පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

By In

වියදම රුපියල් ලක්ෂ 388යි

ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම් නියෝජිතයන් මැදිහත්ව එය දේශපාලනීකරණය කරනු ලැබූ බවට බොහෝ දිස්ත්‍රික්කවල තරුණ නායකයින් මෙන්ම දේශපාලඥයින්ගෙන්ද චෝදනා එල්ල විය.‍ ඒ කුමන හෝ ක්‍රමවේදයක් මත තරුණ නායකයින් තෝරාගැනීමෙන් පසුව,  ජාතික තරුණ සේවා සභාව (NYSC) මගින් සංවිධානය කරන ලද ‘Youth Club’ ජාතික තරුණ සමුළුව 2025 අගෝස්තු 12 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම දැවැන්ත ජාතික වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාව විසින්  දරන ලද සමස්ත වියදම රුපියල් මිලියන 38.8කි. (රු. 38,834,217.64) මෙම පිරිවැය පිළිබඳව ගැඹුරු මූල්‍ය හා පරිපාලනමය විමර්ශනයක් කිරීම වැදගත් වේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දී ඇති දත්ත විශ්ලේෂණය කිරීමේදී, සමුළුවේ මූල්‍ය සැකැස්ම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ තරුණ නායකයින් තෝරා ගැනීමේ යාන්ත්‍රණය පිළිබඳව වැදගත් කරුණු රැසක් හෙළි වේ.

සමුළුවේ මූල්‍ය සැලැස්ම සහ වියදම් ව්‍යුහය

 තරුණසේවා සභාව ලබාදුන් තොරතුරු අනුව, ජාතික තරුණ සමුළුව වෙනුවෙන් දරන ලද මුළු වියදම රුපියල් 38,834,217.64 ක් වන අතර, මෙම මුදල ප්‍රධාන කාණ්ඩ කිහිපයක් යටතේ වෙන් කර ඇත. සමස්ත වියදමෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ටී ෂර්ට් සැපයීම සඳහා වන අතර එය රුපියල් එක්කෝටි දහඅට ලක්ෂ දොළොස්දහස් පන්සියකි. (11,812,500.00)  එය උත්සවයේ සමස්ත වියදමින් 30.42%ක් තරම් විශාල පිරිවැයකි.

අදාළ ලේඛන පෙන්වන්නේ, ජනාධිපති, මැති ඇමතිවරුන් හා වෙනත් ප්‍රභූවරුන්  200කට ආසන්න පිරිසකගේ සංග්‍රහ කටයුතු  සඳහා රු. 525,000ක්, වියදම් කර තිබෙන බවටය. ඒ අනුව එම එක් පුද්ගලයෙකු වෙනුවෙන් එදින සංග්‍රහ කටයුතු සඳහා පමණක් රුපියල් 2625.00ක මුදලක් යොදවා තිබේ. මෙහි වැදගත් කරුණක් නම්, ජනාධිපතිවරයා විශේෂයෙන් මෙම උත්සවයට සහභාගී වී සිටියත් මෙම සංග්‍රහයට සහභාගී නොවීමයි. උත්සවයේ කටයුතු සඳහා පැමිණි නිලධාරීන් සඳහා රු. 536,445.50ක් වෙන් කර ඇති අතර, එය ප්‍රභූ සංග්‍රහය සඳහා වැය වූ මුදලට ආසන්න අගයකි. එමෙන්ම තරුණ තරුණියන් 7,500ක් ඇතුළු අනෙක් අයගේ සංග්‍රහ කටයුතු සඳහා රු. 2,196,000ක් වැය කර ඇත. අතර එහිදී සමුළුවට සහභාගී වූ තරුණ නායකයින්ගේ නිශ්චිත සංඛ්‍යාව සඳහන් නොවුණත්, ටී ෂර්ට් සකස් කර ඇත්තේ 7,500ක් සඳහා බැවින්, සහභාගි වූ තරුණ පිරිස දළ වශයෙන් එම අගයට ආසන්න යැයි සැලකිය හැකිය. ඒ අනුව තරුණ තරුණියන් 7,500 දෙනෙකුගේ සංග්‍රහ කටයුතු සඳහා වැය කර ඇත්තේ එක් අයකුට රුපියල් 292ක් වැනි මුදලකි. කෙසේ නමුත් මේ ආකාරයෙන් සිදුකර තිබෙන සමස්ත සංග්‍රහ වියදම් මුළු වියදමෙන් 9.3%ක් පමණ වේ. මේ අගය අතිශය වැඩි බව පෙනෙන්නේ, මෙවන් රාජ්‍ය වැඩසටහන් සඳහා පැමිණෙන රටේ මධ්‍යම පන්තියේ තරුණයන්ගේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගත් විට ය.

 තරුණ නායකයන්ගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ලෙස, ප්‍රවාහන වියදම් (16.92%) සහ වේදිකා /සැරසිලි (15.72%) වැනි සෘජු මෙහෙයුම් වියදම්වලට වඩා ටී ෂර්ට් සඳහා වැඩි මුදලක් වෙන් කිරීමේ ප්‍රමුඛතාව ගැටලුසහගය.

එමෙන්ම අනෙකුත් (මුද්‍රණ, පුටු/හට්, වීඩියෝ ඇනිමේෂන්, භාෂා පරිවර්තන කට්ටල, නිවේදන/භාෂා පරිවර්තන, අවශ්‍යතා සේවා, නිලධාරි ගමන් වියදම්/අතිකාල) සදහා රුපියල්  1,207,606.14   මුදල් වැයකර ඇති අතර එය සමත වියදමින් රුපියල් 3.11%කි.

වැය විෂයමුදල (රු.)සමස්ත වියදමෙන් ප්‍රතිශතය (%)
ටී ෂර්ට්11,812,500.0030.42%
සහභාගික ප්‍රවාහන වියදම්6,570,020.0016.92%
වේදිකා, සැරසිලි, විදුලි ආලෝකකරණය6,105,000.0015.72%
ආහාර4,852,465.0012.49%
ශබ්ද සේවා3,200,000.008.24%
සංග්‍රහ3,257,445.508.39%
කොඩි පතාක1,274,400.003.28%
ඉන්ධන459,781.001.18%
අනෙකුත් (මුද්‍රණ, පුටු/හට්, වීඩියෝ ඇනිමේෂන්, භාෂා පරිවර්තන කට්ටල, නිවේදන/භාෂා පරිවර්තන, අවශ්‍යතා සේවා, නිලධාරි ගමන් වියදම්/අතිකාල)1,207,606.143.11%
එකතුව38,834,217.64100.00%

සංග්‍රහ වියදම් – ප්‍රභූ, නිලධාරී සහ සහභාගිකයන් අතර වෙනස

සමස්ත සංග්‍රහ (Refreshments and Catering) වියදම රුපියල් 3,257,445.50 ක් වන අතර, එය “ආහාර” (රු. 4,852,465.00) වියදමට අමතරව වෙනම ගණනය ඇති බව පෙනේ. මෙම සංග්‍රහ වියදම වෙන් වෙන්ව විශ්ලේෂණය කිරීමේදී, වියදම් කළමනාකරණයේදී අනුගමනය කර ඇති පිළිවෙත කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

සංග්‍රහ කාණ්ඩයමුදල (රු.)වියදම් කළ පිරිස
ජනාධිපති, මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, ප්‍රභූවරුන්, ආරාධිත අමුත්තන්525,000.00200 කට ආසන්න පිරිසක් (ජනාධිපති සහභාගී නොවීය)
උත්සවයේ කාර්යයන් සඳහා පැමිණි නිලධාරීන්536,445.50නිලධාරීන්
තරුණ තරුණියන් ඇතුළු ඉහත අය හැර අනෙකුත් අය2,196,000.00තරුණ තරුණියන් සහ අනෙකුත් අය
එකතුව3,257,445.50 
  
  

මිලියන 11.8ක ටී ෂර්ට්

මෙම සමුළුව වෙනුවෙන් පැමිණි තරුණ තරුණියන් වෙනුවෙන්  ටී ෂර්ට් සැපයීම සඳහා සමස්ත වියදමෙන් තුනෙන් එකකට ආසන්න මුදලක් (30.42%) වැය කර තිබීම මෙහි ඇති ප්‍රමුඛතම කරුණකි. සමුළුවේ විශාලතම වියදම (රු. 11,812,500.00) දැරූ ටී ෂර්ට් 7,500 සැකසීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ටෙන්ඩර් කැඳවීමක් හරහා සිදු කර ඇති බව තහවුරු වුවත් එහි ඇති විනිවිදභාවය සම්බන්ධයෙන් ඇති ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් විගණනයක් කිරීමට කටයුතු කරමින් සිටින බව තරුණ සේවා සභාවේ අභ්‍යන්තර තොරතුරු මගින් දැනගන්නට ලැබේ. කෙසේ නමුත් සමුළුව වෙනුවෙන් සහභාගි වූ සියලු තරුණ තරුණියන් වෙනුවෙන් එදිනම ටී ෂර්ට් සැපයීමට නොහැකි වී ඇති අතර එය අවස්ථා කීපයකදී සිදු කරනු ලැබූ බව ඒ සඳහා සහභාගිවූවෝ පවසති.

 ටී ෂර්ට් 7,500 ක් නිපදවීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, එකක් රු. 1,575කට සැපයීම සඳහා ලංසු තැබූ CHAYA TEX ආයතනයට එම ටෙන්ඩරය  ලබා දී ඇත. ලැබී ඇති තොරතුරු අනුව, ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇති බව ලේඛන පෙන්වුවද, මූල්‍ය තීරණය හා ලංසු ඇගයීමේ වගු අතර ඇති මිල වෙනස්කම් පිළිබඳ විවෘත ප්‍රකාශයක් නොමැතිවීම විනිවිදභාවයට අභියෝගයකි.

උදාහරණයක් ලෙස, Captain Promotion ආයතනයෙන් රු.1,750ක් ලෙස ලංසු ලබාදී ඇති නමුත් Cosmos Sports ආයතනයෙන් රු.1,375ක මිලක් ඉදිරිපත් කර තිබේ. නමුත් එම ආයතනයේ VAT සඳහා අමතර 18%ක මුදලක් වූ විට ටී ෂර්ට් එකක මිල රුපියල් 1,622කි. එහෙත් අවසාන වශයෙන් තෝරාගත් CHAYA TEX ආයතනයේ මිල රු.1,575කි.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය (2.11.3) යටතේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවක් විසින් ටෙන්ඩර් ක්‍රියාවලිය මෙහෙයවා ඇති අතර .සැපයුම්කරුවන්ගේ නාම ලේඛන සහ ‘Rainbow Pages’ හරහා මිල ගණන් කැඳවා ඇති බවත්  ආයතන 4 කින් මිල ගණන් ලබා දී ඇති බවත් ජාතික තරුණසේවා සභාව ලබාදුන් තොරතුරු මගින් අනාවරණය වේ. ඒ අනුව CHAYA TEX ආයතනය (පන්නිපිටිය, හෝකන්දර පාර) විසින් ටී ෂර්ට් 01 ක් සඳහා රු. 1,575.00 බැගින් මුළු මුදල රු. 11,812,500.00 කට සැපයීම සඳහා වූ යෝජනාව ප්‍රසම්පාදන මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ටෙන්ඩර් මිල වගුවේ විශ්ලේෂණය:

ආයතනයඒකකයක මිල (රු.)මුළු මිල (වැට් රහිත – රු.)මුළු මිල (වැට් සහිත – රු.)
Captain Promotion1,750.0013,125,000.0015,487,500.00
Cosmos Sports Solutions (PVT) Ltd1,375.0010,312,500.0012,168,750.00
Vilka Apparels1,845.00
CHAYA TEX1,575.0011,812,500.00

 දිස්ත්‍රික් මට්ටමේ කටයුතු සහ නායකයින් තෝරාගැනීම

දිස්ත්‍රික් මට්ටමින් පැවති“Youth Club” දිස්ත්‍රික් සමුළු සඳහා ජාතික තරුණ සේවා සභාව විසින් සෘජුවම මුදල් ලබා දීමක් සිදු කර නොමැති බව වාර්තා වේ. මෙයින් අදහස් වන්නේ, දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් හෝ සමුළු පැවැත්වීමට අවශ්‍ය වූයේ නම්, එම වියදම් දරා ඇත්තේ වෙනත් ආයතන, අනුග්‍රාහකයන් හෝ අදාළ දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති Youth Club මණ්ඩල මගින් විය හැකි බවයි. එහෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 337ක  තරුණ නායකයන්  තෝරාගැනීමේ නිලවරණ කටයුතු සඳහා  රු. මිලියන 4.9 ( 4,938,450.0) ක් වියදම් කර තිබෙන බව අනාවරණය වේ. ජාතික තරුණ සේවා සභාව සඳහන් කරන්නේ, ග්‍රාමීය මට්ටමේ Youth Club විධායකයින් අතරින් ප්‍රාදේශීය මණ්ඩල මඟින් තෝරාගත් අය දිස්ත්‍රික් මණ්ඩල මඟින්, ජාතික මණ්ඩල නියෝජිතයින් ලෙස තෝරාගත් බවයි. “Youth Club” ජාතික සමුළුව සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත්තේ ජාතික මණ්ඩලය, දිස්ත්‍රික් මණ්ඩලය, ප්‍රාදේශිය මණ්ඩලය සහ Youth Club විධායක නිලධාරීන්ටය.

“Youth Club” සමුළුව රටේ තරුණයන් එකතු කළත්, එය සැබෑ තරුණ ප්‍රතිපත්ති සංවර්ධනය අරමුණු කර ගත් එකක් නොව, බලය දරන අයගේ දේශපාලන අරමුණු මුල් කරගත් එකක් බවට තරුණ නායකයන් වෙතින්ම දැඩි විවේචන එල්ල විය. ඒ අනුව රු. මිලියන 38.8 ක් වැය වූ මෙම “Youth Club” ජාතික තරුණ සමුළුව මඟින් පෙනී යන්නේ, එය පොදුවේ තරුණ පරපුරේ උන්නතිය සඳහා වන ප්‍රතිපත්ති සංවර්ධනයට වඩා, හුදු ප්‍රචාරාත්මක හා සංදර්ශනාත්මක කාර්යයකට ලඝු වී ඇති බවයි. මෙවන් උත්සව සඳහා යොදන මුදල්, තරුණයන්ගේ අනාගත අභිවෘද්ධියට හේතු වන පුහුණු වැඩසටහන්වලට හෝ තාක්ෂණික නවෝත්පාදන ක්‍රියාමාර්ගවලට යොදවන්නේ නම් බෙහෙවින් ඵලදායක වනු ඇත.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *