Uncategorized

තොරතුරු පනතට වසර 5යි

By In

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාවයට පත්වී  අදට වසර 5ක් සපිරෙයි.2016 අගෝස්තු මස 04 වන දින, 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනතට ගරු කතානායකවරයා අත්සන් තැබීමත් සමග ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම බලාත්මක වූ අතර පනතේ විධිවිධාන අනුව පොදු අධිකාරීන් විසින් තොරතුරු ලබාදීමේ කටයුතු අරඹන ලද්දේ 2017 පෙබරවාරි මස 03 වැනිදා සිටය.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකමක් වශයෙන් සැලකෙන තොරතුරු දැනගැනීමේ අයිතිය  ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අප ලද  මහගු ජයග්‍රහණයකි.  පසුගිය පස් වසර

 පුරාවට මහජනතාව විවිධාකාරයෙන්   මෙම පනතෙහි ඵල ප්‍රයෝජන භුක්ති විඳි අවස්ථා පිළිබඳ  නිදර්ශන රැසක් ඉතිහාසයට එක්ව තිබේ.

ගමේ පාර සකසා ගැනීමට , ගමට ජලය,විදුලිය ලබා ගැනීමට, තම අධ්‍යාපන සුදුසුකමට අදාළ රැකියාවක් ලබා ගැනීමට, සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබා දීඇති ආකාරය ගැන දැනගැනීමට, වැනි පුද්ගලික ජීවිතයට අදාළ කරුණු කාරණාවල සිට සංවර්ධන සැලසුම්,  සංවර්ධන කාර්යයන් සඳහා වෙන්වූ මුදල් සහ ඒවා වැයකර ඇති ආකාරය විමසීමට, මහජන මුදල් අවභාවිතයට සහ දූෂණයට ලක්වන අවස්ථාවලදී ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු විමර්ශනය කිරීමට,රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින්ගේ වගවීම පිරික්සීමට, දේශපාලනඥයින් සහ නිලධාරීන්ගේ තීරණ ගැන දැනගැනීමට යනාදී

 ආණ්ඩුකරණයට අදාළ ප්‍රමුඛ කාර්යයන් වෙනුවෙන් කරන පුරවැසි මැදිහත් වීම් දක්වා පුළුල් පරාසයක් ආවරණය කෙරෙන  නිදසුන් රැසක් ඒ අතර වෙයි.එසේ වුවද වසංගත තත්ත්වය ඇතුළු පසුගිය වකවානුවෙහි සිදුවූ බොහෝ දෑ කරණකොටගෙන මෙම පනතේ භාවිතය, මෙහි වැදගත්කම, මෙහි විස්වාසනීයත්වය  පිළිබඳ මතකය  ජනතාව තුළින් ටිකෙන් ටික දුරස්වී යන බවක් දක්නට ලැබේ.

තොරතුරු දැනගැනීමේ පනතෙහි පස්වෙනි සංවත්සරය අරභයා, තොරතුරු අයිතිය පිළිබඳව ජනතාව තවදුරටත් දැනුම්වත් කිරීම උදෙසා  පසුගිය 19 සහ 20 යන දිනයන්හි දී  නාරාහේන්පිට, කොළඹ කොටුව, බොරැල්ල යන ප්‍රදේශවල තොරතුරු පනත පිළිබඳ මහජන හමුවීම් සහ අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක්  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙහි දී අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින්ගේ කුඩා නියැදි කිහිපයක් ඇසුරින්  පනත පිළිබඳ  දැනුම්වත්භාවය ගැන අප කළ විමසීමේදී ලැබුණ ප්‍රතිචාර වලින්  පෙනී ගියේ  සියයට 70 කට අධික පිරිසක්  තවමත් තොරතුරු පනත පිළිබද නොදන්නා බවයි. සියයට 15ක පමණ පිරිසක් එවැනි පනතක් පිළිබඳ අසා තිබූ නමුත් ඔවුන්ට ඒ සම්බන්ධ පැහැදිලි දැනුමක් නොතිබිණි. තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීමේ  ක්‍රියාවලිය  පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණේ ඒ අතරිනුත් සුලු ප්‍රමාණයකට පමණි.ඇතැමෙකුට ඒ පිළිබඳ  දැනුමක් තිබූ නමුත් එම ක්‍රියාවලිය ගැන විශ්වාසයක් නොතිබිණි. අපගේ අහඹු සාම්පලයට හසුවූ පිරිස අතර තොරතුරු අයිතිවාසිකම භාවිත කර තිබුණේ  සියයට 4ක් පමණි. ඒ අතර සමහරු සාර්ථක ලෙස මෙම අයිතිවාසිකම භාවිතකර තොරතුරු ලබාගෙන තිබුණත්, ඇතැමෙක් පැවසුවේ තමන් තොරතුරු ඉල්ලා සිටියත් අවශ්‍ය  තොරතුරැ ලබා ගැනීමට නොහැකි වූ බවය.

අපගේ නිරීක්ෂණයන්ට හසුකරගන්නා ලද්දේ මගතොටේදී හමුවන විවිධ මට්ටම්වලට අයත් ස්ත්‍රී,පුරුෂ,තරුණ, වැඩිහිටි පුරවැසියන් අතරින් කුඩා කණ්ඩායමකි.කෙසේ වෙතත් තොරතුරු අයිතිවාසිකම බලාත්මක වී වසර පහක් ගතවීමෙන් පසුවත් පුරවැසියන් අතරින් විශාල ප්‍රතිශතයක් පනත පිළිබඳව නොදැන සිටීම කිසිසේත්ම සෑහීමට පත්විය හැකි තත්ත්වයක් නොවේ.එයින් පෙනීයන්නේ තවදුරටත් පුරවැසි සමාජය දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවයයි.එසේම පනත පිළිබඳව පුරවැසි විශ්වාසය  වර්ධනය කිරීමේ අවශ්‍යතාවයද මහජන ප්‍රතිචාර අනුව ප්‍රමුඛ කරුණක් ලෙස සැලකිය යුතු බව පෙනේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අනුව තොරතුරුවල අයිතිය ඇත්තේ මහජනතාවටය.එම අයිතිවාසිකම භාවිත කරමින් පාලනයට සක්‍රීය ලෙස සහභාගීවීම මහජනතාවගේ  අයිතිවාසිකමක් මෙන්ම පුරවැසි යුතුකමකි.

තොරතුරු පනතෙහි සක්‍රීය බව රදා පවතින්නේ පුරවැසි  ඔබගේ සහ අපගේ භාවිතය මත ය.එය මහජන යහපත වෙනුවෙන් භාවිත කළහැකි ඉතා වටිනා මෙවලමකි. අපි තොරතුරු පනත දැනුම්වත්ව භාවිත කරමින් එම අයිතියේ අසිරිය භුක්ති විඳිමු. තොරතුරු අයිතිවාසිකම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ලබාදී ඇති මූලික අයිතිවාසිකමකි.

Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In
Uncategorized

‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්…

By In
Uncategorized

කොවිඩ් එන්නත සහ රට​ ගමන්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද පීඩාවට පත්ව තිබෙනු දැකගත හැක​. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය…

By In
Uncategorized

අපි අයිති කාටද?

ලෝකය කෙතරම් ක්‍ෂේත්‍රවලින් දියුණු වුවත්, තවමත් ලෝකයේ බොහෝ තන්හි මිනිසුන් ජීවත් වන්නේ නිවාස, ජලය, වැසිකිලි, විදුලිය පවා නොමැතිව ය. විශේෂයෙන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *