙන් මෙන්ම මෙම දිස්ත්‍රික්කවල පිහිටි ආයෝජන කලාපවලට ජලය සැපයීම වෙනුවෙන්   මෙම ජල යෝජනා ක්‍රමය  සඳහා 2018 වසරේදී ටෙන්ඩර් කැඳවා 2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ අතර එය නිල වශයෙන් එවක අග්‍රාමාත්‍ය සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2019 සැප්තැම්බර්  මස 21 වනදා මහනුවර පාතදුම්බරදී  ආරම්භ කරනු ලැබීය. 

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සියයට 80 කට වඩා  මේ වන විට අවසන්ව තිබියදී චීන  රජය සිය ණය ලබා දීම අතර මඟ නවතා දැමීම නිසා මෙම ජල ව්‍යාපෘතියද අතර මඟ නැවතී යාමෙන් පවුල් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකගේ  පානීය  ජල අවශ්‍යතා සපුරා ගැනිමේ බලාපොරොත්තු බිඳ වැටී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ජල ව්‍යාපෘතියක් වන මෙම ජල ව්‍යාපෘතියේ වත්මන් තත්වය සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත අනුව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයෙන් කළ තොරතුරු  ඉල්ලීමකට ලැබුණු තොරතුරු අනුව  මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්වය හෙළි විය.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත අනුව  කළ ඉල්ලීමකට ලැබුණු තොරතුරු මත පදනම්ව මෙම ලිපිය සකස් කෙරේ.

මහනුවර උතුර සහ පාතදුම්බර ජල යෝජනා ක්‍රමය සඳහා 2018 ජූනි මාසයේදී ටෙන්ඩර් කැඳවා 2019 දී වැඩ ආරම්භ කරනු ලැබීය. ව්‍යාපෘතිය 2022 අගෝස්තු වන විට අවසන් කිරීමට අපේක්ෂා කළ නමුත් ව්‍යාපෘතිය සඳහා චීන රජයෙන් ලබා දෙන  ණය මුදල් අතරමඟ නැවතී යාමෙන් ජල ව්‍යාපෘතියද අතරමඟ නැවතී ගොස් තිබේ. කෙසේ නමුත් ජල ව්‍යාපාතියේ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය කියයි. 

මෙම ජල ව්‍යාපෘතිය සඳහා චීන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලිය 194.83 ක් (වර්තමාන විනිමය අනුපාතය අනුව  රුපියල් මිලියන 62,345 ක්) සහ ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 8356.25 කට මෙම ව්‍යාපෘතිය කොන්ත්‍රාත් ලබා දී තිබේ.

මහවැලි ගඟේ ජලය  උස් ප්‍රදේශවලට පොම්ප කර ඉදි කරන මෙම ජල ව්‍යාපෘතිය ඉදි කිරීම් ආරම්භ කර වසර    තුන හමාරක් වැනි කාලයක් ගතවීමත් සමඟ ව්‍යාපාතිය නවතා දැමීමට සිදුව තිබේ.   මේ වන විට ව්‍යාපෘතියේ ප්‍රධාන  පිරිපහදුකාගාරය ඉදි කර ඇති අතර එයට අමතර  ජල ටැංකි 27 ක් පොම්පාගාර 22 ක් ද ඉදි කර  සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමිටර් 83 ක් බෙදාහැරීමේ නළ මාර්ග  කිලෝ මීටර් 570 ක  නළ මාර්ගද එලා අවසන් කර තිබේ.  ජල සම්පත් මණ්ඩලයෙන් ලබා දී ඇති තොරතුරුවලට අනුව මුළු ඉදිකිරීමෙන් සියයට 88 ක ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ. නව සම්බන්ධතා 5000 ක් ද ලබා දී ඇති බවත්  සඳහන් වෙයි .

මෙම ව්‍යාපෘතිය ඉදි කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත් කරු වෙත චීන රජයෙන් රුපියල් මිලියන 21,351 ක් නිදහස් කර ඇති අතර ශ්‍රී ලංකා රජය මගින් රුපියල් මිලියන 292 ක්ද ලබා දී තිබේ. එසේ වුවත් 2022ව වසරෙන් පසුව චීන රජය මුදල් නිදහස්  නොකිරීම ව්‍යාපාතිය අතරමඟ නැවතීමට හේතුව වී තිබේ. ජල යෝජනා ක්‍රමය අතර මඟ නැවතීම නිසා ඉදිකිරීම් සඳහා පලුදු කළ මාර්ග බොහොමයක වළවල් සෑදී ඇති අතර ජල නළ විශාල ප්‍රමාණයක් මාර්ග අයිනේ ගොඩ ගසා තිබෙන අයුරුද දැක ගත හැකියි. 

මහනුවර සහ කුරුණැගල දිස්ත්‍රික්කවල පවුල් 72,000 කට අලුතින්  පානීය ජල සබඳතා ලබා දීමට සහ  දැනට ජල සබඳතා ලබා ගෙන ඇති තවත් පවුල් 1,01,000 කගේ ජල සම්බන්ධතාවල ජල  ධාරිතාව  ඉහළ නැංවීමටත් අපෙක්ෂා කරනු ලැබීය. එම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉදි කරනු ලැබූ මෙම ජල ව්‍යපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් 2022  වසරෙන් පසුව කොන්ත්‍රාත්කරුට චීන රජයෙන් මුදල් නිදහස් නොකිරිම නිසා  මේ වන විට ජල ව්‍යාපෘතිය මුළුමනින්ම අතර මඟ නැවතී තිබේ.  මෙම ව්‍යාපාතිය නැවත ආරම්භ කර ගැනීම සඳහා  රජය සහ ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය චීන රජය සමඟ සාකච්ඡා කරමින්  දැඩි ප්‍රයත්නයක යෙදි සිටින බවත් ජල සම්පත් මණ්ඩලය කියයි. 

චීන රජය සමඟ පවතින ප්‍රතිපාදන නිදහස් නොකිරීමේ ගැටළුව විසඳා ගැනීමෙන් පසුව  මාස හයක් තුල ව්‍යාපෘතියේ මූලික කටයුතු අවසන් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දිය හැකි බවත් තවත් මාස පහක් වැනි කාලයක් තුල ව්‍යාපාතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකි වන බවත් ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමට පිළිතුරු වශයෙන් ලබා දි තිබේ.

මධ්‍යම කඳුකරය පුරාද මේ දිනවල පවතින අධික වියලි කාල ගුණ තත්වය හේතුවෙන් ජනතාව දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. මේ වන විද දිස්ත්‍රික්කයේ පවුල් 30,000 කට වැඩි පිරිසක් මෙම පානීය ජල හිඟයට මුහුණ දී  සිටිති. මහවැලි ගඟ, වික්ටෝරියා ජලාශය මෙන්ම අනෙකුත් ජල මූලාශ්‍රද සිඳී යාම නිසා මෙලෙස උග්‍ර පානිය ජල හිගයක් ඇති විමට හේතු වී තිබේ. 

මහනුවර දිස්ත්‍රික්කට වඩාත් බලපාන මෙම ජල යෝජනා ක්‍රමය  අතරමඟ නැවතී යාම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදීද කමිටුවේ සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේද අවධානය යොවු වු  දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් නිරීක්ෂණ චාරිකාවකද නියැලුණහ. 

ශ්‍රී  ලංකාවේ මහා  පරිමාණ  සංවර්ධන ව්‍යාපාති රැසකට ණය සහ ආධාර පදනමින් ආධාර කර ඇති චීන රජයේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස ඇරඹි මෙම විශාලතම ජල යෝජනා ක්‍රමය නැවත ආරම්භ කර තම පානීය ජල අවශ්‍යතා සපුරාලන තුරු මෙම ප්‍රදේශවල ජනතාව පෙර මගබලා සිටිති.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *