– මොහොමඩ් ආසික්
1977දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා විදේශ රටවල රැකියා අවස්ථා වැඩිපුර විවර විය. එතෙක් ප්‍රභූ පන්තියට පමණක් සීමා වී තිබූ ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය සාමාන්‍ය පුද්ගලයින්ටද අත්පත් කර ගත හැකි මෙවලමක් බවට පත් විය. පසුකාලීනව අපේ රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වූයේද මෙම විදෙස් රැකියා වෙළඳපොළයි. අදත් එය ඒ අයුරින්ම පවතී.
රටට විදේශ විනිමය බිලියන ගණනින් ගෙන එන රැකියා ඉල්ලමක් වුවද විදේශ රැකියා තුළ අවදානම් තත්ත්වයන්ද රැසක් තිබේ. ඇතැම් අවස්ථාවන්වල එම අවදානම් තත්වයන් නොසලකා හැර ඇති බවක්ද නිරීක්ෂණය වෙයි. පළමුව තම දරු පවුල මෙන්ම ළඟම ඥාතීන් අතහැර දුරු රටකට ගොස් වසර ගණනක් රැකියා කිරීම කවර මට්ටමේ පුද්ගලයකුට වුවද අභියෝගයකි. මෙරට සිටියදී අසල නගරයකටවත් තනිවම නොයැවූ තම තරුණ දියණියන් විදෙස් රටවල නොහඳුනන පුද්ගලයින් විශ්වාස කර වසර ගණනකට යැවීම, දෙමාපියන්ගේ පැත්තෙන් ඉතා අසීරු තීරණයකි. එහි අමිහිරි අත්දැකීම් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව වාර්තා වන නමුත් විදෙස්ගත වීම සඳහා ඇති ඉල්ලුමෙහි වැඩි වීමක් මිස අඩු වීමක් දක්නට නොලැබෙයි.
2020 දී ලොව පුරා ඇති වූ කොරෝනා වසංගතයත් පසුව අප රටේ ඇති වූ ආර්ථික අර්බුදයත් නිසා විදේශ ගතවන පිරිසේ ශීඝ්‍ර වැඩි වීමක්ද දක්නට ලැබෙයි. තරුණ තරුණියන් විදෙස්ගත කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. දිවයින පුරා විදෙස් රැකියා පොළ පැවැත්වීම, පුහුණු වැඩමුළු පැවැත්වීම, විදෙස් රැකියා ගමට ගෙන යාම ඉන් කිහිපයකි. මෙවත් තත්වයන් හමුවේ 2024 වසරේදී විදෙස්ගතව ඇති ශ්‍රමිකයින් සම්බන්ධයෙන්, 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් කළ විමසා බැලීමකි මේ.
වැඩිම පිරිසක් මැදපෙරදිගට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු නිලධාරී පී.ජී. වීරසේකර මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2024 වසරේදී රටවල් 157කට ශ්‍රී ලාංකික පුරවැසියන් 314,771 දෙනෙකු කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී තිබේ. ඒ පිරිමි පුද්ගලයින් 186,675 දෙනෙකුද කාන්තාවන් 128,096 දෙනෙකුද වශයෙනි.
2024 වසරේදී රැකියා සඳහා විදෙස් ගත වී ඇති ශ්‍රමිකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් විදෙස් ගතව ඇත්තේ කුවේට් රටට වන අතර එම ප්‍රමාණය 77,914කි. දෙවැනියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර එම ප්‍රමාණය 52,070කි. තෙවැනියට සවුදි අරාබිය වන අතර එහි ගොස් ඇති ශ්‍රමිකයින් ගණන 48,001 දෙනෙකි. සිව්වන ස්ථානයේ පවතින්නේ කටාර් රාජ්‍යය වන අතර එහි ගොස් ඇති විදෙස් ශ්‍රමිකයින් ගණන 46,642කි. එයට අමතරව මාලදිවයිනට 12,293ක් රුමේනියාවට 10,506ක් ඊශ්‍රාලයට 10,181ක් ජපානයට 8,745ක් ඕමානයට 8,454ක් දකුණු කොරියාවට 7,123ක් ජෝර්දානයට 4,910ක් බහරේන් 4,037ක් සයිප්‍රස් 3,575ක් එක්සත් රාජධානියට 3,283ක් සිංගප්පූරුවට 2,593ක් මැලේසියාවට 2,092ක් සීෂෙල්ස් රාජ්‍යය සඳහා 1,309ක් ලෙබනනය සඳහා 1,245ක් සර්බියාවට 1,244ක් සහ රුසියාව සඳහා ශ්‍රමිකයින් 1,129ක්ද වශයෙන් 2024 වසරේදී විදෙස් රැකියා සඳහා යොමු කර තිබේ.
එයට අමතරව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, තුර්කිය, බංගලාදේශය, හොංකොං යන රටවල් සඳහා 1000ත් 500ත් අතර ප්‍රමාණයක්ද ඉරාකය, කැනඩාව, අයර්ලන්තය, මුරුසිය, මෝල්ටාව, ලිතුවේනියාව, ඉන්දියාව, පැපුවා නිව්ගිනියාව, ෆීජි, බල්ගේරියාව, පෝලන්තය, වියට්නාමය සහ ඉතියෝපියාව යන රටවලට ශ්‍රමිකයින් එක් රටකට 500ත් 100ත් අතර ප්‍රමාණයක්ද යොමු කර තිබේ. ඉතිරි රටවල් 119කටම යවා ඇත්තේ එක් රටකට ශ්‍රමිකයින් 100කටත් වඩා අඩු ප්‍රමාණයකි. එයින් රටවල් 19කටම ගොස් ඇත්තේ එක් ශ්‍රමිකයෙකු බැගින් වන අතර තවත් රටවල් 14කට ශ්‍රමිකයින් දෙදෙනෙකු බැගින් සහ රටවල් අටකට ශ්‍රමිකයින් තුන් දෙනෙකු බැගින්ද රැකියා සඳහා 2024 වසරේ ගොස් තිබේ.
1977 බලයට පත්වූ රජය ආරම්භ කළේද මැදපෙරදිග රටවල පවතින රැකියාවන් ඉලක්ක කර විදෙස් රැකියා ලබා දීමේ ව්‍යාපෘතියකි. වසර 48ක් ගතව තිබියදී පවා අදත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් යන රටවල් අතර මුලින්ම සඳහන් වන රටවල් වන්නේ මැදපෙරදිග රටවල් වීම විශේෂත්වයකි.
හදිසි මරණ 129ක්
විදෙස් රැකියාවල නිරතව සිටියදී සිය ජීවිත අහිමි වූ සංඛ්‍යාවද විශාලය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දී ඇති තොරතුරු අනුව 2024 වසරේදී පමණක් විදෙස්ගත ශ්‍රමිකයින් 473 දෙනෙකු මිය ගොස් තිබේ. එයින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ කුවේට් රටේදී වන අතර එම ගණන 115කි. ඒ අතරින් 66 දෙනෙකු කාන්තාවන්ය. දෙවැනියට වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ සවුදි අරාබියේදී වන අතර එම සංඛ්‍යාව 92කි. ඒ අතරින් 29 දෙනෙකු කාන්තාවන්ය. තෙවනුව වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ වන අතර එම සංඛ්‍යාව 61කි. ඒ අතරින් 17ක් කාන්තාවන්ය.
එතෙර රැකියාවට ගොස් සිටියදී, 2024 වසරේදී මියගිය 473 දෙනා විවිධ හේතු නිසා මිය ගොස් ඇති අතර වැඩිම සංඛ්‍යාවක් ස්වභාවික හේතු මත මියගොස් ඇති බව කාර්යාංශය ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. එම ගණන 344ක් වෙයි. ඒඅතර කාන්තාවන් 122 දෙනෙක් සහ පිරිමින් 222 දෙනෙක් වෙති.
එයට අමතරව විවිධ අනතුරු හේතුවෙන් කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 දෙනෙකුද මාර්ග අනතුරු හේතුවෙන් කාන්තාවන් හත් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 27 දෙනෙකුද මිය ගොස් තිබේ. මෙම මරණ 473 අතරට ඝාතන හතරක්, දිවි නසා ගැනීම් 53ක් (කාන්තාවන් 21ක් සහ පිරිමින් 32ක්) සහ වෙනත් හේතුන් මත මිය ගිය දස දෙනෙකුද ඇතුළත් වෙයි.
මෙම තොරතුරු ඉල්ලීමේදී 2024 වසර තුළදී නීත්‍යානුකූල නොවන අයුරින් විදෙස්ගත වූ පිරිස් සහ නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයින් විදෙස්ගත කරනු ලැබූ ආයතන සම්බන්ධයෙන්ද තොරතුරු විමසා සිටියත් එම තොරතුරු කාර්යාංශය සතුව නොමැති බව දන්වා තිබේ.
පසුගිය දිනෙක කෝප් කමිටුවේදි හෙළි වූ අයුරින් පුද්ගලයින් විදෙස්ගත කිරීමේදී විවිධ අක්‍රමිකතා රැසක්ද මෙම කාර්යාංශය හරහා පසුගිය කාලවලදී සිදුව ඇති බව නිරීක්ෂණය වෙයි.
කෙතරම් අඩුපාඩු තිබුණද විදෙස් රැකියා යන්න මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගකි. රැකියා සඳහා යන පිරිස්වල ආරක්ෂාව තහවුරු කරගෙන මෙම කෙෂ්ත්‍රය රැක ගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.