පුවත්

හිටපු කතානායකගේ අයිතිවාසිකම් පාර්ලිමේන්තුවෙන්ම කඩ වුණාද?හිටපු කතානායකගේ අයිතිවාසිකම්

By In

-ජනක සුරංග

10වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ පා.ම. අශෝක රන්වල (අසෝක සපුමල් රන්වල) ගේ නම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් යෝජනා කරනු ලැබුවේ ‘ආචාර්ය අසෝක රන්වල’ යනුවෙනි. මෙම යෝජනාව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ස්ථීර කරනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ 22 වෙනි කථානායකවරයා අශෝක රන්වල නිතරගයෙන්ම තේරී පත් විය. ඒ අනුව එම පත්වීම පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය විසින්ද නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරිණි. 

කෙසේ වුවත් දින කිහිපයක් යන්නටත් මත්තෙන් අභිනව කථානායකවරයාගේ ආචාර්ය පදවිය සත්‍යයක්ද අසත්‍යක්ද යන්න පිළිබඳ සමාජ මාධ්‍ය තුළත්, ජාතික මාධ්‍ය තුළත් විවිධාකාරයෙන් විශාල අවධානයකට ලක් වූ අතර මේ නිසා මහජනතාව තුළද හට ගත්තේ දැඩි කුතුහලයකි. එමෙන්ම ආණ්ඩුවේ විනිවිද භාවය හා පාරිශුද්ධත්වය පිළිබඳව ජනතාව ඉදිරියේ අභියෝගයට ලක් වූ මුල්ම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මින් අනතුරුව සමාජය තුළ ඇති වූ කතා බහ අනුව හා සිය අධ්‍යාපනික මට්ටම පිළිබඳ සත්‍යතාව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට එම අවස්ථාව වන විට රන්වල මහතාට නොහැකි තත්ත්වයක් උදා වී තිබූ නිසාවෙන් ඔහු විසින් සිය කැමැත්තෙන්ම පාර්ලිමේන්තුව වෙත ලිපියක් නිකුත් කරමින් එහි කථානායක ධූරයෙන් ඉල්ලා අස්විය. එමෙන්ම ඒ අතරතුර පාර්ලිමේන්තු විසින් කථානායක ධුරය තහවුරු කරමින් නිකුත් කරන ලද ආචාර්ය අශෝක රන්වල ලෙස හැඳින්වූ පූර්ව ලිපියද පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබිණි.

එතැන් සිට මේ වනතුරුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිශ්චිතවම සිදු වූයේ කුමක්ද? එම ආචාර්ය උපාධියේ සැබෑ තත්ත්වය කුමක්ද? ආචාර්ය උපාධි අසත්‍යයක් නම් එසේ නෛතික පිළිගැනීමක් සහිතව ඒ පාර්ලිමේන්තු විසින් පිළිගැනීමට ලක් කළේ ඇයිද? යනාදී කාරණා කිසිවකට රජය විසින් සාර්ථක පිළිතුරු ලබාදී නැත. මේ හේතුව නිසා ජනතාව විසින් පත් කරගන්නා ලද මහජන නියෝජිතයන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට අහිමි වී තිබේ. මේ උද්ගත වූ තත්ත්වය තුළ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI සංසදයේ සාමාජිකයෙකු ලෙසින් උක්ත ගැටලු ඇති වූ දෙසැම්බර් මාසයේදීම පාර්ලිමේන්තුවට තොරතුරු දැන ගැනීමේ අයදුම් පත්‍රයක් යොමු කළ අතර එයින් විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ අධ්‍යාපනය හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ තොරතුරුයි. නමුත් මෙම තොරතුරු පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය වූ  www.parliment.gov.lk  තුළ ප්‍රසිද්ධ කර ඇතැයි යන පිළිතුර ලබා දෙමින් ඉන් ඔබ්බට එම දත්ත හා තොරතුරු පිළිබඳ තහවුරු කිරීමක් සිදු කිරීමට එහි තොරතුරු නිලධාරී හෝ නම් කළ නිලධාරී ක්‍රියාකර තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ පවතින තොරතුරුවල සත්‍ය අසත්‍යතාව හා යාවත්කාලීනබව පිළිබඳ දැඩි ගැටලුවක් පැවති හෙයින් තොරතුරු ඉල්ලුම්කරු තොරතුරු ඉල්ලීමෙන් අතෘප්තියට පත් වී මේ පිළිබඳව තොරතුරු කොමිසම ඉදිරියේ අභියාචනය කරන ලදි. මේ නිසා එකී අභියාචනා විමර්ශනයේදී පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ පවතින තොරතුරුවල අසම්පූර්ණ හා අවිධිමත් ස්වභාවයත්, ඒවා නිසි පරිදි යාවත්කාලීන නොකර ඇති බවත් කොමිසම ඉදිරියේ පෙන්වා දීමට තොරතුරු ඉල්ලුම්කරුට සිදු විය. ඉන් අනතුරුව ඉකුත් ජුනි මස මුල් සතියේදී, අදාළ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය තුළ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දත්ත හා තොරතුරු ඉදිරිපත් කරන මෙනුව  නිවැරදිව යාවත්කාලීන කිරීම සිදු කර ඒ පිළිබඳව කොමිසමට තහවුරු කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් ලිඛිතව සනාථ කිරීම නිසා මෙම විමර්ශනය අවසන් කිරීමට කොමිසම ඉදිරියේ තීරණය කරන ලදි. ඒ වන විටත් මෙම ගැටලුව සඳහා ජනතාවට තොරතුරු ලබා ගැනීමට තිබූ අවස්ථාව මාස 06කින් ප්‍රමාද වී තිබිණි. නමුත් තොරතුරු පනතේ ඇති ශක්තිමත් භාවය හේතුවෙන් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට හෝ හැකිවීම එක්තරා ජයග්‍රහණයකි. නොඑසේ නම් එය තවත් දීර්ඝ කාලයකට යාවත්කාලීන නොවී එලෙසම පවතිනු ඇත. 

තොරතුරු අනුව මතුවූ උභතෝකෝටිකය…..

කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම ඇතැම් විට එම තොරතුරු හෙළි කිරීමට ඔහුගේ හෝ ඇයගේ ඇති කැමැත්ත, අකමැත්ත අනුව පෞද්ගලික තොරතුරක් විය හැකිය. නමුත් ජනතා ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයකුගේ සැබෑ අධ්‍යාපන මට්ටම දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ඉතා සාධාරණ එකකි. ඒ කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුපක්ෂය, පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ මනා අධ්‍යාපනයක් හා හික්මීමක් සහිත පුද්ගලයන් යැයි ජනතාවට ප්‍රකාශ කරමින්, මැතිවරණයට පෙර ප්‍රබල ජන මතයක් ගොඩනැගීමට ක්‍රියා කළ බව රහසක් නොවේ.  ඒ අනුව නම් කිසිදු පක්ෂ බේදයකින් තොරව, තම තමන්ගේ අධ්‍යාපන හා වෘත්තීය මට්ටම් නිවැරදිව හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමකි.

ඒ අනුව  කතානායකවරයාගේ සැබෑ අධ්‍යාපන මට්ටම පිළිබඳව පොදු සමාජය තුළ ඇති වූ කුතුහලය නිසාවෙන් යොමු කළ මෙම තොරතුරු ඉල්ලීමට අදාළ නිශ්චිත කාරණයට පාර්ලිමේන්තුව විසින් ලබා දී ඇති තොරතුර වන්නේ අශෝක රන්වල මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඔහුගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ තොරතුරු ලබාදී නොමැති බවයි. ඒ අනුව එකී තොරතුරු අනාවරණය මත පදනම්ව පහත ගැටලු අප ඉදිරියේ නිර්මාණය වේ.

  1. පාර්ලිමේන්තුවට තමාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳව නිවැරදි තොරතුරු අසෝක මහතා විසින් ලබා නොදුන් පසුබිමක, ඔහු ආචාර්යවරයෙකු ලෙස පාර්ලිමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළේ කෙලෙසද? 
  2.  පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වැනි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා නිල වෙබ් අඩවියක් තුළ කිසියම් දෝෂයකින් හෝ වැරදීමකින් නිල පණිවිඩයක් නිකුත් කරන ලද්දේ නම් එය ඉවත් කර ගැනීමට පමණක් කටයුතු නොකොට, ඊට නිල වශයෙන් හේතු හෝ සාධාරණ කරුණු දැක්වීමේ නිල නිවේදනයක් මගින් වෙබ් පිටුව පරිශීලකයන් හා මහජනතාව දැනුවත් කිරීමට පාර්ලිමේන්තුව වැනි වැදගත් ආයතනයක් ක්‍රියා නොකළේ ඇයි?
  3. වර්තමානයේදී අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් පසුව ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා නිල තොරතුරු පත්‍රිකාවක් හඳුන්වා දී ඇති අතර, එම තොරතුරු පත්‍රිකාව තුළ අදාළ පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ අධ්‍යාපන හා වෘත්තීය මට්ටම පිළිබඳ තොරතුරුද එක් රැස් කෙරේ. එසේ තොරතුරු එක්රැස් කරගන්නා අයදුම් පත්‍රයට අශෝක රන්වල මහතා විසින් තම තොරතුරු ඉදිරිපත් කර නොමැති නම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය ඒ පිළිබඳව සැලකිලිමත් නොවුණේ ඇයි? එමෙන්ම ජනතාවට සත්‍ය අනාවරණය කිරීමට ප්‍රමාද කිරීම සහ එසේ විනිවිදභාවයකින් කටයුතු නොකළේ ඇයි? 

එසේ තමා විටින් එම තොරතුරු පත්‍රයට තමාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳව දැනුම් දී නොතිබියදීත් මේ ගැටලුවට පාදක වූ  අධ්‍යාපන සුදුසුකම් හිටපු කතානායක අශෝක සපුමාල් රන්වල මහතාගේ නමට ඈඳා මහජනතාවට ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මුහුණ දීමට සිදු වූ සිදු වූ අගතිදායක තත්ත්වය හා සිය කථානායක ධුරයෙන් පවා අනපේක්ෂිත ආකාරයට ඉවත්වීමට සිදුවීම මගින් එම මහතාගේ මූලික අයිතිවාසිකම් පාර්ලිමේන්තු නිලධාරීන්ගේ ක්‍රියාවන් අනුව කඩ වී ගියේද යන ප්‍රශ්නයද මතු කළ හැකිය. එසේ යම් අගතියක් සිදු වී නම් එම පාර්ලිමේන්තුවේම වර්තමානයේදී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නමට ආචාර්ය නාමය ඈඳා සඳහන් ප්‍රසිද්ධ කිරීම නිසා මතු වූ ගැටලුවේදී, ඔහු ඊට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ක්‍රියා කරන ලද ආකාරයට හෝ වෙනත් ආකාරයකට අශෝක සපුමල් රන්වල මහතා ක්‍රියා නොකළේ ඇයි? කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කළ මෙම තොරතුරුවලද සත්‍ය අසත්‍යතාව නිවැරදිව පරීක්ෂා කර ගැනීමට, මේ වන විටත් තොරතුරු පනත අනුව තවදුරටත් ක්‍රියාකරගෙන යන අතර ජනතාවගේ තොරතුරු අයිතිය රැක ගැනීමට හා සත්‍ය දැනගැනීමේ අයිතියට ලබා දිය හැකි උපරිම සාධාරණය ඉටු කිරීමට අප නිරන්තරයෙන් වෙහෙසෙන බව සිහිපත් කරන්නෙමු.

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *