මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය:
වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්” යන්නයි. නමුත් පාලන තන්ත්‍රය කුමක් වුවත්, බලය අතැති දේශපාලනඥයාට සහ රාජ්‍ය නිලධාරියාට නීතිය යනු රිසි සේ නැමිය හැකි හුදු රබර් පටියක් පමණක් බව සනාථ කරන තවත් එක් සංවේදී පුවතක් හම්බන්තොට, මහවැලි කලාපයෙන් වාර්තා වේ. එය හුදෙක් ඉඩම් කොල්ලයක් පමණක් නොව, දේශපාලන හස්තයකට මුවාවී සිදුකළ සංවිධානාත්මක පරිසර විනාශයකි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මයුරපුර මහවැලි අධිකාරියට අයත් “හරිත ගොවි සංවිධානය” යටතේ පවතින රක්ෂිත වනාන්තරයක් 2026 ජනවාරි 10 වන දින බැකෝ යන්ත්‍ර යොදාගනිමින් මහා පරිමාණයෙන් එළිපෙහෙළි කිරීමට එරෙහිව ප්‍රදේශයේ ගොවීන් පෙරට ඒමත් සමඟ එදින පෙරවරුවේ හම්බන්තොට, කටුවැව ප්‍රදේශය ගොවින් පිරිසක් අතර නොසන්සුන් තාවයක් ඇතිවිය.එහිදී ගොවීන් චෝදනා කරනු ලැබුයේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයින් දෙදෙනෙකු විසින් දේශපාලන බලය අයුතු ලෙස භාවිත කරමින්, අක්කර 5ක පමණ රක්ෂිත භූමියක් තම පක්ෂයේ හිතවතුන් යොදාගනිමින් මෙලෙස විනාශ කිරීමට උත්සාහ කළ බවයි.
මෙම ක්‍රියාව පිටුපස සිටින්නේ හම්බන්තොට මහ නගර සභාවේ සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂයේ සභිකයින් දෙදෙනකු බවට ගොවීන් සෘජුවම චෝදනා කරකරනු ලැබුහ . “දූෂණය පිටුදකිනවා” යැයි කියන දේශපාලන ප්‍රවාහයක නියෝජිතයින් මෙලෙස රජයේ රක්ෂිත ඉඩම් කොල්ලකෑමට උත්සාහ කිරීම උත්ප්‍රාසාත්මකය.

රක්ෂිත භූමිය හෙළිකර තිබු අයුරු
විනාශයට යෙදූ වෙස්මුහුණ
මෙම විමර්ශනයේදී අනාවරණය වූ වඩාත් භයානක කරුණ නම්, මෙම පරිසර විනාශය සාධාරණීකරණය කිරීමට යොදාගත් උපක්‍රමයයි. ප්‍රදේශයේ ගොවින් පවසන පරිදි, ප්‍රදේශයේ වන අලි තර්ජනය වැළැක්වීම සඳහා වනය තුළ අතුරු මාර්ග සැකසීමට අවසර ලබාගෙන තිබුණි. නමුත් එම අවසරය අවභාවිත කරමින්, අලි මංකඩවල් හෝ මාර්ග සැකසීම වෙනුවට සිදුකර ඇත්තේ වටිනා රක්ෂිතය මුළුමනින්ම හෙළිපෙහෙළි කර ඉඩම් අත්පත් කරගැනීමේ මෙහෙයුමකි.
වලව විශේෂ බලප්‍රදේශයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු (ඉංජිනේරු ජී.එම්.එස්.එන්. ගුණසේකර) විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ අප විසින් සිදුකළ තොරතුරු ඉල්ලීමකට තොරතුරු ලබාදෙමින් පවසා ඇත්තේ ජනවාරි 10 දිනට පෙර වනජීවී කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව එක්ව අලි පලවා හැරීමේ මෙහෙයුමක් සිදුකරිමකට අදාලව මාර්ග සකසා ගැනීමට පමණක් අවස්ථාව ලබාදුන් බවයි. එහෙත් එම මෙහෙයුමෙන් ඔබ්බට ගොස් රක්ෂිතය එළිපෙහෙළි කිරීමට කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකු හට රක්ෂිත හෙළි කිරීමට ලිඛිත අවසරයක් ලබා දී නොමැති බව ද එම තොරතුරු මගින් අනාවරණය වන්නකි.
එමෙන්ම අදාල රක්ෂිත ප්‍රදේශය හෙළිකරනු ලැබු ස්ථානයේදී අදාල මහවැලි රක්ෂිත ප්‍රදේශය හෙළි කිරීමට භාවිත කරනු ලැබූ බැකෝ යන්ත්‍රයක් සමඟ එය මෙහෙයවනු ලැබූ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය කමිටුවක සාමාජිකයෙකු ද ශ්‍රී ලංකා මහවැලි ආධිකාරියේ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් 2026. ජනවාරි 10 දින අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා මයුරපුර කොට්ඨාශ කාර්යාලය වෙත භාර දී තිබේ. ඒ සම්බන්ධයෙන් 2026.01.10 දිනැතිව මහවැලි විශේෂ බලප්‍රදේශයේ නෙවාසික ව්‍යාපාර කළමණාකාර තුමා වෙත ලිඛිතව දන්වා තිබේ. එමෙන්ම මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ JCB යන්ත්‍රය හා පුද්ගලයින් අනිතිකව නිදහස් කිරීමට මයුරපුර මහවැලි කොට්ඨාශ කාර්යාලයේ ඉහල නිලධාරියෙකු කටයුතු කිරීමට යන බවට ලැබුණු තොරතුරකට අනුව අප විසින් ඒ සම්බන්ධයෙන් 2026 ජනවාරි 12 දින මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමණාකරුගෙන් (වලව කලාපය) සිදුකරනු ලැබූ විමසීමකදී ඔහු කියා සිටියේ එසේ අනීතික නිදහස් කිරීමක් සිදු නොකරන බවත් එයට අදාලව නීතිය ක්‍රියාත්මක කරන බවයි.ඒ වනවිටත් යම් සැකකරුවෙකු හෝ යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන පැය 24 පෙර අදාල පොලිස් ස්ථානයට අධිකරණ කටයුතු වෙනුවෙන් බාරදිය යුතු වුවත් මහවැලි අධිකාරියේ මයුරපුර කොට්ඨාශ කාර්යාලයේ අදාල වග කිවයුතු නිලධාරීන් එම නීතිමය ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කරමින් කල් මරමින් සිට ඇත්තේ අදාල පුද්ගලයින්ට හා යන්ත්‍රසුත්‍ර නිදහස් කිරීමේ අරමුණින් බව මානව පෙනී යන කරුණකි.
එය සනාථ කරමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මයුරපුර මහවැලි කොට්ඨාශ කාර්යාලය මගින් හම්බන්තොට මුලස්ථාන පොලිස් ස්ථානය වෙත පැමිණිල්ල ගොනුකර ඇත්තේ 2026 ජනවාරි 12 ද වේ. ඉන්ද පැහැදිලි වන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද මහවැලි අධිකාරිය පසු බසිමින් සිට පසුව අප විසින් සිදුකරනු ලැබූ සොයා බැලීම නිසා මෙසේ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙළබි ඇතිබවයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ‘සමථ‘ නාටකය
නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුව ඇති බරපතලම අක්‍රමිකතාව විද්‍යමාන වන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් 2026.03.28 දිනැතිව ලබාගනු ලැබූ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ පොලිස් වාර්තා පරික්ෂා කිරීමේදීය. ජනවාරි 10 වන දින මහවැලි ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් ZA 2090 දරන JCB යන්ත්‍රය සහ එහි රියදුරු හා ඒ සඳහා අනුබලදෙමින් කටයුතු කරනු ලැබූ ජාතික ජනබලවේගයේ ඉහත සඳහන් කරනු ලැබූ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය හුදු ‘අවවාද කිරීමකට’ පමණක් සීමා වී ඇත.
තංගල්ල කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලයේ තොරතුරු නිලධාරී මගින් (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී) ලබාදුන් තොරතුරුවලට අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියේ MCR 80/2026 යටතේ පැමිණිල්ලක් සටහන්ව තිබුණි. නමුත් විමර්ශන අවසානයේ කිසිදු සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කර නැත. ඊට හේතුව ලෙස පොලිසිය දක්වන්නේ, පැමිණිලිකාර මහවැලි නිලධාරීන් විසින් “සැකකරුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවත්, අවවාද කර මුදාහරින ලෙසත්” ඉල්ලා සිටීමයි. ඒ අනුව මහවැලි අධිකාරියේ මයුරපුර කොට්ටාශ කාර්යාලය මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කිරීමට පෙළබි ඇත්තේ අපගේ මැදිහත්වීමට හා අනෙකුත් කුමන හෝ පාර්ශවයක් රැවටීමට ගත් උත්සහයක් බව සනාථ කර තිබේ.
එමෙන්ම හම්බන්තොට පොලිසියේ සුළු පැමිණිලි අංශයේ (CIB 2 – 107) සටහන් වී ඇති සමථ සටහනට අනුව, වගඋත්තරකරු වන ඩබ්ලිව්.ජී. චන්ද්‍රසේන නැමැත්තා “තමා මහවැලි අධිකාරියෙන් අවසර නොගෙන ගොවිතැන් කටයුතු සඳහා ඉඩම සුද්ද කළ බවත්, එහි බරපතලකම නොදන්නා බවත්” පවසා ඇත. රජයේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍ර යොදා හෙළි කිරීම “බරපතලකම නොදන්නා” සිදුවීමක් ලෙස සලකා අවවාද පිට නිදහස් කිරීම පිටුපස ඇත්තේ දේශපාලන හස්තයක බලපෑම නොවේද? එමෙන්ම මෙහි ඇති හාස්‍ය ජනක සිදුවීම වන්නේ අදාල චෝදනාවට ලක්වූ චන්ද්‍රසේන නමැති තැනැත්තා වර්තමාන රජය විපක්ෂයේ සිටියදී මෙම මහවැලි රක්ෂිත හෙළි කිරීමට එරෙහිව දැඩි සේ විරෝධතාවයන් දක්වමින් කටයුතු කළ අයෙකුද වීමයි. එසේ වූ පසු බිමක ඔහු වැනි අයෙකු මෙසේ රක්ෂියක් හෙළි කිරීමේ බරපතලකම නොදන්නා අයෙකු ලෙස රඟපෑම හුදු විහුළුවක් පමණකි.

මහවැලි අධිකාරියේ දෙබඩි පිළිවෙත
මහවැලි රක්ෂිතයක කුඩා අතු කැබැල්ලක් කපන සාමාන්‍ය ගොවියාට එරෙහිව රුදුරු ලෙස නීතිය ක්‍රියාත්මක කරන මහවැලි නිලධාරීන්, අක්කර පහක රක්ෂිතයක් බැකෝ දමා වනසන දේශපාලන හිතවතුන් ඉදිරියේ නිහඬ වන්නේ ඇයි? මහවැලි ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් යන්ත්‍රය පොලිසියට භාරදීමෙන් පසු, එය අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීමට මහවැලි නිලධාරීන්ම එකඟ වීම තුළින් පෙනී යන්නේ ආයතනය තුළ පවතින අභ්‍යන්තර දූෂණයයි. එමෙන්ම මේ ආකාරයෙන් අධිකරණයට ඉදිපත්කළ යුතු යන්ත්‍රයක් මෙන්ම සැකකරුවන් නිදහස් කිරීමට අනීතිකව මැදිහත්වූ මහවැලි නිලධාරීන් ඇතුළු ඒ සඳහා මැදිහත්වූ කුමන තරාතිරකම නිලධාරියෙකු වුවද සිදුකර ඇත්තේ රජයට අයවියයුතු දඩ මුදලක් අහිමි කිරීමයි, එය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනත යටතේ රජයට සිදුකළ අලාබයක් ලෙස සැලකිය හැකි බවද පෙන්වා දිය යුත්තකි.
මෙම විමර්ශනයේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ මහවැලි අධිකරියෙන්ම ලබාගත් ලේඛන අනුව, අදාළ භූමිය “මහවැලි වන රක්ෂිතයක්” ලෙස නම් කර ඇත. එවැනි භූමියක් එළිපෙහෙළි කිරීම වසර ගණනාවක සිරදඬුවම් ලැබිය හැකි වරදකි. එසේ තිබියදී පොලිස් පොතේ අත්සන් කර “මින් පසු මෙවැනි දේ නොකරන” බවට වන පොරොන්දුවක් මත සැකකරුවන් නිදහස් කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ මරු පහරක් පමණක් නොව දුෂණ විරෝධී වර්තමාන ආණ්ඩුව මගින් තම පාක්ෂිකයාට දණ්ඩ මුක්තිය ලබාදෙන ආකාරයද මින් ගම්‍ය වේ.

ඒ අනුව මින් පැහැදිලි වන කාරණාවක් නම් හම්බන්තොට කටුවැව රක්ෂිතය විනාශ කිරීමේ සිදුවීම හුදු හුදකලා සිදුවීමක් නොවේ. එය දේශපාලන බලය, නිලධාරීවාදය සහ පරිසර විනාශය යන ත්‍රිත්වයේම එකතුවකි. වන අලි ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ මුවාවෙන් සිදුවන මෙම ඉඩම් කොල්ලය වහාම නැවැත්විය යුතුය.
“නීතිය සැමට සමානයි” යන්න හුදු සටන් පාඨයකට සීමා නොකර, රක්ෂිතය විනාශ කිරීමට අණදුන් දේශපාලන බලවතුන් සහ ඊට අනුබල දුන් මහවැලි නිලධාරීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම රජයේ වගකීමකි. එසේ නොවුණහොත්, දේශපාලනයට මුවාවී රැකවරණය ලබමින් සිදුකරන මේ මහා පරිසර සංහාරය හමුවේ හම්බන්තොට අවසන් රක්ෂිත ටිකත් ඉතිරි නොවනු ඇත.
රාහුල්සමන්තහෙට්ටිආරච්චි