Social, පුවත්

මධ්‍යම පළාතේ ඌණ පෝෂිත දරුවන් 42,623 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 2344 ක් තොරතුරු දැනගැනීමේ පනතින් කළ හෙළි දරව්ව

By In
  • මොහොමඩ් ආසික්

ලෝකය මෙන්ම අපේ රටද 2020 වසරේ වෙලා ගෙන තිබූ කොවිඩ් 19 වසංගතය මෙන්ම ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයත් නිසා ‘මන්දපෝෂණය’  යන වචනය  මෑත කාලයේ  අපේ රටේ නිරන්තරයෙන් අසන්නට ලැබෙන වචනයක් වෙයි. පසුගිය වසර දෙකක් පුරා පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට ආහාර සපයා ගැනීමේ ශක්තිය හීන වීම නිසා සිය දරුවන්ට අවශ්‍ය ප්‍රමාණවත්  සහ පෝෂ්‍යදායි ආහාර ලබා  දීමට පවතින දුෂ්කරතා හේතුවෙන් රටේ දරුවන් අතර මන්ද පෝෂණය ඉහළ යමින් පවතින බව විශේෂඥයෝ සඳහන් කරති. කෙසේ නමුත් මේ සම්බවන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කරන්නේ  ඇතැම් පිරිස්  ප්‍රකාශ කරන මට්ටමට රට තුල මන්දපෝෂණයක් නොමැති බවත්  වෙනත් වර්ෂවලට සාපේක්ෂව එය ක්‍රමිකව අඩු වෙමින් පවතින බවත්ය.

අපේ රටේ බොහෝ ප්‍රදේශවලින් මන්දපෝෂණයේ  සෙවනැලි පසුගිය කාලය පුරාම දක්නට ලැබිණ. දරුවන් ජීවත් කරවන්නට දෙමාපියන් විසින්  ගස් ලබු මඤ්ඤොක්ක දළු වැනි දෑ ආහාරයට දුන් සිදුවීම්ද   මාධ්‍ය මගින් අපට අසන්නට ලැබිණ. ඇත්තටම අපේ රටේ දරුවන් අතර පවතින මන්දපෝෂණය කොයිතරම් බලපෑමක් ඇති කරන්නේද? මේ ඒ ගැන සොයා බැලීමකි. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 15 කගේ වයසට සරිලන බර නොමැති බවත් සියයට නවයකගේ වයසට සරිලන උසක් නොමැති බවත්ය. දරුවන්ට ආහාර ලබා දීමේදී ප්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාර ලබා දීම ඉතා වැදගත් බවත් අඩු වියදමකින් මෙන්ම නොමිලේ ලබා ගත හැකි පෝෂ්‍යදායි ආහාර අපේ වට පිටාවේ පවතින බවද  ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය පවසයි.

 ශ්‍රී ලංකාවේ මධ්‍යම  පළාත බොහෝ අතින් වැදගත් පළාතක් වෙයි. විවිධාංගීකරණ ජනතාවක් ජීවත් වන මධ්‍යම පළාත තුල වැඩි ආදායම් ලාභින් අඩු ආදායම් ලාභින් මෙන්ම සියලු ජාතින්ට අයත් ජනතාවද ජීවත් වෙති.  2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත මගින් මධ්‍යම පළාතේ දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි මේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් කළ තොරතුරු ඉල්ලීමකට අනුව  එහි තොරතුරු නිලධාරිණි එස්. සුභද්‍රා මහත්මිය විසින් එවා ඇති තොරතුරු අනුව මධ්‍යම පළාතේ මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 48 ක් තුල උග්‍ර මන්දපෝෂණයට ලක් වූ දරුවන් 2344 දෙනෙකු සිටින බව සඳහන් කර තිබේ. එම තොරතුරුවලට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 1070 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 496 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 778 ක් වශයෙන් මෙම සංඛ්‍යාවන් සටහන් වෙයි. 

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් කළ තොරතුරු ඉල්ලීමට එම දෙපාර්තමේන්තුව  විසින් ලබා දී ඇති තොරතුරුවලට අනුව පළාතේ මන්දපෝෂණය කොටස් හතරක් යටතේ වර්ගීකරණය කර ඇති අතර පළාතේ මධ්‍යස්ථ ඌණ  වර්ධනක් ඇති දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 8625 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 9113 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ 2094 ක් වශයෙන් පළාතේ 19,832 ක් සටහන්ව ඇති අතර  දැඩි ඌණ වර්ධනයක් සහිත දරුවන්  මහනුවර දිස්ත්‍රික්කයේ 1522 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 2614 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ 669ක් වශයෙන් පළාතේ 4805 ක් ලෙස සටහන් ව තිබේ. සාමාන්‍ය  උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 7222 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 4668 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ 3705 ක් ලෙසත් වන අතර එය පළාතේ 15,595ක් ලෙසද සඳහන්ව තිබේ. මෙයට අමතරව  උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් පළාතේ 2344 දෙනෙකු වාර්තා වන බවත් එහි සඳහන් වෙයි.

එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය විසින් 2023 වසරේ මුල් මාස තුලදී ශ්‍රී ලංකාව තුල කර ඇති සමීක්ෂණයකට අනුව ආර්ථික අර්බුදය සමඟ ඇති වූ ආහාර අර්බුදයට තවමත් මුහුණ දෙන පවුල් විශාල ප්‍රමාණයක් රට තුල සිටින බව ප්‍රකාශ කර තිබේ. එම පවුල්වල දරුවන් ගැබිණි මව්වරුන් මෙන්ම කිරිදෙන මව්වරුන් සඳහාද පෝෂණය ඉතා අවශ්‍ය බවත් යුනිසෙෆ් ආයතන ඔවුන් සඳහා උපකාර කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් සඳහන් කර තිබේ. 

මධ්‍යම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ  තත්වය සඳහන් වන්නේ මෙලෙසයි. 

මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ 86 ක්. බඹරදෙණිය 40 ක් දොළුව 48 ක් .ගලගෙදර 31 ක් .ගලහ 38 ක් .ගම්පොළ 66 ක් .ගඟඉහළ 46 ක් .ගඟවට කෝරළය 41 ක් .හසලක 39 ක් .හතරලියද්ද 22 ක් .මහනුවර නගරය 27 ක් කුණ්ඩසාලේ 33 ක් . මැදදුම්බර 46 ක් .මැණික්හින්න 56 ක්  පන්විල 26 ක් .පස්බාගේ කෝරළය 67 ක් .පූජාපිටිය 47 ක් .තලාතුඔය 35 ක් .උඩදුම්බර 23 ක් .උඩුනුවර 52 ක් .වත්තේගම 59 ක් .වැරැල්ලගම 78 ක් සහ යටිනුවර 70 ක් වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 1070 සඳහන් වෙයි. 

මාතලේ  දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපොෂණයෙන් පෙළෙන දරුවන් 496 ක් වාර්තා වී ඇති අතර එම දරුවන් සංඛ්‍යාත්මකව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් මෙලෙස සටහන්ව තිබේ.

අඹන්ගඟ කෝරළය 18 ක්,දඹුල්ල 74 ක් දඹුල්ල නගරය 74 ක් ගලේවෙල 85 ක් ලග්ගල පල්ලේගම 15 ක් මාතලේ 25 මාතලේ නගරය18 ක් නාවුල 16 ක් පල්ලේපොළ 44 ක් යටවත්ත 25 ක් විල්ගමුව 76 ක් උකුවෙල 52 ක් සහ රත්තොට 28 ක් වශ‌යෙන් මාතලේ දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව සටහන්ව තිබේ.

මධ්‍යම පළාතේ මෙන්ම දිවයිනෙන්ද මන්දපෝෂණය වැඩියෙන් වාර්තා වන දිස්ත්‍රික්කයක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහන් කළ හැකිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව 778 ක් වන අතර එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් මෙසේ සටහන් වෙයි. 

අඹගමුව 57 ක්, බගවන්තලාව 62 ක්, කොටගල 40 ක්, හඟුරන්කෙත 105 ක්, කොත්මහලේ 71 ක්, ලිඳුල 73 ක්, මස්කෙළිය 65 ක්, මතුරට 51 ක්, නවතිස්පනේ  28 ක්, නුවරඑළියේ 65 ක්, නුවරඑළිය නගරය 19 ක් සහ රාගල 87 ක් වශයෙන්  දිස්ත්‍රික්කයේ   උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 778 සටහන්ව තිබේ .

ළමා රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා  මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මන්දපෝෂණය මැනීමේ ක්‍රම තුනක් ඇති බවත් එකක් උස මැනිම බවත් තවකෙක් බර මැනීම බවත් එය ප්‍රස්ථාරයකට ගෙන උසට සරිලන බර බැලීම තුන්වැන්න බවත්ය .උස බර සහ කෘෂ බව නිසි ලෙස මැන බැලීම මෙහි ප්‍රධාන අංගය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර තිබිණ.

වතී. 

මධ්‍යම පළාතේ අප ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පළාතේ දරුවන් අතුරින් දරුවන් 42,623 දෙනෙකු පෝෂණ ඌණතාවයෙන් පෙළෙන අතර එයින්  මහනුවර දිස්ත්‍රික්කයේ 18,439 කි, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 17,222  ක් මාතලේ දිස්ත්‍රික්කයේ 6964 ක් වශයෙන් සටහන්ව තිබේ.

පළාත තුල සාමාන්‍ය ඌණ වර්ධිත දරුවන්  19,832 ක් සිටින අතර දැඩි ඌණ වර්ධිත දරුවන් 4805 ක්  මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,595 ක් සහ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 2344  ක්  පළාතේ දත්ත සටහන්වල සටහන්ව ඇති අතර සමස්ථ ඌණ පෝෂිත දරුවන් ගණන 42,623 ක් වෙයි.

මධ්‍යම පළාතේ ළමයින් අතර පවතින මෙම මන්දපෝෂණ තත්වයන්  විශ්ලේෂණය කිරීමේදී දිවයිනේ සමස්ථ තත්වය ගැන ද මනා චිත්‍රයක් ලබා ගත හැකියි.

  සෞඛ්‍ය අංශයේ බලධාරින් පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යලේඛණවලින් දරුවන් අතර පවතින මන්දපෝෂණයේ වර්ධනයක් පෙන්නුම් නොකරන බවත් එය සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම දක්නට ලැබෙන සංඛ්‍යාලේඛණලවට සමාන පවයි. ‍

එසේ වුවද දිවයිනේ එක් පළාතක් තුල දරුවන් 42,000 කට වැඩි ප්‍රමාණයක් ඌණ පෝෂිත දරුවන් වීමත් එයින් දරුවන් 2344 ක් ම උග්‍ර මන්දපෝෂණයට ලක්ව සිටිමත් සුළු කොට තැකිය නොහැකි බව නම් අපට වැටහේ.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *