පුවත්

සත්ත්ව සංගණනයේ වියදම රුපියල් ලක්ෂ 27යි  

By In
  • සංගණනය විද්‍යාත්මක නෑ – පරිසරවේදීන්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම වසරේ මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කරනු ලැබූ  ජාතික සත්ත්ව සංගණනය වෙනුවෙන් වැය කළ සමස්ත වියදම රුපියල් 26,97,844.00 බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

එම මුදල වැය කර ඇත්තේ සංගණන පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් ලක්ෂ විසි හතරක පමණ (2,478,000) මුදලක්, ඒ වෙනුවෙන් පළ කරනු ලැබූ පුවත්පත් දැන්වීම් සඳහා රුපියල් 65,844ක මුදලක්, ප්‍රවාහන වියදම් වෙනුවෙන් රුපියල් 154,000ක මුදලක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ. එමෙන්ම මේ අතරට ඒ වෙනුවෙන් සේවාවන්හි යෙදවූ සියලුම රාජ්‍ය  නිලධාරීන්ගේ කාලය, ශ්‍රමය මෙන්ම පිරිවැයද ඇතුළත් විය යුතු වන්නේය.

කෙසේ නමුත් මේ ආකාරයෙන් මහජන මුදල් රුපියල් මිලියන 2.6ක පමණ වියදමින් සිදු කරනු ලැබූ සත්ත්ව සංගණනයට අනුව මෙරට තුළ රිලවුන් 5,197,521ක් (පනස් එක් ලක්ෂ අනූ හත් දහස් පන්සිය විසි එකක්), වඳුරන් 1,747,628ක් (දාහත් ලක්ෂ හතළිස් හත් දහස් හයසිය විසි අටක්), දඬු ලේනුන් 2,666,630ක් (විසිහය ලක්ෂ හැට හය දහස් හයසිය තිහක්) මෙන්ම මොනරුන් 4,285,745ක් (හතළිස් දෙලක්ෂ අසූපන් දහස් හත්සිය හතළිස් පහක්) සිටින බවට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබේ. මෙම වාර්තාවට අනුව දිවයින පුරා සිටින වඳුරන්, රිලවුන්, මොනරුන් සහ දඬුලේනුන් සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්ෂයකට අධිකය. (13,897,524) කෙසේ නමුත් මෙම දත්තයන්හි ඇති නිවැරදිභාවය පිළිබඳව බොහෝ පරිසරවේදීන් හා විද්වතුන් සැක පළ කර තිබේ. 

සත්ත්ව සංගණනයට අනුව වැඩිම රිලා ගහනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය634,668කි. එමෙන්ම160,315ක් වන වැඩිම වඳුරු ගහනය අනුරාධපුරයෙන් වාර්තා වේ. වැඩිම දඬුලේනුන් හා මොනරුන් ගහනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය පිළිවෙළින්546,715ක් හා621,517ක් ලෙස ගණනය වී තිබේ. එමෙන්මසත්ත්ව සංගණනයේ දිස්ත්‍රික්ක අනුව ප්‍රතිඵල පහත වගුවෙහි දැක්වෙන අතර වැඩි තොරතුරුඑහි ඇතිQR කේතය මගින් ලබාගැනීමට හැකිය.

සංගණනය විද්‍යාත්මක නෑ 

මෙම සංගණනය නිසි පරියේෂණ ක්‍රමවේද භාවිත නොකරමින් සිදුකළ කාර්යයක් බව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසයි.  “සංගණනයක් කරන කොට පරමාර්ථයක් තියෙන්න ඕන, ඒ සඳහා ක්‍රමවේදයක් තියෙන්න ඕන, ක්‍රමවේදය තීරණය කරන්නේ පරමාර්ථය අනුව, තුන්වැනි කාරණය තමයි නිශ්චිත බවක් තියෙන්න ඕන, හතරවැනි කාරණය තමයි විශ්වසනීයත්වය (Credibility) තියෙන්න ඕන, මොකද ලැබෙන දත්ත විශ්වාසවන්ත නැත්නම් එම සංගණනයේ ගුණාත්මක භාවය නැතිවෙනවා. නමුත් එම ගුණය මෙම සංගණනයේ තිබුණේ නෑ, ඒ වගේම මෙහි පරමාර්ථයක් හරියට පේන්න නැති නිසා සතුන් පිළිබඳ කිසිම විද්‍යාත්මක පදනමකින් නොවේ සමීක්ෂණයට පෝරමය හදලා තිබුණේ. නිදසුනක් ලෙස වඳුරා ගතහොත් වියළි කලාපයේ ඉන්නේ අළු වඳුරා. තෙත් කලාපයේ ඉන්නේ කළු වඳුරා. කළු වඳුරාගේත් ඉන්න ප්‍රදේශ අනුව උප විශේෂ  තියෙනවා. රිලවා ආවේණික සතෙක් වුණත් ප්‍රදේශ අනුව උපවිශේෂ තියෙනවා. දඬුලේනුන්ගේත් කලාපයේ හැටියට උප විශේෂ තියෙනවා. මේවා නොබලා, ‘දඬුලේනුන් මෙච්චර ඉන්නවා දඬුලේනුන් ප්‍රශ්නයක්’ කියන්න බෑ අපිට. මේ සතුන් අතර අතිශය දුර්ලබ උප විශේෂයක් හිටියොත් අපි මොනවද කරන්නේ? එහෙම බලන්නේ නැතිව කරන සංගණනයක් වැරදියි.’’ ඔහු වැඩි දුරටත් කියා සිටියේය. 

කෘෂිකර්ම අමාත්‍යාංශය ලබාදුන් තොරතුරුවලට අනුව මෙම සත්ත්ව සංගණනය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත්තේ වන සත්ත්ව හානි අවම කිරීමට අදාළ විශේෂ කමිටුවක් මගිනි. පසුව එය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අනුමත කර තිබේ. එමෙන්ම මෙම කටයුත්ත බ්‍රිතාන්‍යයේ සත්ත්ව සංගණන සඳහා භාවිත කරන ‘පොයින්ට් කවුන්ටින්’ නමැති ක්‍රමවේදය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වන සත්ත්ව හානි අවම කිරීමට අදාළ කමිටුව ප්‍රකාශ කර තිබේ. නමුත් මෙය සිදු කිරීමට මත්තෙන් නිසි පර්යේෂණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සැලකිලිමත් නොවී ඇති පසුබිමක ඒ සඳහා නිලධාරින්ද අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් දැඩි අවධානයට ලක් විය යුතුය. 

 එමෙන්ම මෙම  වාර්තාව මගින් ප්‍රකාශයට පත් කළ තොරතුරු අනුව නිර්දේශ රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ වන විට ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන නිර්දේශ අතර, නිසි කසළ කළමනාකරණය, සත්‍ත්ව වන්ධ්‍යකරණ වැඩසටහන්, වනජීවි කළමනාකරණයට අවශ්‍ය නීති රෙගුලාසි, සත්ත්ව ගහනය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු ඇති කිරීම ආදිය වේ. මෙම ජාතික සත්ත්ව සංගණනයේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය 2025 මාර්තු 15වන දා ක්‍රියාත්මක කළ අතර, එහි වාර්තාවේ තොරතුරු ජුනි  12 වනදා  ප්‍රකාශයට පත් කළේය. නමුත් ඒ වන විටත් අප විසින් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත අයදුම්පතක් යොමු කර තිබුණි.  

 කෙසේ නමුත් මේ ආකාරයෙන් විශාල මහජන මුදලක් යොදවා සිදු කළ මෙම සත්ත්ව සංගණනයෙන් පසු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම එම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ කුමන විද්‍යාත්මක පදනමක් මතද යන්න මහජනයාට දැනගැනීමට සැලැස්වීම බලධාරීන්ගේ වගකීමකි.  

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *