Social, ප්‍රකාශන

ප්‍රාදේශීය සභාවල සේවය සහ පුරවැසි වගකීම

By In
  • මහේන්ද්‍ර රන්දෙනිය

පළාත් පාලන ආයතනවල ආරම්භය 1865 කොළඹ මහ නගර සභාව තෙක් දිව යන අතර 1866 දී කොළඹ, නුවර,  ගාල්ල, මහ නගර සභා බිහි විය. එවා නිදහස ලබන තෙක් පැවති අතර 1978 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දිවයිනේ පළාත් පාලන ක්‍රමය ආරම්භ කෙරිණි. ඒ අනුව  1991 දී පළමු  පළාත් පාලන මැතිවරණය පැවැත් විණි. 2018 තෙක් පාළාත් පාලන ආයතන 341 පැවති අතර ඉන් පසු මැතිවරණ ක්‍රමය සංශෝධනය වීම නිසා එතෙක් 4486 වූ සභිකයන් ගණන   8356 දක්වා වැඩි විය. වර්තමානය වන විට සේවක පිරිස ද විශාල ලෙස වැඩී වී ඇත. මෙසේ වැඩි වන සෑම පුද්ගලයෙකුටම වැටුප් ගෙවන්නේ ජනතා බදු මුදලිණි. මේ වැඩි වන සභිකයන්ගේ බරද දැරිය යුත්තේ ජනතාවයි.  අද වන විට පළාත් සභා හා ප්‍රාදේශීය සභා විසුරුවා හැර තිබුණත් සේවකයන් සඳහා වන වියදම  එසේම පවතී. 

අද මේ ඡන්දය ඉල්ලා කෑ ගසන්නේ ජනතාව නොව  දේශපාලන පක්ෂ නායකයන් හා අපේක්ෂකයන් ය. ජනතාව අමතන්නේ ඡන්ද අපේක්ෂකයන් නොව   පක්ෂ නායකයන්  හා මැති ඇමතිවරුන් ය. ඔවුන්ගේ අරමුණ ගම දියුණු කිරීම නොව රටේ බලය ඇල්ලීමය.  සියලුදෙනා එක්ව ඡන්දයක් ඉල්ලන්නේ  ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නොව තම ජනමතය උරගා බලන්නට ය.  පළාත් ඡන්දයට  රාජ්‍ය සේවකයන් 3000 පමණ නිවාඩු ලබා  ඡන්දයට ඉදිරිපත් ව සිටින බව කියවේ. මැතිවරණය කල් යෑම නිසා  ඔවුන්ට මූලික වැටුප පමණක් ගෙවීමට සිදු වී ඇත. නමුත් ඔවුන්ගෙන් ඉටුවන සේවයක් නැත.

 එසේම ගමේ බලය දිනාගත් පමණින් රටේ බලය දිනාගැනීම අසීරුය.  කිසිදු පක්ෂයක් අපේක්ෂකයෙක් තමන් බලයට පත්වී ගම නගරය සංවර්ධනය කරන  ආකාරය හෝ ජනතාවගේ ජන ජීවිතය ඉහළ නංවන  වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැත.  ඔවුන් කරන්නේ බලයේ සිටින පක්ෂයත් අනෙකුත් දේශපාලන නායකයන් විවේචනය කිරීමත්ය. 

ජනතාව පාර්ලිමේන්තුවට,පළාත් සභාවට, නගර සභාවට සහ ප්‍රාදේශීය  සභාවට මහජන නියෝජිතයන් පත් කර එවන්නේ  රටේ සංවර්ධනය උදෙසා ය. නමුත් අද වන  විට මේ මහජන නියෝජිතයන්    ගෙන යන ආර්ථික ප්‍රතිපත්ති හා දූෂණ වංචා රට බංකොලොත් විමට ප්‍රධාන් හේතුවක් වි  ඇත. මෙහි විපාක විඳින්නේ ඔවුන් පත් කළ  පිරිස පමණක් නොව සමස්ත ජනතාවයි.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව මා කළ විමසීමකදී දැනගැනීමට ලැබුන තොරතුරු අනුව මා පදිංචි    මැතිවරණ කොට්ඨාසයේ පිහිටි යටිනුවර ප්‍රාදේශීය සභාව 1988 අගෝස්තු 01 දින  පිහිටුවන ලදි.  දැනට වසම් අසූ නවයක වෙසෙන  102,000  ජනතාවගේ සේවය සඳහා පිහිට වූ ආයතනයකි. ප්‍රාදේශීය සභාවේ 2018 පෙර  සභිකයන්  22 සිටි අතර  අද එම සංඛ්‍යාව 45 දක්වා දෙගුණයකින් වැඩි වී ඇත. ඒ අනුව සභිකයන්ගේ වියදම ද දෙගුණයකින් වැඩි වේ.  එක් සභිකයෙකු සඳහා    රුපියල් පහළොස් දහසක මාසික වැටුපක් ලැබෙන අතර ඉන්ධන  හා දුරකතන  දීමනා ලෙස ලැබෙන රුපියල් 6,000 සමග රුපියල් 21,000 ක් මාසිකව ලැබේ. උප සභාපතිවරයාගේ වැටුප  රුපියල් 20,000 කි.  සභාපතිවරයට රුපියල් 25,000 වැටුපක් හා දුරකතන දීමනා හා ලිටර් 500  ඉන්ධන භාවිත කළ හැකිය.  මේ අනුව වසරකට සභිකයන්ට නඩත්තුව සඳහා එක්කෝටි පනස්   ලක්ෂයකට ආසන්න මුදලක් වැය වේ.

 බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා 2023  අය වැය මගින්  වර්ෂයකට සභිකයකුට සභා අරමුදලින් ලක්ෂ 4 හිමි වේ. මේ අනුව සභිකයන් 44 දෙනා  ඔවුන්ට  සභා අරමුදලින් ලැබෙන ප්‍රතිපාදන එක් කෝටි අසූ ලක්ෂයක  බෙදා දීම සඳහා රුපියල්  එක් කෝටි පනස් ලක්ෂයක  වැටුප් හා දීමනා ලබාගනී.  මීට අමතරව මහ සභා රැස්වීම් හා  කමිටු රැස්වීම් සඳහා තේ හා දිවා අහාර සඳහා ද මාස්පතා මුදලක් වැය වේ. සභාවේ සේවකයන් 105ක  ගේ  වැටුප් සඳහා මාසිකව රුපියල් ලක්ෂ හතළිස් නවයක් වන බව එහි සඳහන් වේ.

දැනට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීන් 46 දෙනකු සිටින අතර  අතිරික්ත සංවර්ධන නිලධාරීන් ගණන 26කි.  අතිරික්ත ආයුර්වේද කම්කරුවන් ගණන 01 කි. මේ තිස් දෙනාට ගෙවන  වැටුප ජනතා බදු මුදල් නිකරුනේ  විනාශ කිරීමකි.

එසේම ප්‍රාදේශීය සභාවේ සේවක හිඟය දොලොස් දෙනෙකි. තාක්ෂණ නිලධාරීන් ,ආදායම් පරීක්ෂක, වැඩ පරීක්ෂක , ඖෂධ සංයෝජක සහ  පුස්තකාල සහායක  යන අංශ සඳහා එක් සේවකයකු බැගින් ද වැඩ කෙෂ්ත්‍ර කම්කරු  හා   රියදුරන් තිදෙනා බැගින් හිඟ බව කියවේ.

ප්‍රදේශීය  සභාව කරන්නේ මධ්‍යම රජයෙන් ඉටු වන සේවාවෙන්  කොටසක් ඉටු කිරීම ය. මේ අනුව යටිතල පහසුකම්  සංවර්ධනය , කැළිකසල එකතු කිරීම, වරිපනම් බදු,  අක්කර බදු, බලපත්‍ර ගාස්තු,  ආදහනාගාරය පවත්වා ගෙන යාම , සේවා ගාස්තු එක්රැස් කිරීම් වේ. තවද,  නිවාස හා ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනු බෙදුම් ඉඩම් විකුණුම් බදු සහ සංවර්ධන බලපත්‍ර ගාස්තු වැනි ජනතාවට අවශ්‍ය සේවා රැසක් මේ ආයතනයෙන්  ඉටු කරයි.

එසේම ජනතාවට මහජන නියෝජිතයින්  නොමැතිව  ජනතාවට සෘජු සේවා සපයන ආයතනයකි. ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය  ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා  මධ්‍යම  රජයේ  මන්ත්‍රී  ප්‍රතිපාදනවලින් සිදු කෙරෙන සේවා  රැසක් ප්‍රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් සිදු කරයි.  එම සේවා කිරීම සඳහා යටිනුවර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් 350ක් සිටී.  මෙම ආයතනයේ ද එක් ගමකට එක් සංවර්ධන   නිලධාරියා බැගින් සංවර්ධන නිලධාරීන් ම 95 දෙනෙකු සිටි.

 මේ අනුව  ග්‍රාම සේවා වසම් 95කින් සමන්විත යටිනුවරට මැතිවරණ කොට්ඨාසයට ප්‍රාදේශීය  ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා  වශයෙන් සංවර්ධන නිලධාරීන් පමණක් 140 ක් සිටියි. දළ වශයෙන් මේ එක් අයකුගේ වැටුප 54,250 වුවහොත්  ඔවුන්ගේ වැටුප් සඳහා මාසිකව ලක්ෂ  80 කට ආසන්න  මුදලක් වැය වන  අතර වාර්ෂිකව කෝටි 09 කට වැඩි මුදලක් වැය කරයි. (ආයතනයේ අතිරික්ත සංවර්ධන නිලධාරීන් විසි හය දෙනකු නිකරුනේ වැටුප් ලබයි.)  මේ ආයතනය සේවකයන් 105ක්  හා ඡන්දයෙන් පත්වූ සභිකයන්  45ක්  සඳහා  දීමනා ගෙවයි.  නමුත් ගමේ පොදු මංමාවත් සාදා ඉවරයක් නොමැත. සභාව සතු මාර්ග ගැසට් කර පවරාගෙන නොමැත. අනවසර ඉදිකිරීම් දිනෙන් දින වැඩිවේ. එසේම සුසාන භූමි ප්‍රජා ශාලාවලට  අයත් බිම් ප්‍රමාණ මැන නිරවුල් කර නොමැත.

මා වෙත ලැබුන තොරතුරු අනුව යටිනුවර  ප්‍රදේශීය සභාවට සුසාන භූමි  45ක් හා ආදහනගාර  එකක් ඇත. නමුත් ඉන් කීපයකට යෑමට ප්‍රවේශ මාර්ග නොමැත. 

 1988 ස්ථාපිත කල ප්‍රාදේශීය සභාවට හා නගර සභාවට සුසාන භුමි, ක්‍රීඩා පිටි මැන සංවර්ධනය කිරීමට හා තම බල ප්‍රදේශයේ  ඇති මංමාවත් ගැසට් කර සභාවට පවරා ගැනීම  වසර 35ක් ගියද නොහැකි වී ඇත. නමුත්,  ප්‍රාදේශීය සභාව නවීන මහල් ගොඩනැගිලි දෙකක් ඉදි කර ඇත. කෝටි 22 පමණ ස්ථාවර තැන්පතු වලට හිමිකම් කියන අතර කෝටි හතරක පමණ වාර්ෂික පොලියක් ලබයි. අද වන විට නියෝජිත පිරිස දෙගුණයකින් හා සේවක පිරිස දස ගුණයකින් පමණ වැඩී වී ඇත.  කොතරම් භෞතික සම්පත් වලින් පොහොසත් වුවත්  තම කාර්ය ඉටුකිරීමට මේ ආයතන අපොහොසත් වී ඇත.

වර්තමාන මැතිවරණ ක්‍රමය අනුව ඡන්දයෙන්  පැරදුනත් පක්ෂයේ කැමැත්ත මත මන්ත්‍රී වරයකු ලෙස පත් කල හැක. කාන්තා නියෝජය 25% කි.  මේ අනුව ස්වාමියා හෝ පුතා ඡන්දයට ඉදිරිපත් වී පැරදුනත්  කාන්තා නියෝජනය අනුව දුවට හෝ බිරිඳට  ලැයිස්තුව තුළින් සභික ධුරයක් දැරීමට අවස්ථාව ලැබේ.  ඉන් සැබෑ ජනමතය ප්‍රාදේශීය සභාව තුළ ඉස්මතු නොවීම ද ගැටලුවකි.  වැඩි මන්ත්‍රීධූර ලබාගන්නා පක්ෂයට වඩා අඩු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂවලට  බෝනස් මන්ත්‍රීධූර ලැබීම නිසා ජයග්‍රාහී පක්ෂයට  සභා බලය පිහිටුවීමට විපක්ෂයේ  සහයෝගය ලබාගැනීමට සිදු වේ. උදාහරණයක් ලෙස පසුගිය යටිනුවර ප්‍රාදේශීය සභාවේ පොජපෙ සභිකයන් 22ක් පත්වූ අතර විපක්ෂයට  බොනස් සභිකයන් සමග 23ක්  ලැබීම නිසා  විපක්ෂයේ සහයෝගය ලබාගැනීමට සිදුවිය. මෙහිදී මන්ත්‍රීවරු මුදලට විකිණීමක් ද සිදුවන්නකි.

අයවැය යෝජනා තුළින් සෑම සභිකයකුටම ලක්ෂ හතරක මුදලක් වෙන් කලත් එම මුදල ව්‍යාපෘතිය හෝ   පක්ෂය මත වෙනස් වන බවට චෝදනා එල්ළවේ.

ප්‍රාදේශීය සභාවේ දූෂණය වංචාව ඉහළ ගොස් ඇති අතර කොන්ත්‍රාත්කරුවන් හා ජනතාව චෝදනා කරන්නේ ව්‍යාපෘතිවලට වැය කරන මුදලින් 5%ක් ඇතැම් සභිකයන් කොමිස් ලෙස ලබාගන්නා බවයි. එසේම තවත් 5%  රජයේ නියමය පරිදි ගොවි සංවිධාන හෝ  ග්‍රාම සංවර්ධන සමිතිවල ගිණුමට බැර වේ.  මේ නිසා ව්‍යාපෘතියට  වැය කරන මුදලින් 10% න් ව්‍යාපෘතිය සඳහා නොලැබේ. මීට අමතරව තාක්ෂණ නිලධාරීන්ට  කොන්ත්‍රාත් බාර ගන්නා ඇතැම් සමිතිවලට රුපියල් දහ පහළොස් දාහක් සන්තෝෂම් ගෙවිය යුතුය.  කොන්ත්‍රාත්කරුගේ ලාභය 25%ක්   වුවහොත්  ලක්ෂ පහක  ව්‍යාපෘතියකින් සංවර්ධන කාර්යයට යෙදවෙන්නේ ලක්ෂ තුනක පමණ  මුදලකි. ඇතැම්  සභිකයන් තමන්ට ලැබෙන ප්‍රතිපාදන වෙන් කරන්නේ ජනතා ඉල්ලීම්වලට වඩා පෞද්ගලික අවශ්‍යතා හිතවත්කම් මුල් කරගෙනය.

 උදාහරණ ලෙස ඇඹිල්මීගම උතුර වසමේ නිවැසියන් 30ක් පමණ ගමන් කරන සභාව සතු  නාය ගිය පාරක් සංවර්ධනය කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලීම් කළත්  එය ඉටු නොකර මංත්‍රීවරයා  කළේ  ලක්ෂ 8ක් වැය කර එම මාර්ගයේම අතුරු පාරක් සංවර්ධනය කිරීමය. එයට ප්‍රධාන හේතුව මන්ත්‍රීවරයා ජනතා ඡන්දයෙන් ගමෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු නොව සභිකයෙකු මියයාම නිසා  පත්වූ නියෝජිතයකු  වීමය.  එසේම ඔහු පවසන්නේ ලක්ෂ 20 ත් 30 ත් අතර මුදලක් නාය ගිය කොටසට ලබා දීමට ප්‍රතිපාදන නොමැති බව ය. 

 තොරතුරු දැනගැනීම පනත  අනුව එම මාර්ගය නාය ගොස් ඇති බව  ප්‍රාදේශීය සභාව   දැනුවත් ද යන මා ඇසූ පැනයට ලැබුණ පිළිතුර, දැනුවත් ය යන්න ය. 

 ජීවිත අවදානමකින්  තොරව මිනිසුන්ට පයින්වත් යාමට හැකි වන පරිදි 2023 වසරේ එම මාර්ගය සංවර්ධනය කරනවා ද පැනයට ලැබුණ පිළිතුර, 

2023 වසරේ එම මාර්ගය අලුත්වැඩියා කිරීමට යෝජනා වී නොමැති බවයි. (මෙයින් පෙනී යන්නේ වසම නියෝජන කරන සභිකයන් ජනතා ඉල්ලීම නොසලකා හැර ඇති බවයි.)

නමුත් මෙම මාර්ගයේ කැඩී බඳී ගිය අඩි 285 කොටසක් සංවර්ධන සඳහා කළ ඉල්ලීමට ලක්ෂ 5ක මුදලක් ලබා දිය හැකි බව සභාපතිවරයා වාචිකව පැවසීය.

එසේම තොරතුරු දැනගැනීමේ පනත අනුව මා කළ  ඉල්ලීමට අනුව යටිනුවර සංවර්ධනයට  හයකෝටි පනස් ලක්ෂයක මුදලක් වෙන්කර  ඇති බවත්   ඉහත කී මාර්ගයේ කැඩීබිඳී ගිය කොටස සංවර්ධනය සඳහා ලක්ෂ 05ක මුදලක් වෙන්කර ඇති බව  එහි සඳහන්  කර තිබිණි. මෙතරම් විශාල මුදලක් වෙන්කර තිබිය දී නාය ගිය බොක්කුව සෑදීමට ලක්ෂ 20 , 25ක්  වෙන් නොකිරීම පුදුම සහගත ය. 

මේ පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට දන්වා සතියකට පසු සභා අරමුදලින්  මේ සඳහා මුදල් වෙන් කර නොමැති නම් පළාත් සභා අරමුදලින් මුදල් වෙන් කිරීමට ඇස්තමේන්තු කර එවන ලෙස  ප්‍රදේශීය  සභාපති වරයාට යැවූ ලිපියේ   පිටපතක් මා වෙත එවා තිබිනි.  

ප්‍රාදේශීය සභාවෙන් ජනතාව කරන ලිඛිත ඉල්ලීම සඳහා ලිඛිත පිළිතුරු නොලැබේ. වාචිකව ලැබුණ පිිළිතුර වූයේ  ලක්ෂ 20, 25ක මුදලක් වැය කිරීම අසීරු බවත් 2023 වසරේ දී මාර්ග සංවර්ධනයට ලක්ෂ 5ක් ලබා දිය හැකි බවත්ය.  

එම පිළිතුරද මා වෙත ලිඛිතව ලබාගත හැකි වූයේ තොරතුරු දැන  ගැනීමේ පනත අනුව 2023 වසරේ ගමේ සංවර්ධනයට වෙන්කර ඇති මුදල් පිළිබද වීසීමේ ලිපියට පිළිතුරු ලෙස  ය. 

 ජනතා ඡන්දයෙන් පත්කරන නියෝජිතයන්   ජනතාවගෙ ගැටලු සදහා විසදුම් සොයන්නේ නැතිනම්,  මේ ආයතනවලට නියෝජිතයන් පත්කිරීමෙන් වෙන්නේ මුදල් නාස්තියක් පමණි.  දිගු කාලීන ජාතික ප්‍රතිපත්තියක් සංවර්ධන සැලැස්මක්, අරමුණක්  නොමැතිව පාලන බලය  පක්ෂවලට මාරැවීමෙන් සිදුවන්නේ ආර්ථික වශයෙන් රට බංකොලොත් වීමයි.  ඒ නිසා  ආර්ථික විශේෂඥයන්ගේ  විෂය ප්‍රවීණයන් එක්වී සැලසුම් කරන 20 අවුරුදු සැලැස්මකට  ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ හා මධ්‍යම රජයට නියෝජිතයන් පත්කර  එම සැලැස්ම ක්‍රියාත්මක  කිරීමේ වගකීම පමණක්  ඔවුනට පැවරිය යුතුය.

ඡන්දයෙන් නියෝජිතයන් පත්කිරීම ඡනතා අයිතියක් සේම   පත් වන සභිකයන් නිසි පරිදි තම කාර්යය ඉටු නො කරයි  නම් එම ආයතන නඩත්තුවට වැය කර මුදල් පිලිබදව ප්‍රශ්න කිරිමද පුරවැසි වගකිමකි.

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *