පුවත්

IMF සමග කතා කරන්න වොෂින්ටන් ගිය නිලධාරීන් වෙනුවෙන් රු. මිලියන 18ක් වැය කරලා

By In
  • මහ බැංකුවේ නිලධාරීන් 4කට වියදම රු. මිලියන 10.4යි 
  • මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් 5කට වියදම රු. මිලියන 8.1යි 
  • මහා බැංකු අධිපති බිස්නස් ක්ලාස් ගිහින්, රු. මිලියන 2.5යි 

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු  2024 ඔක්තෝබර් මස ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැති වාර්ෂික රැස්වීම සඳහා සහභාගි වූ රජයේ නියෝජිත පිරිස වෙනුවෙන් රුපියල් මිලියන 18ක පමණ මුදලක් (රු. 18,552,650.28) වියදම් වී ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වෙයි. මෙම මුදල වැය වී ඇත්තේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් 04 දෙනෙකු හා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් සහභාගී වූ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් 05 දෙනෙකු වෙනුවෙනි.

මේ සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සැසි වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩ බලන  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ හර්ෂණ සූරියප්පෙරුම පැවසුවේ, අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් 04 දෙනා දින 16ක පමණ කාලයක් අදාළ සාකච්ඡාව වෙනුවෙන් ඇමෙරිකාවේ රැදී සිටි බවයි. එහෙත් ඒ නිලධාරීන් වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය නොවිය.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ 2025.01.02 දිනැතිව  තොරතුරු දැනගැනීමේ අයදුම්පත් දෙකක් ගොනු කෙරිණි. “වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සඳහා  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් කොපමණ නිලධාරීන් ප්‍රමාණයක් ඒ සදහා සහභාගී වී තිබේද? ඔවුන්ගේ නම් හා තනතුරු මොනවාද’’ යන්න එහිදී විමසන ලද මූලික ප්‍රශ්නය වේ. ඊට ප්‍රතිචාර ලෙස  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ගේ ගුවන් ටිකට් පත් සහිතව වියදම් තොරතුරු ලබාදීම සිදුකරනු ලැබුවත් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඒ සඳහා පිළිතුරු ලෙස ලබාදෙනු ලැබුවේ “නැත’’ යන පිළිතුරයි. එහි අර්ථය වූයේ එසේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සදහා සහභාගී වී නැති බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ද අභියාචනයක්  ඉදිරිපත් කෙරිණි.

කෙසේ නමුත් එම තොරතුරුම ඉල්ලා නැවත 2025.02.27 දිනැතිව  “2024 සැප්තැම්බර් 20 සිට 2024 දෙසැම්බර් 30 දක්වා කාලය අතර  තුළ දී  ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සඳහා  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් කොපමණ නිලධාරීන් ප්‍රමාණයක් ඒ සදහා සහභාගී වී තිබේද? ඔවුන්ගේ නම් හා තනතුරු මොනවාද යන්න සවිස්තර තොරතුරු ලබාදෙන්න.’’ යනුවෙන් තොරතුරු ඉල්ලා සිටියදී අදාළ නිලධාරීන්ගේ ගුවන් ටිකට්පත්වල පිටපත් හැර සෙසු තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන ලදි. මේ ආකාරයෙන් සුළු  තාක්ෂණික කාරණාවන් පදනම් කර ගනිමින්  තොරතුරු ලබා නොදෙමින් කටයුතු කරනු ලැබුවේ මහ බැංකුව තොරතුරු ලබාදීමේ කාර්ය දීර්ඝ කර ගැනීම උදෙසාද යන්න  ගැටලුවකි.

මහ බැංකු නිලධාරීන්ගේ වියදම් 

2024 ඔක්තොබර් මස ඇමරිකා එකසත් ජනපදයේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග පැවති වාර්ෂික රැස්වීම සඳහා සහභාගි වූ නිලධාරීන් වෙනුවෙන් වැය වූ මිලියන 18කට අධික මුදලෙන් රුපියල් මිලියන 10කට අධික ප්‍රමාණයක් (රු.10,422,401.25) වැය වී ඇත්තේ ඒ සදහා සහභාගි වූ  ශ්‍රී ලංකා මහා බැංකු නිලධාරීන් 5 දෙනෙකුගේ වියදම් වෙනුවෙනි. එම වියදම් අතර ගුවන් ටිකට්පත් වියදම්, සංයුක්ත දීමනා, අනියම් දීමනා, ඇ.එ.ජ. තුළ ප්‍රවාහන වියදම්, ඇඟලුම් දීමනාව, සංග්‍රහ දීමනා ආදියද ඇතුළත් වේ.

මෙහිදී මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් මිලියන 3.9ක මුදලක් (3,931,301.86) වැය වී ඇති අතර අනෙකුත් නිලධාරීන් වෙනුවෙන් මිලියන 1.7 සිට 1.5 දක්වා මුදලක් වැය  වී ඇති බව ශ්‍රී ලංකා  මහ බැංකුව මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණ වෙයි. මෙහිදී මහා බැංකු අධිපති වරයාගේ වියදම් වැඩි වීමට හේතු වී ඇත්තේ ඔහු ගුවන් ගමන් වෙනුවෙන් ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පතක් භාවිත කිරීමයි. ඒ සඳහා පමණක් යොදවා ඇති මුදල රුපියල් මිලියන 2.5කි. (රු. 2,578,000.00).

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXf8STPrjJULRx7GE-G6B7E7Qv7K90oF7bv_QC9_YhaVBZhxIH3vLwWVr_xejDOo4Zw8nXruq7yswhbRsTyyJP1FIUlL_OXpjpKeIPDfsQldDiOmgi4V4SYOPBKCW1XyRADzijxe66nFMTuDYBvuyg?key=ac4XA_zmjPerDykt9YO4TtCZ

අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වියදම් 

එමෙන්ම අදාළ (IMF) වාර්ෂික රැස්වීම සඳහා සහභාගි වූ  මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් 04 දෙනෙකු සඳහා  රුපියල් මිලියන 8.1 (රු. 8,151,547.03) මුදලක් වියදම් වී ඇති අතර එම මුදල් වලින් රුපියල් මිලියන 1.8 ක් (රු. 1,889,935.03 ) යොදවා ඇත්තේ ගුවන් ටිකට්පත් සඳහා වන අතර ගමන් වියදම් සහ සංයුක්ත දීමනා සඳහා අ.එ.ජ. ඩොලර් 21,298.00ක් හෙවත්  රුපියල් මිලියන 6.2 (රු. 6,240,314.00)ක මුදලක් වැය කර තිබේ. එමෙන්ම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් ගුවන් ගමන් සඳහා භාවිත කර ඇත්තේ economy class tickets බව ලබාදුන් ගුවන් ටිකට්පත් වලින්ද තහවුරු විය.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXcK_4pZtets_9El8Cu3Bnxt0xRhbAIScr-PxuXq6CKr0_hQJFekg22hcaDHtoxG9y5615Va-0T4GiLvSWBoUddoVmrKe1W4UV6fphv6pySGMJ0c73qnE6efq_YG9Zn46iTLrnrdWdEsxWQgGmwEjSc?key=ac4XA_zmjPerDykt9YO4TtCZ

Zoom වලින් කළ හැකි එකක්ද?

විශාල වියදමක් දරමින් IMF සමඟ ඇමරිකාවට ගොස් පැවැත්වූ මෙම සාකච්ඡාව ZOOM හරහා පැවැත්විය හැකිව තිබූ  එකක් බව 2024 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සැසි වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළේය. එහිදී ඔහු කියා සිටියේ “ගරු කථානායකතුමනි, මගේ පළමුවන අතුරු ප්‍රශ්නය මෙයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල – IMF එක – සමඟ පැවැත්වූ සාකච්ඡාව Zoom meeting එකක් හරහා පැවැත්වීමට අනුමැතිය ලබා දීලා තිබියදීත්, පසුගිය දා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති සාකච්ඡාවට මහ බැංකුවේත්, මුදල් අමාත්‍යාංශයේත් නිලධාරින් විශාල මුදලක් වියදම් කරලා සහභාගි වුණේ ඇයි?’’

කෙසේ නමුත් ඒ සදහා ප්‍රතිචාර දක්වමින් හර්ෂණ සූරියප්පෙරුම අමාත්‍යවරයා මෙසේ පැවසුවේය. ‘’Zoom meetings හරහා IMF එක සහ අනික් පාර්ශ්වකරුවන් නිතිපතා සබඳතා පවත්වනවා; ඒ සඳහා Zoom තාක්ෂණය නිතිපතා යොදා ගන්නවා. සමහර අවස්ථාවලදී සුමානයක් පාසා පවා ඇගැයීම් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. නමුත් මෙම සාකච්ඡා වටයේ තිබෙන තීව්‍රභාවය නිසා, සාකච්ඡා කිරීමට තිබෙන ආයතන සංඛ්‍යාව වැඩි නිසා, දිනපතා සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවැත්විය යුතු නිසා යනාදී කරුණු රාශියක් පදනම් කරගෙන තමයි IMF එක සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතාව ඇතිකරගෙන තිබෙන්නේ. වොෂින්ටන්වලට ගිහිල්ලා, එක කොටසක් වොෂින්ටන්වලදී සාකච්ඡා කරන්නත්, අනික් කොටස සඳහා IMF එකේ නියෝජිතයන් ලංකාවට ඇවිල්ලා ඉතුරු සාකච්ඡාව කරන්නත් කියන එකඟතාවට සාකච්ඡා සිද්ධ වෙලා තිබෙන්නේ.’’ 

ලංකාවට ලැබුණු ප්‍රතිලාභ 

කෙසේ නමුත් රාජතාන්ත්‍රිකව සිදුකෙරෙන ගනුදෙනු වෙනුවෙන් විදේශ සංචාර සිදුකිරීමට සිදුවීම ඕනෑම රටක සිදුවිය හැක්කකි. නමුත් එහි වැදගත්ම කොටස වන්නේ එසේ මහජන මුදල් වැය කර සිදු කෙරෙන සංචාර හේතුවෙන් නැවත එම රටට ලැබෙන ප්‍රතිලාභයන්හි වටිනාකමයි. ඒ ආකාරයෙන් මෙහිදිද ප්‍රශ්න කෙරුණේ ණය ලබාගැනීමක් සම්බන්ධ කාරණයකදී මෙසේ මිලියන 18කට ආසන්න මහජන මුදලක් වැය කරමින් සිදුකරන ලද විදේශ සංචාරයන් මගින් ලංකාවට නැවත ලැබී ඇති ප්‍රතිලාභ සම්බන්ධයෙනි. 2024 දෙසැම්බර් මස 17 දිනැති හැන්සාඩ් වාර්තාවට අනුව ඒ සඳහා පිළිතුරු ලබාදී ඇති අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම කියා සිටින්නේ මෙවන් අදහසකි.

“එම සාකච්ඡාවට සහභාගීවීම තුළින් ශ්‍රී ලංකාවට ලැබිලා තිබෙන සහ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන ප්‍රතිලාභ ගැන කිව්වොත්, විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාව තවදුරටත් ශක්තිමත් වීම, මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම, ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ හොඳම භාවිතයන් best practices – සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීම, ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය සහ ආයෝජකයන් තුළ විශ්වාසය ඉහළ නැංවීම මෙන්ම දිගු කාලීන ප්‍රතිලාභ අත්පත් කර ගැනීමත් තමයි අප අපේක්ෂා කරන්නේ.’’   කෙසේ නමුත් දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව වැනි රටක  සංවර්ධන කාර්යය වෙනුවෙන්  රාජ්‍ය නිලධාරීන් විදේශ සංචාරයන්ට සහභාගි වීමේදී සිදුකරන වියදම් සහ ඔවුන්ට ලබාදෙන අසිමිත පහසුකම්වලට සරිලන සාධනීය ප්‍රතිලාභ නැවත එම සංචාරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට අත්පත් කර ගැනීමට හෝ ලබා දීමට හැකියාවක් ඇතිවීද යන්න සොයා බැලීමද අත්‍යවශ්‍ය කාරණයකි.

පුවත්

පොලිස් වධහිංසනය ගැන තොරතුරු අනාවරණයක් 

– ධනුෂ්ක සිල්වා ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන කෲර, අමානුෂික හා අවමන්සහගත සැලකීම් පිළිබඳ වාර්තා…

By In
පුවත්

ජනාධිපතිගේ නිල විදෙස් සංචාරවල වියදම් ගැන තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කාර්යාලය කල් මරන්නේ ඇයි?

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  ජනාධිපති  අනුර කුමාර දිසානයක විසින් 2024 දෙසැම්බර් සිට 2025 පෙබරවාරි 15 දක්වා රජයේ මුදල් භාවිත කරමින් …

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *