Social

ප්‍රජා සහභාගීත්ව පාලන සංකල්පය සහ ලංකාවේ පළාත් පාලන ආයතන

By In

චාමර සම්පත්

පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දූෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම උදෙසාය.  ප්‍රජා සහභාගීත්ව සංකල්පය මේවනවිට ලෝකයේ බොහෝ රටවල ක්‍රි යාත්මක වන අතර ලංකාවේ පළාත් පාලන ආයතන තුළද එය ක්‍රියාත්මක කළ යුතු බවට පළාත් පාලන පනත මගින්ම දක්වා ඇත. එසේ උවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවාදැයි යන්න ගැටලු සහගතය. පළාත් පාලන ආයතනවල ප්‍රජා සහභාගීත්ව සංකල්පය වර්ථමානයේ ක්‍රියාත්මක වන ආකාරය තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් සොයාබැලීමේදී ඒබව අනාවරණය විය.

පළාත් පාලන ආයතන වර්ග

 ලංකාවේ පළාත් පාලන ආයතන 341 ක් ඇති අතර ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතන වර්ග 03 ට බෙදා දක්වයි. ඒ අනුව මහ නගර සභා 24 ක් , නගර සභා 41 ක් සහ ප්‍රාදේශිය සභා 276 ක්  ලංකාව තුළ ස්ථාපිත කර තිබේ. මෙම එක් එක් පළාත් පාලන ආයතන තුළ ප්‍රජා සහභාගීත්ව තහවුරු කරගැනීම පිණිස විවිධ කමිටු පිහිටවිය යුතු බව 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ දක්වා ඇත.  ඒ අනුව මුදල් හා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කාර්මික සේවා කමිටුව , පරිසරය හා පහසු කමිටුව යන  කමිටු නිත්‍ය වශයෙන්ම පත්කළ යුතුව ඇති අතර අවශ්යතාවය අනුව තවත් කමිටු පත්කළ හැකිය. ලංකාවේ පළාත් පාලන ආයතන 341 තුළ මෙම කමිටු පිහිටුවා ඇති ආකාරය සහ ඒවායේ ක්රියාකාරීත්ව පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගනිමින් සොයාබැලූ අතර කුලියාපිටිය නගර සභාවේ කමිටු ක්‍රියාත්මක වන ආකාරය මේ තුළින් සාකච්ඡා කෙරේ.

ප්‍රජා සහභාගීත්ව සංකල්පය

ප්‍රජා සහභාගීත්ව සංකල්පය මූලික වශයෙන් මට්ටම් 03 ක් යටතේ දක්වා ඇත.ප්‍රජාවගේ පැමිණීම ,ප්‍රජාව සහභාගීවීම ,ප්‍රජාව මැදිහත්වීම ලෙස එය හදුන්වයි. වඩාත් ඵලදායි පාලන ක්‍රමයක් සඳහා ප්‍රජාවගේ මැදිහත්වීම පමණක් වැදගත් නොවන අතර සභාව කරන කටයුතු වලට සහභාගී වීමද කළයුතු වන්නේය. 

 ප්‍රජා සහභාගීත්වය නිසා මුල්‍යමය වියදම් අවම කරගැනීමට හැකිවීම , කාර්ය හා දේපොළ තමන්ගේය යන පොදු හැගීම ප්රජාව තුළ ඇතිවීම , ආරක්ෂාව සහ නඩත්තුව පොදු සමාජය සතුවීම , සාමුහිකත්වය එකමුතුබව හා පුරවැසි යුතුකම් ජන සමාජය තුළ වර්ධනය වීම මෙන්ම ඵලදායීතාවය සහ යහපාලනය උදාකරගැනීමට ද හැකියාව ඇති බව එය ක්රියාත්මක කිරීමෙන් හදුනාගෙන ඇත. 

කුලියාපිටිය නගර සභාවේ ක්‍රියාත්මක වන කමිටු

ප්‍රාදේශිය සභා පනත මගින් දක්වා ඇති පරිදි නියත වශයෙන්ම ක්රියාත්මක විය යුතු කමිටු 04 ට අමතරව තවත් කමිටු 03 ක් කුලියාපිටිය නගර සභාව ක්රියාත්මත කරයි. ඒඅනුව  කුලියාපිටිය නගර සභාව ක්රියාත්මක කරන කමිටු වන්නේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව , නිවාස හා  

ප්‍රජාසංවර්ධන කමිටුව , කර්මාන්ත කමිටුව , ඝණ අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව , පුස්තකාල උපදේශන කමිටුව ,  සෞඛ්ය පරිසර පොදු පහසුකම් කමිටුව ,  සහ ප්‍රසම්පාදන කමිටුවයි. ප්‍රජා සහභාගීත්වයෙන් යුතුව මෙම කමිටු ක්රියාත්මත විය යුතු උවද නගර සභාවේ සභිකයින්ට අමතරව අනිකුත්  සමාජිකයින් හෙවත් ප්‍රජාව නියෝජනය කරන්නේ කමිටු දෙකක පමණි. එයත් මුලික කමිටු වලින් බාහිරව ඇති ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව  සහ පුස්තකාල උපදේශන කමිටුව සඳහා පමණි.

මෙම කමිටුව රැස්වීම සහ ක්රියාත්මකවීම මෙන්ම සමාජිකයින් පිළිබඳව ද විස්තර මේසේය,

ක්‍රියාත්මක කමිටුසභික සමාජිකයින්රැස්වී ඇති දින ගණනසභිකයින්ට අමතරව සිටින සමාජිකයින් ගණන
01මුදල් හා ප්‍රතිපත්ති කමිටුව1106
02නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව0805
03ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව040511
04පුස්තකාල උපදේශන කමිටුව160110
05සෞඛ්‍ය පරිසර පොදු පහසුකම්කමිටුව0702
06ප්‍රසම්පාදන කමිටුව1106
07කර්මාන්ත කමිටුව0705

කුලියාපිටිය නගර සභාවේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව මගින් විවිධ ප්‍රසම්පාදනයන්යන්ට අදාළ කාරණා සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධ යෝජනාවලීන් සභාවට ඉදිරිපත්කර අනුමැතියද ලබාගෙන තිබේ. එසේ උවද එම කමිටුවේ මහජන නියෝජනයක් ප්‍රජා දායකත්වයට නොමැත.

නිවාස සහ ප්‍රජා සංවර්ධන කමිටුව මගින් විවිධ සමාජීය කටයුතු රැසක් පිළිබඳව තීන්දු තීරණ ගෙන තිබේ. ඒවා සියල්ල මහජනතාව වෙත බලපාන යහපත් තීන්දුය.  එමෙන්ම ප්‍රජාවගේ අදහස් ද ලබාගනිමින් එය ක්රියාත්මක කළේනම් තවදුරටත් අතිසාර්ථක තීන්දු තීරණ ලබාගැනීමට හැකිවනු ඇත.

කුලියාපිටිය නගර සභාවේ ප්‍රජා දායකත්ව ලබාගෙන ක්රියාත්මක වන සාර්ථකම කමිටුව ලෙස ඝන අපද්‍රව්‍ය කළමණාකරන කමිටුව සඳහන් කළ හැකිය. ප්රදේශවාසීන් , පරිසර නිලධාරීන් , ඝණ අපද්‍රව්‍ය නිලධරීන් , ගොවිජන සේවා නිලධාරීන් සභික මන්ත්‍රිවරුන් ඇතුළු විවිධ පාර්ශව මෙම කමිටුවට සහභාගීකරවාගෙන තිබේ.

 ඝන අපද්රව්ය මධ්යස්ථාන තුළ පොහොර නිෂ්පාදනය , ඒවායේ ගුණාත්මක භාවය , අතුරුමාර්ග වල අනිසි ලෙස කසල බැහැර කිරීම ,  කසල එකතුකිරීම විධිමත් කිරීම , දියර පොහොර නිෂ්පාදනය සම්බන්ධව මෙන්ම ප්රදේශවාසීන්ගේද අදහස් ලබාගැනීමට එම කමිටුව කටයුතු කර තිබේ. ඒ සම්බන්ධ යෝජනා සභාවට ඉදිරිපත්කර සම්මත කරගත් යෝජනා මේවනවිට ක්‍රියාත්මකවෙමින්ද පවතී. එය ඉතා සාධනිය තත්වයකි.

කෙසේ වෙතත් නගර සභාව තුළ පිහිටවන කමිටු සම්බන්ධයෙන් සහ එම කමිටුවලට ප්‍රජාදායකත්වය ලබා නොගැනීම සම්බන්ධයෙන් කුලියාපිටිය නගර සභාවේ ලේකම් එච් එම්.කේ.පී හේරත් මහතාගෙන්  විමසීමේදී සඳහන් කරන ලද්දේ ප්‍රජාව සහභාගී කරගැනීමේ අඩුවක් තිබෙන බව තමා පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත්ය. එමෙන්ම නගර සභාවේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් මෙන්ම කමිටුවල ඇතැම් කාරණා සම්බන්ධයෙන්ද මහජනතාව සම්බන්ධ කරගැනීමට මහජනතාව වෙත දැනුවත් කිරීම් කළද ඒ සම්බන්යෙන් මහජතාව ද දක්වන උනන්දුව අල්ප බව හෙතෙම සඳහන් කළේය.

හිටපු පළාත් පාලන කොමසාරිස් එන්.ඒ.ධර්මසිරි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුයේ පළාත් පාලන පනත් අනුව සියලුම පළාත් පාලන ආයතන කමිටු ස්ථාපිත කළ යුතු බවත් ඒ වෙත ප්‍රජාව සහභාගී කරවාගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ය. සුපිලිපන් සේවයක් පවත්වාගෙන යාමට මහජනතාව සහභාගීකරවා ගැනීම වැදගත් බවත් ඒ හරහා පළාත් පාලන ආයතනයන් හි පාලන කටයුතු කරගෙන යාම ඉතා පහසුවන බවත්ය. එමෙන්ම දුෂණය වංචාව පිටුදැකීමට සාර්ථකම ක්රමවේදය ප්‍රජා සහභාගීත්ව සංකල්පය බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පළාත් පාලන ආයතන තුළ කාර්යන් කරගෙන යාම සහ අනුමැතියන් ලබාගැනීම රෙගුලාසි සම්මත කරගැනීම ආදිය සිදුකරනු ලබන්නේ සභාපති ප්‍රමුඛ සභා රැස්වීම් හරහාය. ඒ තුළ අදහස් දැක්වීමට හෝ මැදිහත්වීමට වෙනත් පාර්ශවයන්ට නොහැකියි. මේ හේතුවෙන් සභාවට උපදෙස් ලබාදීම සඳහා කමිටු සංකල්පය ක්රියාත්මක වේ.  කමිටුවල සාකච්ඡා කරන දෑ යෝජනා ආදිය වාර්තා මගින් සභාවට යොමුකිරීම සිදුකරයි. තත්වය එසේ උවද අදාළ කමිටුවලද ප්‍රජා සහභාගීත්වයක් නොමැතිව සභිකවරුන් පමණක් සමාජිකයින් වේ නම් පණතේ අපේක්ෂිත අරමුණු ඉටුවේදැයි සැක සහිතය. 

Social

මගී ආවරණ වලට මුදල් වෙන් නොවූ 2022 මුදල් වර්ෂය

රටක විධිමත් පොදු ප්‍රවාහනය  යනු ශරීරයේ සෛල පද්ධතිය මෙනි. බහුතර පුරවැසියන් තමන්ගේ දෛනික කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන බැවින් රටක…

By In
Social

වසර හයක් තුළ ළමුන් 142 ක්, කාන්තාවන් 499ක් මරුට! ළමුන් 7,758 ක් සහ කාන්තාවන් 14,023 කට ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

කේ. ප්‍රසන්න ලංකාව තුළ 2016 වසරේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය තුළ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 31,810 ක් සහ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *