කේ. ප්‍රසන්නා
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ වේදිකාවලද විවිධ අදහස් පළ විය. කෙසේ වෙතත් ඔවුන්ගේ වරප්‍රසාද සඳහා රජය තවදුරටත් ප්‍රතිපාදන ලබාදෙමින් සිටියි.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස සඳහා වන විදුලි බිල්පත්, ජල බිල්පත්, ජංගම දුරකථන බිල්පත් වැනි වරප්‍රසාද කිහිපයක් අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය වසරේ තීරණය කරන ලදි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදිය යුතු වරප්‍රසාද සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ලබාදුන් තීන්දුව පදනම් කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය මෙම නිර්දේශය නිකුත් කර තිබුණි. එම තීන්දුවට අනුව හිටපු ජනාධිපතිවරුන්ට මුදල් ලබාදිය හැක්කේ නිල නිවසට සහ වාහන නඩත්තුවටත් ඉන්ධන සඳහාත් පමණි.
නිල නිවාස, වාහන සහ ඉන්ධන
මෙලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවීම්වලට සීමා පැනවුවද, 1986 අංක 4 දරන ජනාධිපති වැටුප් පනත යටතේ, “සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය. යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවත් හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ සැමියන්ට විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩලය, නිල නිවාස, ආරක්ෂක භටයින්, රථවාහන සහ ඉන්ධන වියදම් ලබා දිය යුතු බවත් සඳහන් වේ.
මේ මත පදනම්ව 2023 වසර දක්වා ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 37ක් වෙන් කර ඇත. එයින් පළමු මාස හය ඇතුළත පමණක් රුපියල් මිලියන 22.6ක් වියදම් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ලබාදී ඇති තොරතුරුවල සඳහන් වේ.
2024 වසර සඳහා හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප්, කාර්යාල සහ ඉන්ධන දීමනා සඳහා රුපියල් මිලියන 41.28ක් වෙන් කර ඇත. මෙය පෙර වසරට වඩා රුපියල් මිලියන 4ක වැඩිවීමක් වන අතර, මේ අනුව සෑම වසරකම හිටපු ජනාධිපතිවරුන්ට ගෙවන මුදල් වැඩි කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
පස්දෙනෙකුගේ නඩත්තුවට කෝටි 16ක්
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 නොවැම්බර් 12 සිට 2005 නොවැම්බර් 19 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ලෙස කටයුතු කළාය. ඉන් පසු 2015 වසර දක්වා වසර 10කට රුපියල් 25,000ක මාසික විශ්‍රාම වැටුපක් ඇයට හිමි විය. 2016 වසරේ ආරම්භයේ සිට මේ දක්වා රුපියල් 97,500ක මාසික විශ්‍රාම වැටුපක් ලබා දෙන අතර ඊට අමතරව පෞද්ගලික ලේකම් දීමනාව ලෙස රුපියල් ලක්ෂයක් සහ ඉන්ධන දීමනාව ලෙස රුපියල් ලක්ෂ 5ක් මාසිකව ලබා දී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 සිට 2015 ජනවාරි 9 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අගමැති සහ හිටපු ජනාධිපති යන ධුර සඳහා ඔහුට විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ. ජනාධිපති විශ්‍රාම වැටුප ලෙස 2015 ජනවාරි මාසය සඳහා රුපියල් 71,500 ක මුදලක් ගෙවා ඇති අතර, එතැන් සිට ඔහුට මසකට රුපියල් 97,500ක් ගෙවා ඇත. ඊට අමතරව පෞද්ගලික ලේකම් දීමනාව ලෙස රුපියල් 50,000ක් සහ ඉන්ධන දීමනාව ලෙස රුපියල් 704,100ක් ලබා දෙනු ලැබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 9 සිට 2019 නොවැම්බර් 18 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහුට 2019 නොවැම්බර් මාසය සඳහා රුපියල් 48,750 ක දීමනාවක් ලබා දුන් අතර ඉන් පසු මසකට රුපියල් 97,500 ක් ලබා දී ඇත. මීට අමතරව රුපියල් ලක්ෂයක පෞද්ගලික ලේකම් දීමනාවක් සහ රුපියල් 704,100 ක ඉන්ධන දීමනාවක් ලබා දෙනු ලැබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් 18 සිට 2022 ජූලි 14 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. 2022 ජූලි මාසය සඳහා ඔහුට රුපියල් 56,61290 ක් ගෙවා ඇති අතර ඉන් පසු මසකට රුපියල් 97,500 ක් ගෙවා ඇත. මීට අමතරව රුපියල් ලක්ෂයක පෞද්ගලික ලේකම් දීමනාව දීමනාවක් සහ රුපියල් 704,100 ක ඉන්ධන දීමනාවක් ලබා දෙනු ලැබේ.
හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹු සහන යෝජනා ක්‍රමය මත 2015 වසර දක්වා හේමා ප්‍රේමදාස මහත්මියට මසකට රුපියල් 16,666.67 බැගින් වසර 21ක් ගෙවා ඇති අතර, එතැන් සිට මසකට රුපියල් 65,000 බැගින් ගෙවා ඇත. මීට අමතරව රුපියල් 23,000ක පෞද්ගලික ලේකම් දීමනාව දීමනාවක් ලබා දෙනු ලැබේ. ඉන්ධන දීමනාව ගෙවා නැත.
හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹු බිරිඳ ලෙස හේමා ප්‍රේමදාස මහත්මිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට 2024 සැප්තැම්බර් මාසය දක්වා විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 163.24කි.
අමතර වියදම්වලට තවත් කෝටි 15ක්
මේවාට අමතරව 2023 ජූලි මාසයට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව හරහා වාර්ෂික අයවැය ප්‍රතිපාදන ලබා දෙන විට හිටපු ජනාධිපතිවරයකු සඳහා වෙනත් වියදම් දැරීම සඳහා වියදම් අයිතමයක් ලබා දී ඇත. ලේකම් වැටුප් සහ ජල හා විදුලි බිල්පත් ගෙවීම එම වියදම් අයිතමය හරහා සිදු කෙරේ. එක් එක් හිටපු ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයාගේ වැන්දඹු බිරිඳට දැරෙන ලේකම් වැටුප් දීමනාව, ඉන්ධන දීමනාව, ජල බිල්පත් සහ විදුලි බිල වෙන වෙනම ලබාදීමට හැකියාවක් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

