– මොහොමඩ් ආසික්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන වේදිකාව තුළ කතා බහට ලක්වීමට පටත් ගත්තේ මයට වසර ගණනාවකට පෙර සිටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම සිදු වන්නේ ලංකාවේ පමණක්ය යන්නත්, ලක්ෂ ගණනක විශ්‍රාම වැටුපක් ඔවුන්ට ලැබෙන බවත් එහිදී අවධාරණය කෙරිණි. මෙය ඇත්තක්ද? තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු හා වෙනත් මූලාශ්‍ර ඔස්සේ මේ සම්බන්ධයෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ශ්‍රී ලංකාවට ප්‍රජාතාන්ත්‍රවාදය හඳුන්වා දුන් එංගලන්ත පාර්ලිමේන්තුවද ඔවුන්ගේ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එය ක්‍රම දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කරන අතර මන්ත්‍රීවරුන් සඳහා එක් ක්‍රමයකුත් ඇමතිවරුන් සඳහා තවත් ක්‍රමයකුත් එහි ක්‍රියාත්මක වෙයි. එයට අමතරව යුරෝපා සංගමයට අයත් බොහෝ රටවලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමයක් නිර්මාණය කර තිබේ.
ලෝකයේ අනෙක් රටවල කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා ඇහුණ කතාව නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම අසාධාරණ බවත් එය වහාම අහෝසි කළ යුතු බවත්ය. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම අසාධාරණද?
වසර 45කට පෙර තීරණයක්
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ එම පාර්ලිමේන්තුවේම සම්මත වී ඇති 1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත සහ පසුව එයට එක් වූ යම් යම් සංශෝධන අනුවයි.
ඇත්තමට මන්ත්‍රීවරුන් ලබන්නේ කොපමණ විශ්‍රාම වැටුපක්ද? 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී, කාර්ය මණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ 1977 ජනවාරි මස හත්වනදා සිටයි.
2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 328 දෙනෙකු සඳහා සහ වැන්දඹු යැපෙන්නන් සඳහා 189 දෙනෙකුටද විශ්‍රාම වැටුප් ගෙවා ඇති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. එම තොරතුරු අනුව ජනවාරි මාසයේදී හිටපු මන්ත්‍රීවරුන් 328 දෙනා වෙනුවෙන් රුපියල් 23,385,520.77ක් (දෙකෝටි තිස් තුන් ලක්ෂ අසූ පන්දහස් පන්සිය විස්සයි ශත හැත්තෑහතක්) ලබා දී අතර වැන්දඹු යැපෙන්නන් සඳහා රුපියල් 11,020,666.14ක් (එක් කෝටි දස ලක්ෂ විසි දහස් හයසිය හැට හයයි ශත දහ හතරක්) ද ලබා දී තිබේ. ඒ අනුව 2025 ජනවාරි මාසයේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා ගෙවා ඇති මුළු මුදල රුපියල් 34,406,186.91කි. (තුන් කෝටි හතළිස් හතර ලක්ෂ හයදහස් එකසිය අසූ හයයි ශත අනූ එකක්) මෙලෙස විශ්‍රාම වැටුප් ලබා ගන්නා මන්ත්‍රීවරුන් අතර වසර පහේ සිට වසර 40ක් වැනි දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි අයද වෙති. (කෙසේ වෙතත් උපරිමය වසර 15ක් ලෙස ගණනය කෙරේ.)
ලක්ෂ 7ක් විශ්‍රාමිකයෝ
සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන් ලක්ෂ හතකට වැඩි පිරිසක් මේ වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටිති. 2023 සංඛ්‍යාලේඛන අනුව 2023 වසරේදී විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ගණන 695,726ක් විය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇත්ත වශයෙන්ම විශ්‍රාම වැටුපක් ලැබීම සුදුසු නැතිද? ඔවුන් කිසිදු සේවයක් සිදු කර නැතිද? නැත්නම් කළ සේවය ප්‍රමාණවත් නැතිද? එසේත් නැත්නම් විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ගැටලු පවතීද ආදි ප්‍රශ්න රැසක් ජනතාවගේ සිත් තුළ ඇති වීම සාමාන්‍ය දෙයකි. අපේ රටේ පවතින සෑම නීතියක්ම සම්මත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්න් විසිනි. නිදහසින් පසු බිහි වූ අපේ පාර්ලිමේන්තුව තුළ ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවරුන්, ව්‍යාපාරිකයින් පමණක් නොව රජයේ උසස් නිලධාරීන්ද රැසක් නියෝජනය කර තිබේ. ඇතැම් පිරිස් රාජ්‍ය සේවයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාද තිබිය හැකිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන්නේ ඔවුන් ලැබූ වැටුපෙන් තුනෙන් එකකි. මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ඒකක පහක් හරහා මෙම විශ්‍රාම වැටුප් ගෙවීම සිදු වන අතර අගමැති/ කතානායක/ කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරු, විපක්ෂ නායක/ නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස වර්ගීකරණය කර තිබේ.
විශාම වැටුප් සහ දීමනා
අගමැතිවරයෙකු අවුරුදු පහක අවම සේවා කාලය සම්පූර්ණ කර ඇත්නම් හිමි වනුයේ රුපියල් 23,833.33ක විශ්‍රාම වැටුපක් වන අතර අවුරුදු 15 සම්පුර්ණ කර ඇත්නම් අගමැතිවරයාට හිමි වනුයේ රුපියල් 47,666.66ක වැටුපකි. කතානායකවරයෙකු වසර පහක අවම කාලය සම්පූර්ණ කර ඇති විට රුපියල් 22,833.33ක විශ්‍රාම වැටුපක් හිමි වන අතර අවුරුදු 15 සම්පූර්ණ කර ඇත්නම් හිමි වනුයේ රුපියල් 45,666.66ක වැටුපකි. කැබිනට්, කැබිනට් නොවන ඇමතිවරු සහ විපක්ෂ නායකවරයා අවම කාලය වන වසර පහ සම්පූර්ණ කර අති විට ලැබෙන්නේ රුපියල් 21,666.66ක විශ්‍රාම වැටුපක් වන අතර උපරිම කාලය වන වසර 15 සම්පූර්ණ කර ඇති විට ඔහුට හෝ ඇයට හිමි වන්නේ රුපියල් රුපියල් 43,333.32ක විශ්‍රාම වැටුපකි. නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති සහ නියෝජ්‍යවරුන් වසර පහක අවම කාලය සම්පූර්ණ කළ විට ඔහුට හෝ ඇයට හිමි වන විශ්‍රාම වැටුප රුපියල් 21,166.66ක් වන අතර උපරිම කාලය වන වසර 15 සම්පූර්ණ කර ඇති විට ලැබෙන විශ්‍රාම වැටුප 42,333.33කි. මෙම කුලකයේ අවසන් කොටස වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහක අවම කාලය සම්පූර්ණ කර ඇති විට ලැබෙන්නේ රුපියල් 18,095.00ක වැටුපක් වන අතර උපරිම කාලය වන වසර 15 සම්පූර්ණ කළ විට ලැබෙනුයේ රුපියල් 36,190.00ක විශ්‍රාම වැටුපකි.
පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලැබූ මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙනු ලබන විශ්‍රාම වැටුපට අමතරව වෙනත් දීමනාවන් කිහිපයක්ද හිමි වන බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. ඒ අනුව රුපියල් 6,025.00ක ජීවන වියදම් දීමනාවක්, රුපියල් 3500.00ක අන්තර් දීමනාවක්, 2022 දී රුපියල් 3000.00ක අන්තර් දීමනාවක්, 2024දී රුපියල් 3000.00ක අන්තර් දීමනාවක්, ඊට අමතරව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් 10,000.00ක අන්තර් දීමනාවක්ද, මන්ත්‍රීවරුන්ට මෙන්ම වැන්දඹුවන්ටද හිමි වන තවත් රුපියල් 15,000.00 දීමනාවක්ද වෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මසකට රුපියල් 42,525.00ක සහ ඔවුන්ගේ වැන්දඹු යැපෙන්නන්ට රුපියල් 32,525.00ක විවිධ නම්වලින් වන දීමනා හිමි වන අතර මෙවන් දීමනා වසර 30-40ක සේවා කාලය අවසන් කළ රජයේ සේවකයින්ට හිමි නොවීම සමාජය තුළ මන්ත්‍රීරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අතෘප්තියක් ඇති වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වෙයි. මෙම තත්වය තුළ කළ යුතුව තිබුණේ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ක්‍රමය නැවත සලකා බලා සුදුසු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීම වුවද, විපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී රවි කරුණානායකගේ පෞද්ගලික යෝජනාවක් මත මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප මුළුමනින් අහෝසි කිරීමට වත්මන් පාර්ලිමේන්තුව තීරණය කළේය. එම තීරණය දැනට විශ්‍රාම වැටුප් ලබන කිසිවෙකුට බලපෑමක් ඇති නොකළද, එම යෝජනාවට සහාය පළ කළ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමේ අවස්ථාව අහිමි කළේය.