Uncategorized

අලි රැඳවුම් මධ්‍යස්ථාන මර උගුලක් වෙයි, මන්ද පෝෂනයෙන් අලි මියයයි

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

   ලංකාවේ අලි මිනිස් ගැටුම වැඩිවීම  කෙරෙහි බොහෝ සෙයින් බලපා  ඇත්තේ වන අලින්ගේ වාස භුමි අහිමි වීම තුළ ඉතිරි වී තිබෙන රක්ෂිත ප්‍රදේශයන්හි ජිවත්වන වන අලින්හට ප්‍රමාණවත් ආහාර නොතිබීයි.

  මේ ආකාරයෙන් ආහාර සොයා ගම් වදින වන අලින් හේතුවෙන් සිදුවන අලිමිනිස් ගැටුමට පිළියම් සොයා වන අලින් අල්ලා  ගාල් කරන ලද හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මිය ගිය වන අලින් 16 දෙනාගෙන් අලින්   10 දනෙකු මියගොස්  ඇත්තේ මන්දපෝෂණ තත්වයෙන් බව  තොරතුරු දැනගැනීමේ පනත භාවිත කොට  වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත්  වන අලින්ගේ මරණ පරීක්ෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් අනාවරණය විය.

මේ ආකාරයෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ලංකාවේ අලි මිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්ක 13ක් මගින්  වන අලින් අල්ලා ගෙනැවිත් දමනු ලැබුවත් මේ වනවිටත්  වන අලින් ආහාර සොයා මිනිසුන් විසින් බලහත්කාරයෙන්  අත්පත්කරගත් තම වාස භූමි තුලට මෙන්ම ඉන් එහාට ගිය ප්‍රදේශයන්ට ද සංක්‍රමණය වීම හේතුවෙන් ඇති වන අලි මිනිස් ගැටුම නිසා  වන අලින්ගේ  ජීවිත මෙන්ම මිනිසුන්ගේ ජීවිත ද අහිමි වීම සීග්‍රයෙන් වැඩි වෙමින් තිබේ.

  බලධාරීන් අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන් විසඳුම් හොයන අලි මිනිස් ගැටුම නිසා  2020 වර්ෂයේ පමණක් අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 327ක් මෙන්ම මිනිස් ජීවිත 205ක් අහිමි වී තිබේ. එමෙන්ම 2021 ජුලි 25වන දා වනවිට ඒ අයුරින් සිදු වූ අලි මිනිස් ගැටුමෙන් වන අලින් 205ක් මෙන්ම මිනිස් ජීවිත 83ක් අහිමි වී තිබෙන බව වනජීවී  දෙපාර්තමේන්තුව තහවුරු කරයි. එයම  ඉහත ප්‍රකාශය තහවුරු කිරීමට කදිම නිදසුනකි.

ආහාර සොයා ගම්වදින වනඅලින් විවිධ මානව ක්‍රියා හේතුවෙන් මියයන පසුබිමක සිදුකළ යුත්තේ  අලි ඇතුන්ගේ වාසස්ථාන, ආහාර සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම මෙන්ම පාරිසරික තුලනය තහවුරු කිරීම වැනි විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කිරීම බවයි වන අලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු  වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.  නමුත් ඒ වෙනුවෙන් වන අලින් අල්ලා නිසි ආහාර ක්‍රමවේදයන් නොමැති ස්ථානයන්හි කොටු කිරීම වැනි අසාර්ථක ක්‍රමවේදයන් තුලින් සිදුවී ඇත්තේ වන අලින්හට හාමතේ මියයෑමට ය. එයට කදිම නිදසුන් සපයන්නේ හොරොව්පතාන  අලි රැඳවුම් මධ්‍යස්ථානයයි.

  කලහකාරී හැසිරීම් මෙන්ම මිනිස් ජීවිත සඳහා හානිකළ බව පවසමින් දිවයිනේ නොයෙක් ප්‍රදේශ තුල සිටින වන අලින් අල්ලා හොරොව්පතාන  අලි රැඳවුම් මධ්‍යස්ථානය ආරම්භ කෙරුණේ 2015 සැප්තැම්බර් 03 වනදා  මාතලේ පළාපත්වල දී අල්ලාගත් වයස අවුරුදු 35ක පමණ හා උස අඩි අටකුත් අඟල් 6ක් වූ වන අලියා 2015 සැප්තැම්බර් 04වන දා සිරකිරීමත් සමඟ ය. අවසන් වරට අලියෙකු ඊට මුදා හැර ඇත්තේ 2021  පෙබරවාරි මාසයේ ය. ඒ අනුව මේ වනවිට වන අලින් 64 දෙනෙකු මෙහි රඳවා  තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වන ජීවී දෙපාර්තමේන්තුව මගින් 2021.01.13 දිනැතිව  ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.

  ලංකාවේ වන අලි කළමනාකරණය වෙනුවෙන් මෙන්ම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට යැයි පවසමින් ඉදිකෙරුණු මෙම වන අලි රැඳවුම් මධ්‍යස්ථානය හුදෙක් අසාර්ථක එකක් පමණක් නොව එය වන අලින්ගේ සිර ගෙයකටත් එහා ගිය වදකාගාරයක් මෙන්ම එය වංචනික ක්‍රියා රාශියක් සිදුවූ ස්ථානයක්  වීම බරපතල ගැටලුවක් වුවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමුවී නොමැති වීම කණගාටුවට කරුණක් වේ.

දේශපාලන බලපෑම්

    ” දේශපාලන අධිකාරියෙන් සහ ජනතාවගෙන් බලපෑම් තිබුණා ගම්  වදින දරුණු   අලි අල්ලා ගෙනියන්න කියලා. මුල් කාලීනව මේ අලින් ගෙනිහින් දැම්මේ වෙනත් වනජීවී උද්‍යානවල. නමුත් මේ ආකාරයෙන් ගෙනිහින් දාන අලින්ට මොකද වෙන්නේ කියල බලන්න රේඩියෝ කරපටි දැම්මා. එකේ දත්තවලට අනුව ඒ අලි එක්කෝ තමන් හිටපු ප්‍රදේශවලට එන්න හදනවා. එහිදී එන මාර්ගයේ දී මිනිසුන් සමඟ ගැටෙනවා වැඩියි.මොකද අලින් තමන්ගේ සුපුරුදු වාසස්ථානවලට කැමතියි. මේකෙන් සිද්ද වුනේ අලියා විතරක් නොවේ අලියයි ප්‍රශ්නයයි දෙකම මාරු කරපු එක. වනජීවී දෙපාර්තමේන්තුව විදියට අලි රැදවුම් මධ්‍යස්ථානයක් හදන්න අරගෙන තියෙන්නේ ඒකට පිලියමක් ලෙස ” බව වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන අචාර්ය  සුමිත් පිලපිටිය මහතා පවසා සිටියේය.

අචාර්ය  සුමිත් පිලපිටිය

      හෙක්ටෙයාර 998ක (වර්ග කිලෝමීටර් 9.98) කුඩා භූමි ප්‍රමාණයක්  තුළ  වන අලින් විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් සිරකිරීම නිසා   එම සතුන්හට  අවශ්‍ය ආහාර  නොමැති බව මෙන්ම ආහාර නොමැතිව හාමතේ   වන අලි මියැදෙන බව අවස්ථා කීපයකදී හෙළි කරනු ලැබුවත්  (https://www.lankaviews.com/horowpathana ) ඒ සම්බන්ධයෙන් වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් 2021.මාර්තු මස 23අවන දා සිදුකළ විමසීමකදී ඔහු විසින් එය ප්‍රතික්ෂේප කර සිටියේය. එහිදී ඔහු කියා සිටියේ ”අපි මේ සතුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හොයල බැලුව ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ තුළින් කියන්නේ ආහාර තියෙනවා කියල. දැන් ආහාර දීම නවත්වල තියෙන්නෙත් ඒකේ ඇතුලෙ ඇතිතරම් ආහාර තියෙන නිසා.” බවයි

  එවන් පසුබිමක මේ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බැලීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව අයදුම්පත්‍ර  යොමුකරමින් වනජීවී දෙපාර්තමේන්තුව මගින් හොරොව්පතාන  අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මියගිය වන අලින් 16 දනෙකු  සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මරණ පරීක්ෂණ වාර්තා ලබා ගත් අතර එම වන අලි 16 දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් තහවුරු වුයේ එම 16 දෙනාගෙන් අලින් 10 දෙනෙකුම මියගොස් ඇත්තේ මන්දපෝෂණය (Malnutrition) තත්වයෙන් බවයි. එමෙන්ම විදුලි සැර වැදීමෙන් අලින් 03 දනෙකු මියගොස් ඇති අතර වෙඩි තැබීමෙන් අලින් 03 දෙනෙකු ද මියගොස් තිබේ. 

වන අලින් මියගිය අයුරු

  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා  2012/3/17 දිනැති අංක 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව හෙක්ටයාර 997 ක රුපියල් මිලියන 345 ක් වැය කරමින් සිදුකළ මෙම ඉදිකිරීමට පාරිසරික බලපෑම් වාර්තාව ලැබාගත යුතුව තිබුණ ද එවැන්නක් ලබාගෙන නොතිබීම මෙන්ම 2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදයේ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි තිස් දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700ක කොන්ත්‍රාත්තුවක් පිරි නමා තිබුණත්  සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය හෝ අලි ඇතුන් ඒවා ආහාරයට ගන්නට රුචිවේ ද යන්න සලකා බලා නැති බව මෙන්ම  එහි සිදුව ඇති මහා පරිමාණ වංචාවන් රැසක් ගැන 2020 ඔක්තෝම්බර් මස නිකුත් කර ඇති විගණකාධිපතිවරයාගේ  අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන   වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

  එමෙන්ම එම විගණන වාර්තාවට අනුව ආහාර හිගයෙන් මියගොස් ඇත්තේ වන අලින් 05 දනෙකු වුවත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ දී මියගිය වන අලින්ගේ මරණ පරීක්ෂණ වාර්තා පරික්ෂා කිරීමේදී 2014 වර්ෂයේ සිට 2019 වර්ෂය තුලදී පමණක් වන අලින් 09 දෙනෙකු ආහාර හිඟය නිසා ඇති වූ  මන්දපෝෂණ තත්වයෙන්  මියගොස් ඇති බව තහවුරු වේ.

  පසුගිය 2015 වර්ෂයේ  රජය සමයේ විවෘත කරනු ලැබූ හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත වසර 06ක කාලයක දී වන අලින් 64 දෙනෙකු පමණ එහි රැඳවීමට කටයුතු යොදා ඇතත් එම වන අලින්ගෙන් 2021 අගෝස්තු 15වන දා වන විට ඉතිරිව ඇත්තේ වන අලි 18ට අඩු ප්‍රමාණයක් බව නම හෙළි කිරීමට අකමැති එහි සිටින වනජීවී නිලධාරියෙකු කියා සිටියේ ය.

 මේ වනවිට  රැඳවුම් මධ්‍යස්ථානය තුළ අලි 45 දෙනෙකු සිටිය යුතු වුවත්  එම අලින් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව තුළ සැලකිය යුතු තොරතුරු නොමැති බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් 2021 ජනවාරි 13 දිනැතිව ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය.

    එමෙන්ම දැනට එහි  ජීවත්ව සිටින අලින් ද මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ද නම හෙළි කිරීමට අකමැති වනජීවී  නිලධාරියෙකු කියා සිටියේ ය. මෙම මන්දපෝෂණ තත්වයට  එක් හේතුවක් වන්නේ 2019 සිදුකළ විගණනයෙන් පසුව සිට මේ දක්වා වන අලින්හට බාහිරින් ලබාදෙන සොච්චම් ආහාර වේල ද අහිමි වීමයි. ”..ආහාර දීම නවත්වල තියෙන්නෙත් ඒකේ ඇතුලෙ ඇතිතරම් ආහාර තියෙන නිසා.” බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා 2021.මාර්තු මස 23 වන දා සිදුකළ විමසීමකදී ප්‍රකාශ කරන ලදී.

  2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදයේ දී  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි තිස් දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ.

 මේ ආකාරයෙන්  සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය හෝ අලි ඇතුන් ඒවා ආහාරයට ගන්නට රුචිවේ ද යන්න සලකා බලා නැති බව ද ඒ අනුව පැහැදිලි වේ.  ඒ පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නොමැති බව ද අදාල විගණන වාර්තාවෙන් හෙළි වෙයි.

  වන අලින්ට ආහාර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබාගත් නිස්සංක මහතාගෙන් 2021 මාර්තු මස 23 දින  කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ  ” මම අලින්ට ආහාර ලෙස ලබාදුන්නේ කොස් කොල , නුග වැනි දේවල්. නමුත් ඒ වන විට ඒ අලින් කන්න පුරුදුවෙලා තිබුණේ බඩ ඉරිගු කෙසෙල් වැනි දේවල්. ඒ නිසා තමයි උන් කෑම ගත්තේ නැතුව ඇත්තේ.” බවයි

 එමෙන්ම එම කාලය තුල දී මියගිය වන අලින්ගේ මරණ පරීක්ෂණ වාර්තා ද පරික්ෂා කර බැලීමේදී පෙනී යන්නේ එම කාලයේදී ද   මන්දපෝෂණ තත්වයෙන් වන අලින් දෙදෙනකු මියගොස් ඇති බවයි..

   හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ දී අලින් මියයෑමේ ආසන්නම සිදුවීම වාර්තාවන්නේ 2021.07. 12 දින වේ. එසේ මියගොස් ඇත්තේ 2018 ජුලි 02වන දින පුත්තලම සිමෙන්ති ගම ප්‍රදේශයෙන් අල්ලාගන්නා විට දී වයස වුරුදු 30ක් පමණ  මෙන්ම උස (8′ 6”) අඩි අටකුත් අගල්  6ක් වූ ඇතා ය. එම ඇතා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානට ගෙනැවිත් දැමීමෙන් පසු  මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව මීටපෙර අවස්ථාවක දී ”අද” පුවත්පත

(https://www.ada.lk/breaking_news/%E0%B7%84%E0%B7%9Cරොව්පතාන-අලි-රැඳවුම්-මධ්%E2%80%8Dයස්ථානයේ-කෑමෙන්-ගසා-කෑමක්/11-376934 ) මගින් අනාවරණය කරන ලදී. නමුත් එවැනි තත්වයක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නොලැබීම හේතුවෙන්  ඇතාට බඩගින්නේ මියයෑමට සිදුව තිබේ. එම ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ 2021.07.14දා ය.

  එමෙන්ම 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාලය තුල දී හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සුපෝෂණ කටයුතු වෙනුවෙන් වසර හතරක කාලයකදී රුපියල් ලක්ෂ 81කට අධික මුදලක් (8187986.2) ලබා දී ඇතත් වන අලින් මන්දපෝෂණ තත්වයෙන් මිය යාම තුලින් පෙනී යන්නේ එම ප්‍රතිපාදන වන අලින්ගේ සුපෝෂණය වෙනුවෙන් නිසි අයුරින් යොදවා නොමැති බවයි.

2015 සිට 2020 දක්වා වෙන්කළ ප්‍රතිපාදන

අහාර හිඟය

  කෙසේ නමුත් වන අලින්  ආහාර නොමැතිව මියගිය කාල වකවානු Google Earth හරහා  පරික්ෂා කිරීමේදී  මනාව පෙනී යන්නේ එම කාලය, ප්‍රදේශයේ දැඩි ශුෂ්ක කාලගුණ තත්වයක් පැවති කාලයක් බවයි. එහිදී තිබෙන කුඩා වැව් හතර තුල ද ජලය සිඳී යමින් තිබෙන බව නිරීක්ෂණය කරගැනීමට හැකි විය.

” මම වනජීවී  අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මෙතනට ගියාම මට දැනුණේ ඇයි මේ වගේ තැනක් තෝරාගත්තේ කියන එක ගැනයි. මොකද අපි කරපු පර්යේෂණ අනුව ප්‍රථමක ,ද්විතියික  වනාන්තර පද්ධතියක ඒ කියන්නේ උස ගස් තියෙන යටිරෝපණය අඩු වනාන්තර පද්ධතියක  අලින්ගේ ඝනත්වය වර්ග කිලෝමීටරයකට 0.2ක් පමණ.  ඒ වගේම ලඳු කැලේ හේන් පිටිය වැනි ප්‍රදේශවල අලින්ගේ ඝනත්වය වර්ග කිලෝමීටරයකට 3ක් පමණ වෙනවා. ඒ අනුව පැහැදිලි වෙනවා ප්‍රථමක ,ද්විතික  වනාන්තර අලින්ට සුදුසු පරිසරයක් නොවන වග. මොකද කෑම මදි. හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයත් ප්‍රථමක ,ද්විතික  වනාන්තර ලක්ෂණ තිබෙන තැනක්” බව ද  අචාර්ය  සුමිත් පිලපිටිය මහතා අවධාරනය කරයි.

  ප්‍රදේශවාසියෙකු වන  ඩබ්ලිව් .ජේ අමරජීව මහතා ද ඒ බව තහවුරු කරන ලදී. ” ජුලි ඉඳලා සැප්තැම්බර් දක්වා කාලය තුල මෙහාට වර්ෂාව නෑ. ඒ කාලෙට මෙහෙ  විශාල  වැව් අමුණුවල පවා වතුර අඩුවෙනවා. එහෙම බලනකොට හොරොව්පතානේ අලි රැඳවුම් මධ්‍යස්ථානයේ තියෙන පොඩි වැව් කොහොමත් හිඳෙනවා. සතුන්ට ඒකේ කන්න නැතිවෙනකොට කොහොමහරි උන් අලි වැට කඩාගෙන ගම්වදිනවා. නැත්නම් ඒකෙම මැරෙන්න වෙනවා. ඒකේ ඇතුලෙදි සතුන්ට මොනවා වෙනවද කියල අපි දන්නේ නෑ. ”

     අචාර්ය සුමිත් පිලපිටිය මහතාට අනුව   වනාන්තරයක ජීවත්වන  වැඩුණු අලියෙකු දිනකට කිලෝමීටර 20ත් 25ත් අතර ප්‍රමාණයක් ගමන්කරන අතර  වනගත මද කිපුණු වන  අලියෙකු සාමාන්‍යයෙන් කිලෝමීටර් 60ක් පමණ දිනකට ගමන්කරනු ලබයි . නමුත් හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සමස්ත විශාලත්වය වන්නේ හෙක්ටෙයාර 998 (අක්කර 2466) ක තරම් කුඩා භූමි ප්‍රමාණයකි. මෙහි වන අලි කොටුකිරීම තුළ එම සතුන්ගේ ස්වභාවික හැසිරීම් රටාව නිදහසේ ජීවත්වීමේ අවකාශය ද  සම්පුර්ණයෙන්ම අහුරා තිබේ.

කන්න නැතිව මැරුණු අලි

   වන අලියෙකු හට දෛනිකව  කිලෝග්‍රෑම් 200ක් 300ක් පමණ ආහාර   ලබාගත යුතු බව වන අලින් සම්බන්ධයෙන් පර්යේෂකයෙකු  වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. මෙය ද්විතික ලක්ෂණවලින් යුත් වනාන්තර කොටසක් බැවින් එහි ඇති ආහාර ප්‍රමාණය මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ  ඇති ශාක මගින් ලබාගැනීමට නොහැකි බවයි ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා ද පෙන්වා දෙන්නේ. එවන් පසුබිමක පිටතින් ආහාර සැපයීම සිදු කිරීම අනිවාර්ය වේ. නමුත් මේ වන විට එය නතර කර තිබීම හේතුවෙන්   මෙහි සිටින වන අලින් ආහාර හිඟයකින් ජීවත්වන බව අමුතුවෙන් පෙන්වා දීමට කාරණයක් නොවේ.

ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා

  මේ ආකාරයෙන් මියගිය වන අලින්ගේ මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම ඡායාරූප පරික්ෂා කර බැලීමේදී වන අලීන්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් යම් නිගමනයකට පැමිණිය හැකිවූ අතර එහිදී  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඔලගම්පිටිය  යන ස්ථානයේ 2021/පෙබරවාරි 04 දින  මියගොස් සිටිය දී හමු වූ වන අලියා සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ 2021/පෙබරවාරි 06වන දා බවත් එම වන අලියා 2018 නොවැම්බර් මස 25වන දා මහියංගනය මාපාකඩ ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියාට සමානකම් ඇති බව ද හෙළි වී තිබේ.

2018 නොවැම්බර් මස 25වන දා මහියංගනය මාපාකඩ ප්‍රදේශයෙන් අල්ලන විට වන අලියාගේ උස අඩි 8කුත් අඟල් 9ක් වී ඇති අතර වයස අවුරුදු 35ත් 40ත් අතර බවත් 2021/පෙබරවාරි 06වන දා මිය යනවිට උස අඩි 9ක් හා වයස අවුරුදු 40ක් පමණ බව ද වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් ද තහවුරු වන දෙයකි.

එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව මගින්  තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදුන්  තොරතුරු අනුව අලින්ගේ උස, වයස මෙන්ම ඇල්ලු  හා  මියගිය දිනයන්  සම්බන්ධයෙන් සිදුකරන ලද දත්ත විශ්ලේෂණයේ දී  මන්දපෝෂණය හේතුවෙන් මියගිය වන අලින් කිපදෙනෙකු හඳුනාගැනීමට හැකි විය.

   ඒ අතර  2015 සැප්තැම්බර් 03වන දින මාතලේ පලාපත්වල දී ඇල්ලු වන අලියා , 2015.සැප්තැම්බර් 16 දින පින්නවල අලි අනාථාගාරයෙන් ගෙන එන ලද වන අලියා , 2015.11.12 නිකවැරටිය වම්බටුවැව ප්‍රදේශයෙන් අල්ලාගෙන ගෙනැවිත් දැමු වන අලියා , 2015 දෙසැම්බර් 19 දින තලාව මොරගොඩ ප්‍රදේශයෙන් අල්ලාගනු ලැබූ වන අලියා , 2016.නොවැම්බර් 17 අනුරාධපුර පුරවසම්කුළම ප්‍රදේශයෙන් අල්ලාගනු ලැබූ වන අලියා, 2016.නොවැම්බර් .25 දින විලච්චිය මන්නාරම හන්දියෙන් ඇල්ලු වන අලියා , 2017. අප්‍රේල් 17 දින තණමල්විල මීගස්වැව ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියා, 2017 මැයි 03වන දා සූරියවැව දිමුතුගම ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියා , 2016 ජනවාරි 23 අනුරාධපුර කටුකැලියාව ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියා, 2016.අගෝස්තු 11 දින සූරියවැව ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියා, 2016, දෙසැම්බර් 04 දින අම්පාර උහන වීරගොඩ ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියා ඇතුළු වන අලින් හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී ආහාර නොමැතිව හා වෙනත් හේතුන් නිසා මියගිය වන අලින් අතර වෙති.

ඒ අතර  2015 සැප්තැම්බර් 03 වන දින මාතලේ පලාපත්වල දී ඇල්ලු වන අලියා

2016.අගෝස්තු 11 දින සූරියවැව ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියා

2016, දෙසැම්බර් 04 දින අම්පාර උහන වීරගොඩ ප්‍රදේශයෙන් ඇල්ලු වන අලියා

   .

 මේ හේතුවෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී  මෙසේ මිය ගිය  සියලු වන අලින් පිරිමි සතුන් වීම මෙහිදී කැපීපෙනන දෙයක්වේ. විශේෂයෙන්ම  ප්‍රචණ්ඩ අලි යනු වන අලින් අතර ශක්තිමත් ජාන ඇති සක්‍රිය  වන අලින් වන අතර එවැනි සතුන් මෙලෙස කොටු කිරීම නිසා ගැහැණු සතුන් හා ලිංගිකව එක්විමේ අවස්ථා උන්ට අහිමිවෙයි. මෙය අලි ගහණය කෙරෙහි ඍජුවම බලපාන අතර ශක්තිමත් අලින්ගේ ජාන පරම්පරාවක් අහිමි වීමට හේතු වීම ද එයට සෘජුවම බලපාන බවද ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

   හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී  මන්දපෝෂණ තත්වයෙන්  වන අලින් මියයෑම  සම්බන්ධයෙන් වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර  මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එහි වැරදි අන්තර්ගතයක් ඇති බවයි ” ඒ සතාගේ සියලුම දත් කූට්ටන් ටික ගෙවිලා ගිහිල්ල ඒ සතාට ආහාර ගන්න බැරිව මිය ගිහින් තියෙන්නේ එහෙම නැතිව සතාට ආහාර හිඟ වීමක් නොවෙයි. අපි අලින්ගේ ශරීර තත්වය සලකා බලා තමයි කෑම දෙනව ද නැත්තේ කියලා තීරණය කරන්නේ. එහෙම නැතිව නිකන් කෑම දෙන්නේ නෑ. අපි බැලුවාම ඔය විදියට දුර්වල නෑ, මේක විද්‍යාත්මක වැඩක් වනජීවී දෙපාර්තමේන්තුව මේක හරියට කරන්න දන්නවා.” යනුවෙනි.

වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර  මහතා

දත් ගෙවිලා අලින්ට කන්න බැරිවෙනවාද ?

  වනජීවී දෙපාර්තෙමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර  මහතා පවසන ආකාරයට  හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී අහාර නොමැතිව  මියගිය වන අලින් මියගොස් ඇත්තේ එම වන අලීන්ගේ දත් කුට්ටම් ගෙවී යාම නිසා  ආහාර  ගැනීමට නොහැකි වීමෙනි. නමුත් මරණ පරීක්ෂණ  වාර්තාවලට අනුව  මියගිය සියලු වන අලින් වයස අවුරුදු 30 ත් 45ත් අතර වයස් කාණ්ඩ වළ පසු වූ අලි වෙති.

එහිදී මෙතරම් අඩු වයසකින් මේ ආකාරයෙන් අලින්ගේ දත් ගෙවී යාම නිසා ආහාර ගැනීමට නොහැකිව අලින් මිය යනවාද  යන්න පිළිබඳව ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතාගෙන් කළ  විමසීමක දී ඔහු කියා සිටියේ මෙවන් අදහසක්,

 ”  අලින්ගේ පළමු දත් දෙක බොහොම පොඩියි. හයවන දත් සෙට් එක ඉතා විශාලයි. පළමු දත් දෙක කිරිදත්වලට සමාන කරන්න පුළුවන්. ඒක තියෙන්නෙ මාස කීපයක් වෙන්න පුළුවන්. ඊ ළග දත් දෙක අවුරුද්දක් වෙන්න පුළුවන්. ඊ ළඟ දත් දෙක ඊට වැඩි කාලයක් වෙන්න පුළුවන්. කෙසේ හෝ සතාගෙ ජීවිත කාලය තුළම දත් පාවිච්චි වෙනවා. එම දත් ගෙවෙද්දි තණකොළ වැනි දේවල් කනවා නම් වැඩිපුර ගෙවෙනව. ගස්වල අතුකනවා නම් ගෙවෙනවා අඩුයි. මොකද තණකොළවල සිලිකා තියෙන හින්දා. සාමාන්‍යයෙන් කැලේ ඉන්න අලි අවුරුදු 50ක් 60ක් දක්වා ජීවත් වෙනවා. නමුත් දත් ඔක්කොම වැටෙන්න නම් අවුරුදු 80ක්වත් ජීවත්වෙන්න වෙනවා අලියෙකුට. කැලෑවෙ එච්චර කලක් අලි ජීවත් වෙන්නෙ නැහැ.

 ”ඒ විදියට ජීවිත කාලය තුළ දත් සෙට් 06ක් විතර එනවා. එම දත් සෙට් හයම පාව්ච්චිකරලා ගෙවිලා යනකන් සතා ජීවත් වුණොත් න්‍යායාත්මකව  අපිට හිතන්න පුළුවන් සතා කන්න නැතුව මැරෙයි කියලා. කෑම හරියට හපා ගන්න බැරි හින්දා කෑම කන්න නැතුව මැරෙයි කියලා. නමුත් දැනට වයස අවුරුදු 70ක් ඉක්ම ගිය අලින්ගෙත් හයවන දත් සෙට් එක නැතිවෙලා නැහැ. මම දැනට වසර 30ක් පමණ අලි ගැන පර්යේෂණ කටයුතු කරලා තියෙනවා. එතකොට අපිට තවම හම්බවෙලා නැහැ ස්වාභාවිකව මැරුණු අලින්ගේ අන්තිම දත් යුගල නැතිවුණු අලියෙක්.”

  හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මේ ආකාරයෙන් මන්දපෝෂණය හේතුවෙන් සාගින්නේ වන අලින් මියැදෙන විටත් දිවයිනේ විවිධ රක්ෂිත ප්‍රදේශයන්හි සිටින වන අලින් දේශපාලන මෙන්ම විවිධ බලධාරීන්ගේ උවමනාවන් වෙනුවෙන්  යලි යලිත් මෙහි ගෙනැවිත් සිරකිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්  කටයුතු කිරීම මගින් සිදුවන්නේ සිරගතවී සාගින්නේ වන අලින්හට මියදෙන්නට ය. ඒ ආකාරයෙන් සිරකිරීමට ගිය උඩ වලවේ රම්බෝ හස්තියා උඩවලව රක්ෂිතයේ තවමත් ජීවත්වන්නේ රම්බෝ හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිරකිරීමට එරෙහිව  පරිසරවේදීන්ගේ, පරිසර හිතකාමී ජනතාවගේ  මෙන්ම ප්‍රදේශයේ නායක හිමිවරුන්ගේ විරෝධතාවය දැක්වූ නිසාවෙනි.

   මේ ආකාරයෙන්ම වන අලි රැඳවුම් මධ්‍යස්තනයක් ලුණුගම්වෙහෙර වනෝද්‍යානය තුල ද ඉදිකිරීමට මේ වනවිට කටයුතු කරමින් තිබෙන අතර ඉන් සිදුවන්නේ ද මේ ආකාරයෙන්ම වන අලින්ට කන්න නැතිව මියදෙන්නට නම් එය ලංකාවේ  අලි සම්පත කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන දෙයක් නොවේද?

”තවත් මේ වගේ එකක් හදනව නම් මේකේ තිබුණ අඩුපාඩු හඳුනාගෙන පර්යේෂණ කරලා කරන්න ඕන කියන එක තමයි මගේ මතය. අනෙක් කාරණය තමයි අලි රැඳවුම් මධ්‍යස්ථාන ඕන වෙන්නේ අපි අලි මිනිස් ගැටුම නිසියාකාරව විසඳන්නේ නැති නිසා. නමුත් අලුතින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් හදන කොට ඒ පරිසර පද්ධතිය භාවිත කරන අලින්ට මොකද වෙන්නේ කියල අධ්‍යයනය කරලා නෑ. ඊට පසේ ඒ අලිත් ගම වදින්න පටන් ගනිවී. ඒ නිසා අපි ඒකත් අධ්‍යයනය කරන්න ඕන”. බව ද ආචාර්ය සුමිත් පිලපිටිය මහතා අවධාරණය කරයි.

Uncategorized

ඔන්ලයින් අධ්‍යාපනය ගැන තොරතුරු විමසූ පාසල් 229කින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 12ක් පමණයි

බහුතරයක් විදුහල්පතිවරුන් තොරතුරු පනත ගැන දන්නේ නෑ.  කලාප අධ්‍යාපන කාර්යාල 25කින් තොරතුරු ලබාදී ඇත්තේ 3ක් පමණයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   …

By In
Uncategorized

කොවිඩ් ආධාරවලට මොකද වුනේ?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම…

By In
Uncategorized, පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා පන්නරය ලබන පොළොන්නරුවේ ගොවි ජන අරගල

එස්. එම්. මනෝජ්“මේ පොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහ පොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *