පුවත්

‘මැරීන් ඩ්‍රයිව්’ වසර 18ක් ඉබි ගමනේ

By In

කේ.ප්‍රසන්නා 

කොළඹ ගාලු ප්‍රධාන මාර්ගයේ තදබදය අවම කිරීම සඳහා හොඳම මාර්ගය ලෙස හඳුනාගෙන ඇති සමුද්‍රීය මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) අදියර හයක් මේ වන විට අවසන් කොට ඇත. එය ශ්‍රී ලංකාවේ දියත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති අතරින්  දීර්ඝතම සංවර්ධන ව්‍යාපෘතියයි. 2003 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම යෝජනා ක්‍රමය 2021 වර්ෂයේදී අත්හිටුවා ඇත. මේ අනුව වසර 18ක් තිස්සේ ඉදිකරන මාර්ගය ලෙස මෙය ඉතිහාසගත වී තිබේ.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා දිවෙන මැරීන් ඩ්‍රයිව්  මාර්ගය දෙහිවල දුම්රිය ස්ථානයේ සිට පානදුර දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සඳහා මොරටුව විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනය 2021 දී අවසන් කරන ලදි.

වැඩ නැවතී වසර 2යි

ඒ සඳහා රුපියල් බිලියන 38ක මුදලක් වෙන් කිරීමට මෙන්ම  මාර්ග සංවර්ධනයේදී ඉඩම් හා දේපළ අහිමි වන ජනතාවට වන්දි ලබාදීම සඳහා රුපියල් බිලියන 21ක් වෙන් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය අවසන් කර වසර දෙකක් ගත වී ඇතත් තවමත් ව්‍යාපෘතිය ආරම්භ කොට නැත. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් වැය කරමින් ඉදිකරමින් පවතින මාර්ගය වන මැරීන් ඩ්‍රයිව් මාර්ගය පිළිබඳ වත්මන් කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හරහා මාර්ග සංවර්ධන අධිකාරියට මඟින් ලබාගත් තොරතුරු  වලට අනුව දෙහිවල දුම්රිය ස්ථානයේ සිට පානදුර දක්වා සමුද්‍රීය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය 2023 මැයි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

මේ වන විට අදියර හයක් නිම කොට ඇති මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ කිලෝමීටර් 2.3 ක් දක්වා දිවෙන පළමු අදියර ඉදිකිරීම (රාමක‍්‍රිෂ්ණ මාර්ගයේ සිට මෙල්බර්න් ඇවනියු දක්වා) 2003 වර්ෂයේදී ආරම්භ කරන ලදී.   දෙවන අදියර ලෙස මෙල්බර්න් ඇවනියු සිට ග්ලේන් ඇබර් දක්වා කිලෝමීටර් 1.2 ක් දීර්ඝ මාර්ගය ඉදිකිරීම 2006 වර්ෂයේදී දී ආරම්භ කරන ලදී. තුන්වන අදියර ලෙස ග්ලේන් ඇබර් සිට කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 2.2 ක් දීර්ඝ මාර්ගය ඉදිකිරීම 2010 වර්ෂයේදී ආරම්භ කරන ලදි.

වසර 18ට කි.මී. 8යි

සිව්වන අදියර ලෙස රාමක්‍රිෂ්ණ පාරේ සිට ෆෙසර් ඇවනියු දක්වා කිලෝමීටර් 05ක් දිග මාර්ගය ඉදිකිරීම 2016 වර්ෂයේදී ආරම්භ කෙරිණි. පස්වන අදියර ලෙස කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට ස්ටුවර්ට්ස් පෙදෙස දක්වා කිලෝමීටර් 0.5ක් දීර්ඝ මාර්ගය ඉදිකිරීම 2019 වර්ෂයේදී ආරම්භ කළ අතර හයවන අදියර ලෙස ෆෙසර් ඇවනියු සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 1.2ක් දීර්ඝ මාර්ගය ඉදිකිරීම 2020 වර්ෂයේදී ආරම්භ කරන ලදි.

මේ අනුව සමුද්‍රීය මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) සංවර්ධන කටයුතු වසර 18ක පමණ කාලයක සිට සිදුවෙමින් පවතියි. අවසාන වශයෙන්, එහි හත්වන අදියර ලෙස සමුද්‍රීය මාර්ගය දෙහිවල දුම්රිය ස්ථානයේ සිට පානදුර දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය 2021 දී ආරම්භ කිරීමට අපේක්ෂා කළ නමුත්, එය තාවකාලිකව නතර කොට  ඇති බවත්, ව්‍යාපෘතියේ මූල්‍ය පිරිවැය මෙතෙක් අවසන් කර නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ විශේෂ ව්‍යාපෘති අංශය නිවේදනය කර ඇත.

අදියර හයකින් නිම කර ඇති කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 7.9ක මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා වැයවන මුදල ලෙස රුපියල් මිලියන 1881ක් ඇස්තමේන්තු කර ඇත. කෙසේ වෙතත්, ඒ සඳහා වැය වූ මුදල් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දී නොමැත. මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් (ව්‍යාපෘති) අංශය මඟින් සෘජු ශ්‍රමය යොදා ගනිමින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ.

වියදම මිලියන 1881ක්

මැරීන් ඩ්‍රයිව් මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 450 ක්ද, දෙවන අදියර සඳහා රුපියල් මිලියන 132ක්ද, (මාර්ග පුළුල් කිරීම සහ අඩිපාර ඇතුළුව) තුන්වන අදියර සඳහා රුපියල් මිලියන 264ක්ද, සිව්වන අදියර සඳහා රුපියල් මිලියන 306ක්ද, (ඉතිරි ඉදිකිරීම් කටයුතු සහ වීදි පහන් ඉදිකිරීම ඇතුළුව) පස්වන අදියර සඳහා රුපියල් මිලියන 252ක් සහ හයවන අදියර සඳහා රුපියල් මිලියන 477ක් වැය කර ඇති බව වාර්තා කර ඇත.

වසර 18ක පමණ කාලයක් ඉදිවෙමින් පවතින කිලෝමීටර් 7.9ක දිගින් යුත් මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ මීළඟ අදියරට අදාළ ව්‍යාපෘති මේ වන විට අත්හිටුවා ඇත. රටේ පවතින ආර්ථික අර්බුද සහ දේශපාලන අර්බුද මධ්‍යයේ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නොහැකි බව පෙනේ. මෙම මාර්ගය  දීර්ඝ කළහොත් මාර්ගවල වාහන තදබදය අවම කර ගැනීමටත් කාලය ඉතිරි කර ගැනීමටත් අවස්ථාව උදා වේ.

වසර 18ක් තිස්සේ ඉදිවෙමින් පවතින මැරීන් ඩ්‍රයිව් මාර්ගය
අදියරමාර්ගයආරම්භ කළ වර්ෂයමාර්ගයේ දිග වියදම (රුපියල් මිලියන) 
01රාමක‍්‍රිෂ්ණ මාර්ගයේ සිට මෙල්බර්න් ඇවනියු දක්වා20032.3450
02මෙල්බර්න් ඇවනියු සිට ග්ලේන් ඇබර් දක්වා20061.2132
03ග්ලේන් ඇබර් සිට කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා20102.2264
04රාමක්‍රිෂ්ණ පාරේ සිට ෆෙසර් ඇවනියු දක්වා20160.5306
05කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට ස්ටුවර්ට්ස් පෙදෙස දක්වා20190.5252
06ෆෙසර් ඇවනියු සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා20201.2477
දෙහිවල දුම්රිය ස්ථානයේ සිට පානදුර දක්වා ව්‍යාපෘතිය අත් හිටුවා ඇත.
පුවත්

පසුගිය මාස දෙකහමාරට රජය රුපියල් බිලියන 438ක් ණය වෙලා! 

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් දැඩි දුෂ්කර තත්වයක පවතින අතර, යථා තත්ත්වයට පත්වීම සමාජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවට…

By In
පුවත්

අල්ලස හා දූෂණයෙන් රට ක්ලීන්ද?  අල්ලස් කොමිසම පැවරූ නඩු 52ක්ම ‘රිවස්’!

– ජනක සුරංග රටක් තිරසර සංවර්ධනය කරා පියමන් කරන්නට නම් නිසැකවම අල්ලස, දූෂණය ඇතුළු සියලු ආකාරයේ විෂමාචාරවලින් තොර වූ පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *