- කේ. ප්‍රසන්නා
රටතුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ යන ජීවන වියදම, විරැකියාව, දරිද්‍රතාවය වැනි විවිධ හේතූන් මත පසුගිය කාලය තුළ විදේශ රැකියා සඳහා යොමුවන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙය අවස්ථාවක් කර ගනිමින් විදේශ රැකියා නියෝජිත ආයතන සංචාරක වීසා මත රැකියා බලාපොරොත්තුවෙන් සිටින පිරිස් විදේශ රටවලට යවා මුදල් ඉපැයීමේ ජාවාරමක නිරතව සිටිති. මෙහි දිගුවක් ලෙස ඕමානයට ගෘහ සේවිකාවන් ලෙස ගොස් වෙන්දේසියේ අලෙවි වූ බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ පුවත රටතුල පසුගිය දිනවල ආන්දෝලනයට ලක් විය.
මේ ආකාරයට මිනිසුන් යවා මුදල් උපයන නියෝජිතයන් හැරුණු විට විදේශ විනිමය උපයා ගැනීමේ අරමුණෙන් රජය විසින්ද විදේශ රැකියා සඳහා යොමුවීමට ජනතාව තව තවත් දිරිමත් කරනු ලැබේ. දැනට රජයේ දෙපාර්තමේන්තුවල සේවය කරන අයට වැටුප් රහිත නිවාඩු ලබාදෙමින් විදේශ රැකියා සඳහා යෑමට රජය විසින් පහසුකම් සලසා දී ඇත.
නමුත් රජය විදේශ විනිමය ඉලක්ක කරගෙන විදේශ රැකියා දිරිමත් කළද එමඟින් පසුවට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව අවධානය යොමු කොට නැත. මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක නිවස්නයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකික සේවිකාවන් 77 දෙනාගෙන් කාර්යාංශයේ ලියාපදිංචි වී රටින් පිටව ගොස් ඇත්තේ 12 දෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කොට ඇත.
සංචාරක වීසා මත ඕමානයේ රැකියා ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් 90කට ආසන්න පිරිසක් බලහත්කාරයෙන් ලිංගික සේවා සඳහා යොමු කර නියෝජිතයන් විසින් අතහැර දමා වෙන්දේසියේ අලෙවි කර ඇති බවද හෙලිවි තිබේ. මේ සම්බන්ධයෙන් ඕමාන් තානාපති කාර්යාලයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියකුගේද සේවය අත්හිටුවා ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා කරන ලද තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු නිලධාරි පී.පී.වීරසේකර මහතා විසින් ලබාදුන් තොරතුරුවලට අනුව 2016 – 2021 දක්වා කාලය තුළ තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක නිවස්නයන්හි පුද්ගලයන් 69,845 දෙනෙකු නවාතැන් ගෙන ඇත.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය, වීසා කාලය ඉක්මවා රැඳී සිටීම, හිරිහැරවලට ලක්වීම (ලිංගික හා ශාරීරික), වැටුප් නොගෙවීම, කොන්ත්‍රාත්තු කඩ කිරීම සහ නීති විරෝධී රැකියාවන් හේතුවෙන් ඔවුන් එහි ආරක්ෂක නිවස්නයන්හි සිටිති.
මේ ආකාරයට 2017-2021 කාලය තුළ තානාපති කාර්යාල මගින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක නිවස්නයන්හි සිටි පුද්ගලයන් 326 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 22,956,592.9 ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙයින් ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු 2017 දී ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සඳහා රුපියල් 2,182,624.83 ක් ද , 2018 දී පුද්ගලයින් 22 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට රුපියල් 888,779.63 ක් ද, 2019 දී පුද්ගලයින් 39 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සඳහා රුපියල් 2,168,097.79 ක් ද , 2020 දී පුද්ගලයින් 74 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට රුපියල් 5,884,812.89 ද හා 2021 දී පුද්ගලයින් 128 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට රුපියල් 11,832,277.77 ද වැය කොට ඇත.
මෙවැනි වාතාවරණයක් තුළ විදේශ රැකියා සඳහා ගිය පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට කරන ලද ඉල්ලීමට අනුව අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරිනී, නීති නිලධාරිනී කුමුදුනී අබේකෝන් මහත්මිය ලබාදුන් තොරතුරුවලට අනුව 2016-2022 කාලය තුළ ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා ගිය පුද්ගලයින් 3742 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
කොවිඩ් ආසාදනය, අසනීප තත්වයන් , හදිසි අනතුරු, සියදිවි නසාගැනීම්, මිනීමැරුම් සහ වෙනත් හේතූන් මත මෙම මරණ සිදු වී ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයින් 3742 කගේ සිරුරු 1140 ක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර 2602 කගේ සිරුරු තවමත් නිවසට ගෙන ඒමට නොහැකි වීම කණගාටුවට කරුණකි.
2016 වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයන් 437ක් මිය ගොස් ඇත. එම මළ සිරුරු 152ක් මෙරටට ගෙනැවිත් ඇති අතර සිරුරු 173ක් මෙරටට ගෙනැවිත් නොමැත. 2017 දී මියගිය පුද්ගලයින් 458 ගෙන් 249 දෙනෙකුගේ සිරුරු, 2018 දී මියගිය පුද්ගලයින් 448 දෙනාගෙන් 352 දෙනෙකුගේ සිරුරු, 2019 දී මියගිය පුද්ගලයින් 472 න් 383 දෙනෙකුගේ සිරුරු, 2020 මියගිය පුද්ගලයින් 741 න් 618 දෙනෙකුගේ සිරුරු, 2021 දී මියගිය පුද්ගලයින් 797 න් 675 දෙනෙකුගේ සිරුරු හා 2022 වසරේ මියගිය පුද්ගලයින් 389 දෙනාගෙන් සිරුරු 173ක් මෙරටට ගෙන්වා ඥාතීන්ට භාරදී නොමැත.
2020-2022 දක්වා පැවති කොවිඩ් වසංගත කාලය තුළ විදේශයන්හි සේවය කරමින් සිටියදී කොවිඩ් රෝගය හේතුවෙන් පුද්ගලයින් 415 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම 2016-2022 කාලසීමාව තුළ අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 2744ක්, හදිසි අනතුරුවලින් 327ක්, සියදිවි නසාගැනීම් හේතුවෙන් 176ක්, මිනීමැරුම් හේතුවෙන් 33ක් සහ වෙනත් හේතූන් මත 47ක් මිය ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ ආකාරයට විදේශ රැකියා සඳහා නික්ම ගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත. මේ අනුව 2010 නොවැම්බර් සිට 2022 නොවැම්බර් දක්වා කාලය තුළ මියගිය පුද්ගලයන්ගේ පවුල් 1756 කට වන්දි ලබා දී ඇත.
මේ අනුව 2010 වර්ෂයේදී රුපියල් 201,000,000 ක් ද, 2011 වර්ෂයේදී රුපියල් 155,000,000 ක්ද , 2012 වර්ෂයේදී රුපියල් 171,000,000 ද, 2013 වර්ෂයේදී පවුල් 171කට රුපියල් 200,000,000 ද, 2014 දී පවුල් 187 ක් සඳහා රුපියල් 181,796,142.99 ද, 2015 දී පවුල් 143 ක් සඳහා රුපියල් 209,691,863.60 ක්ද, 2016 වසරේදී පවුල් 194ක් සඳහා රුපියල් 346,660,177.09 ක්ද, 2017 දී පවුල් 209 ක් සඳහා රුපියල් 371,179,908.18 ද , 2018 දී පවුල් 182 ක් සඳහා රුපියල් 418,685,868.26 ක්ද, 2019 දී පවුල් 163 ක් සඳහා රුපියල් 394,713,468.46 ක්ද, 2020 වර්ෂයේ දී පවුල් 107ක් සඳහා රුපියල් 247,035,111.48 ක්ද ,2021 දී පවුල් 138 ක් සඳහා රුපියල් 277,439,174.22 ක් හා 2022 නොවැම්බර් දක්වා පවුල් 90කට රුපියල් 346,864,310.21 ක්ද වන්දි මුදල් ලෙස ලබා දී ඇත.
මේ අනුව විවිධ ගැටලුවලට මුහුණ දී සිටින විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උත්පාදනය කරන ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා සුරක්ෂිත වන බව රජය විසින් සහතික කළ යුතුය. එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි වී නොමැති ව්‍යාජ නියෝජිතයින් හරහා විදේශගත වීමේ අවදානම පිළිබඳව ශ්‍රමිකයින් දැනුවත් වීම ද අවශ්‍ය වේ.
මෙම සංක්‍යලේඛන මගින් පැහැදිලි වනුයේ විදෙස්ගතවන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සොයා බැලිමට දැනට පවතිනවාට වඩා විධිමත් පසු විපරම් ක්‍රියාවලියක ප්‍රබල අවශ්‍යතාවය නොවේද?