පුවත්

EPF ට්‍රිලියන 400යි, ETF බිලියන 400යි ! ජනතාවට ප්‍රතිලාභ නොදී අරමුදල් තර කිරීම සුදුසුද? 

By In

✍️ ජනක සුරංග

මෑත කාලය තුළ කම්කරුවන් වෙනුවෙන් මැතිවරණ වේදිකාවල රැව් පිළිරැව් දුන් පොරොන්දු හා මැයි දිනවලට සමගාමීව සංවිධානය කෙරෙන මහා පරිමාණ මැයි දින පෙළපාලි හැරෙන්නට සැබෑ ලෙසම ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය නියෝජනය කරන සමස්ත කම්කරුවන්ගේ තිරසාර සමාජ ආරක්ෂණය සඳහා වූ නිසි වැඩ පිළිවෙළක් තවමත් ක්‍රියාත්මක නොවේ. 1958 අංක 15 දරන පනත සම්මත වීමෙන් පසු  ගෙවී ගිය පසුගිය දශක 6කට අධික කාලය තුළ විවිධ රජයන් විසින් ආරම්භ කොට ක්‍රියාත්මක කරන ලද ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප් ඇතුළුව රජය මගින් ක්‍රියාත්මක කරන වෙනත් කිසිදු ක්‍රමයක් සාර්ථක නොවිණි. එබැවින් එම සියලු යෝජනා එක ආයතනයක් තුළට ගෙන ක්‍රියාත්මක කිරීමේ නිර්දේශයක්, හිටපු ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීම පරිදි, කම්කරු අමාත්‍යංශය මගින් එම අමාත්‍යාංශ ලේකම්ගේ මූලිකත්වයෙන් හා වගකිවයුතු  විද්වත් කමිටුවක මැදිහත්වීමෙන් සකස් කරන ලද වාර්තාව මගින් හෙළි කර තිබේ.  

පසුගිය 2024 ජුනි මාසයේ දී, මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීම හා ඊට සුදුසු තීරණ අනුමත කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ විමසීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් වෙත  ඉදිරිපත් කෙරිණි. හිටපු කම්කරු හා රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පූර්ණ අවධානය හා සහයෝගය මුල සිටම මේ සඳහා ලැබිණි. කෙසේ නමුත්, මේ පිළිබඳව කම්කරු ජනතාව තුළ හා වෘත්තීය සමිතිවලත් දැඩි කුතුහලයක් පැවති අතර, මේ වන විට රුපියල් ට්‍රිලියන හාරසියය ඉක්මවූ සේවක අර්ථසාධක අරමුදලට (E.P.F) හා රුපියල් බිලියන 400 දක්වා වර්ධනය වූ සේවක භාරකාර අරමුදලට (E.T. F) අත තැබීමට රජය යොදන ලද උපක්‍රමයක්දැයි වෘත්තීය සමිතිවලද දැඩි දෙගිඩියාවට ලක් විය. කෙසේ නමුත් පසුගිය රජය විසින් මාස කීපයක් ඇතුළත ඉමහත් කඩිමුඩියේ සකස් කරමින් ගෙනා මෙම වාර්තාව අනුමත කර ගැනීමට ප්‍රථම, එකී අමාත්‍යවරුන් ඇතුළු පැවැති ආණ්ඩුවම පරාජයට පත් විය. වත්මන් රජය, එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත් එම වාර්තාවට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මහජන අවධානයට යොමු කිරීම වැදගත් වේ. 

ශ්‍රම බලකායෙන් හරි අඩක් අනාථයි!

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය මිලියන 8.5 කින් සමන්විත වන අතර, එයින් මිලියන 8.1ක් රැකියාවල නිරත වේ. විධිමත් අංශයේ රැකිය නියුක්ත පිරිස 3,469,040ක් වන විට, අවිධිමත් අංශයේ රැකියා නියුක්ත පිරිස 4,678,690ක් තරම් ඉහළ අගයක් ගනී. එහි ප්‍රතිශතය 57%කි.

තව දුරටත් කෘෂිකාර්මික අංශය 26.5%ක්ද, කර්මාන්ත අංශයේ 26.5%ක්  සහ සේවා අංශය 47%ක්ද නියෝජනය කරනු ලබන අතර, මෙයින්  රැකියා නියුක්ත ශ්‍රම බලකායෙන් 15%ක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ඇතුළත් රාජ්‍ය අංශයේය. ඒ අනුව මෙරට සමස්ත රාජ්‍ය සේවය මිලියන 1.2කට අධිකය. පුද්ගලික අංශයේ රැකියා කරන ශ්‍රම බලකායේ අනුපාතය 43%කි. (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2022)

සේවක අර්ථසාධක අරමුදලෙන් ආවරණය වන මිලියන 2.6ක් හා රජයේ විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවක අවාරණය වූ මිලියන 1.2ක සේවා නියුක්තිකයන් සැලකූ විට සමස්තය මිලියන 3.8ක් සිය රැකියා සම්බන්ධයෙන් වූ අනාගත පැවැත්ම කෙරෙහි නිසි සමාජ ආරක්ෂණයකින් ආවරණය වී තිබේ. එහෙත් අවිධිමත් අංශයේ මිලියන 4කට ආසන්න කම්කරුවන් පිරිසක් තම ජීවිතයේ රැකියාවට දිය කරන  කාලය හෝ ශ්‍රමය වෙනුවෙන් නිසි ඇගයීමකට ලක් වීමෙන් හෝ සුරක්ෂිතභාවයකින් තොරව, අනාථයන් සේ මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට නිරන්තරයෙන් දායකත්වය සපයනු ලබයි.

මිලියනයකට EPF නෑ.!

සේවක අර්ථසාධක අරමුදල (EPF) යටතේ මෙරට ශ්‍රම බලකයේ විධිමත් අංශයේ මීලියන 3.7කට අධික පිරිසක් ආවරණය ලැබිය යුතුව පැවතියත්, මේ වන විට එයින් ආවරණය වන්නේ මිලියන 2.6ක ප්‍රමාණයක් පමණි. ඒ අනුව තවත් මිලියනයකට අධික ජනතාවක් සිය අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකිව බල සිටිති. මෙහිදී කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීම නිසි ලෙස ඉටුකිරීම පිළිබඳවත්,  පවතින පරතරය මගින් වින්දිතයන් බවට ලක්වන කම්කරු ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට කඩිනමින් මැදිහත්වීම පිළිබඳවත් කම්කරු දෙපාර්තමේන්තුවේ දැඩි අවධානයට ලක් විය යුතුය. මන්දයත් එය රටේ ජාතික ආර්ථිකයට ද ඍජුවම බලපාන නිසාය.

සේවක අර්ථසාධක අරමුදල් පනත බලාත්මක කරනු ලබන්නේ කම්කරු දෙපාර්තමේන්තුව මගින් වුවත්, එම අරමුදල් පනතේ නිසි ආයෝජනයක් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. මෙකී ආයතන ද්විත්වය මගින් මෙම අරමුදල ක්‍රියාත්මක කිරීමේදී විවිධ ප්‍රායෝගික හා තාක්ෂණික ගැටලු රැසක් මතු වී තිබේ. එමෙන්ම  ETF තුළින් ලැබිය යුතු අතිරේක ප්‍රතිලාභ එම අරමුදලේ බහුතර දායකයන් පිරිසකට නොලැබෙන බවත්, කොවිඩ් – 19 හෝ රටක ආර්ථික අර්බුදයන් පැන නගින කාලවලදී  ETF මගින් ලැබිය යුතු නිසි මූල්‍යමය ප්‍රතිලාභ හා, ජීවිතයේදී මූණ දෙන විවිධාකාර අනපේක්ෂිත හදිසි තත්ත්වන් හා විපත් සඳහා එහි දායකයන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයෙන් එම අරමුදල කළමනාකරණය කළ යුතු ඇති බවත් වාර්තාගත කරුණු පෙන්වා දී තිබේ. එබැවින් මුදල් රැස්කිරීම මගින් මෙම අරමුදල් තර කිරීමට වඩා, ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදීම සඳහා කටයුතු කිරීමට ක්‍රියාත්මක වීමේ දැඩි අවශ්‍යතාව කමිටුව විසින් නිර්දේශ කර තිබේ. 

ගොවි- ධීවර විශ්‍රාම වැටුප් අසාර්ථකයි

සාමාන්‍යයෙන් මෙරට ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තම රැකියාව කරන කාලය තුළ හිමි වන වරප්‍රසාදත්,  එම රාජ්‍ය සේවය අවසන් වූ පසුව හිමි වන විශ්‍රාම වැටු ප්‍රතිලාභයක් නිසා ඔවුන්ගේ ජීවිතය සැඳෑ කාලය සැලකිය යුතු සුරක්ෂිතතාවයකට ලක් වනු ලැබේ.

එමෙන්ම විධිමත් පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවක අර්ථසාධක, සේවා භාරකාරත්ව අරමුදල් හා ව්‍යවස්ථාපිත වෙනත් කම්කරු අනපනත් මගින් ආවරණය වන ප්‍රතිලාභ මගින් සැලකිය යුතු ආරක්ෂනයක් ලබා ගත්තද මහපොළොවට දහඩිය හෙළන ගොවියන්, මහ මුහුදේ දිවා රෑ සම්පත් සොයන ධීවරයන් හා රටේ සංවර්ධන ක්‍රියාවලියට නොයෙක් අයුරින් දායක වන ස්වයං රැකියා හා විවිධ වෘත්තීන්හි නියැලෙන්නන්ට ඒ හා සමාන ප්‍රතිලාභ ලැබෙන සමාජ ආරක්ෂණ ක්‍රමයක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් නොමැත.

නමුත් මෙරට කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වන ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන විවිධ දායක අරමුදල් ක්‍රම මගින් ඉහත කී ක්ෂේත්‍රයන් නියෝජනය කරන යම් පිරිසකට සහනයක් සැලසිණි. එහෙත් ඒවායේ ප්‍රතිලාභ අවම වීමත්, ජනතා ආකර්ෂණයක් නොතිබීත්, නිසි කළමනාකරණයක් නොවීමත් යන කරුණු මත වර්තමානයටත්, අනාගතයටත් නොගැලපෙන පරිද්දෙන් යල් පැන ගිය අසාර්ථක යෝජනා බවට නිරායාසයෙන් පත් වී තිබේ. 

ගොවි විශ්‍රාම වැටුප් , ධීවර විශ්‍රාම වැටුල් හා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සේවාවලින් බලාපොරොත්තු වූ ප්‍රගතියක් අත් වී නැති බවද අනාවරණය වී තිබේ. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා 2012 වසරෙන් පසුව කිසිදු සාමාජිකයකු බඳවාගෙන නොමැති අතර ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහාද නව සාමාජිකයන් බඳවා ගැනීම නතර කොට තිබේ. සමාජ ආරක්ෂණ මණ්ඩලයද ආරම්භයේ පටන්ම ප්‍රගතියක් නොපෙන්වූ ආයතනයකි. 

මේ බව වැඩිදුරටත් සඳහන් කරමින් අදාළ කම්කරු අමාත්‍යාංශ වාර්තාවේ දැක්වෙන්නේ උක්ත ආයතන සියල්ලම ස්වකීය ආයතන පිහිටුවීමෙන් අපේක්ෂා කළ ඉලක්කවලින් සියයට පනහක්වත් මේ තාක් කල් සම්පූර්ණ කරගෙන නොමැති පසුබිමක, මහ භාණ්ඩාගාරය මගින් වරින් වර මුදල් අවශ්‍ය වීම නිසාත්, එම අරමුදල් ක්‍රම හා සම්බන්ධිත අපේක්ෂිතයන් ප්‍රමාණය වර්ධනය නොවීම නිසාත්  අකර්මණ්‍ය වී ඇති බැවින්, ඉදිරියේදී  එකී සියලු ආයතන තනි ආයතනයක් තුළට ගෙන ඒමට කටයුතු කිරීම යෝග්‍ය බවය. ඒ සඳහා ජනතා ආකර්ෂණය පදනම් කරගත්, තිරසාර භාවයෙන් යුතු සංකල්ප සමග ක්‍රියාත්මක කිරීමට සුදුසු නීති රාමුවකින් සමන්විත වීම ද අවධාරණය කර තිබේ.

කල් මරන කම්කරු වන්දි

රැකියාව කරන අතරතුර සිදුවන මරණය ඇතුළු තුවාල සම්බන්ධයෙන් කම්කරුවන්ට වන්දි ලබාගැනීමට 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා පනත අනුව ගොඩනැගුණු ක්‍රියාවලියක් පැවතුණත්, සේවා යෝජකයන් හා කම්කරුවන් අතර ඇතිවන ආරවුල් විසඳීමට ඉතා දීර්ඝ කාලයක් ගතවන මෙම ක්‍රියාවලිය පද්ධතිය ඵලදායි නොකරන බවට කරුණු ඉහත වාර්තාවෙන් හෙළි කර තිබේ. එමෙන්ම අදාළ වැඩබිම් හෝ රැකියා කටයුතුවල නිරත වීමේදී සිදුවන ජීවිත හානි හා තුවාල සම්බන්ධයෙන් නිසි ප්‍රමාණවත් වූ සැලකිය යුතු වන්දි මුදල් කම්කරුවන්ට නොලැබෙන බවත්, ඇතැම් සේවා යෝජකයන් ඒවා ප්‍රතික්ෂේප කිරීම් නිසා විවිධ පීඩාවන්ට ලක්වීම පිළිබඳවත් අවධානය යොමු කර තිබේ.

ඒ සඳහා සුදුසු පරිදි නව නීති රීති සකසා යාවත්කාලීන වීමත්, රැකියා අහිම්වීම්වලදී හා අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම්වලදී අහිමි වන වැටුප් සම්බන්ධයෙන් සේවකයන් ලක්ව න අපහසුතාවයෙන් මුදවා ගැනීමත්, කාන්තාවන්ගේ මාතෘ ප්‍රතිලාභයන් පිළිබඳවත්, ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව  ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ක්‍රමයේ පවතින පවතින  සෞඛ්‍යය හා වෛද්‍ය රක්ෂණ ප්‍රතිලාභවල දුර්වලතා සම්බන්ධයෙනුත් මෙහි දී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, ඒවාට නිදර්ශිත විසඳුම්ද යෝජනා කර තිබේ.

එමෙන්ම පෞද්ගලික අංශයට රජයේ සේවකයන්ට මෙන් සුදුසු විශ්‍රාම වැටුපක් යෝජනා කෙරෙන අතර, අවිධිමත් අංශයේ සේවයෙන් නියුතු වූවන්ට තම වෘත්තීය ක්ෂේත්‍රවල සේවා අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික තලයේ කමිටු පිහිටුවීම හා එම සේවාවන්නේ නිසි ප්‍රමිතිය හා රැකියා සුරක්ෂිතභාවය මුල්කොට ගෙන ක්‍රියාත්මකවීමේ යෝජනාද මේ තුළින් ඉස්මතු කර තිබීම වැදගත් වේ.

පුවත්

ගලිවර්ලාගේ වන විනාශය සහ ලිලිපුට්ටන්ගේ සංරක්ෂණය!

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  විස්මයජනක භූ දර්ශන, පොහොසත් ජෛව විවිධත්වය සහ සශ්‍රීක වැසි වනාන්තර සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, වර්ධනය…

By In
පුවත්

‘මැරීන් ඩ්‍රයිව්’ වසර 18ක් ඉබි ගමනේ

කේ.ප්‍රසන්නා  කොළඹ ගාලු ප්‍රධාන මාර්ගයේ තදබදය අවම කිරීම සඳහා හොඳම මාර්ගය ලෙස හඳුනාගෙන ඇති සමුද්‍රීය මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) අදියර හයක්…

By In
පුවත්

උත්සව වියදම්වල තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කල්මරයි!

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මෙතෙක් පැවති ආණ්ඩු, විවිධ උත්සව කටයුතු සඳහා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කළද වර්තමාන රජය ඒ ආකාරයෙන්…

By In
පුවත්

අකුරණ නගරයේ ගංවතුර වළක්වන්න වසර 25ක් තිස්සේ අසමත් වුණේ ඇයි? තොරතුරු පනතින් කළ සොයා බැලීමක් 

– මොහොමඩ් ආසික් ‘අකුරණ’ යනු, මහනුවර- යාපනය ඒ 09 මාර්ගයේ හමුවන ප්‍රධාන වාණිජ නගරයකි. ලෝකයේ බොහෝ රටවලට සෘජුව සම්බන්ධ වී…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *