පුවත්

වෙබ් අඩවි තහනම ගැන තොරතුරු නොදී ටෙලිකොම් සහ ටීආර්සී කට්ටි පනී!

By In

– සජීව විජේවීර

තම දැනුම සහ අත්දැකීම් තවත් පිරිසකට සන්නිවේදනය කිරිමට භාෂාමය හා කථන හැකියාව ලැබීම මානව පරිනාමයේ දී මිනිසා ලැබූ සියලු ජයග්‍රහණයන්වලට අඩිතාලම විය. 

එහෙත්, අතීතයේ පටන් වර්තමානය දක්වාම මානව වර්ගයාගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධා කරන්නෝ සිටිති. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ “සෑම පුරවැසියකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.” යනුවෙනි. එමගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත.

එය එසේ දැක්වුව ද ව්‍යවස්ථාවේ 15 (2) හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා දක්වා ඇත. 

එම වගන්තිය අනුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගීතාවය තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව පමණි. 

භාෂණයේ නිදහසෙහි සීමා

එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාවද රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලා ගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්වය යනුවෙන් සඳහන් වේ. නීතිය යන්නට මහජන ආරක්ෂාව සඳහා සාදනු ලබන හදිසි නීතිය පැනවීම ‍සහ එවැනි අවස්ථාවලදී සිදු කරන වාරණයන් වැනි නියෝගද ඇතුළත්ය.

20 සියවසේ අග භාගයේ දී භාවිතයට ආ අන්තර්ජාලය හේතුවෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පුළුල්ව පැතිරී ගිය අතර ලෝකය පුරාම ඩිජිටල් අවකාශයේ තොරතුරු හුවමාරුව වඩාත් වේගවත් වන්නට විය. මේ තත්වය ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබුණු අතර මහජනතාව අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සන්නිවේදනයට වඩාත් ආශක්ත විය. 

ඩිජිටල් අවකාශයේ තොරතුරු සන්නිවේදනයේදී, සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ තොරතුරු සන්නිවේදනයේදී ඇති සීමා මායිම් බොහොමයක් දක්නට නොලැබුණු අතර වේගවත් සන්නිවේදනය, වඩාත් විස්තරාත්මක තොරතුරු අඩංගු වීම සහ සන්නිවේදනයේදී ඇති සමීප බව නිසාම ජනතාව ඒ කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට විය. 

මෙවැනි පසුබිමක් තුළ වරින් වර ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජයන්ට ඩිජිටල් මාධ්‍ය සන්නිවේදනය මහා හිසරදයක් ව පැවැතිණි. ඔවුන් නිරන්තරව කියා සිටියේ ඩිජිටල් අවකාශයේ සාවද්‍ය තොරතුරු, වෛරීසහගත ප්‍රකාශ, ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම්, අපරාධමය පෙළඹවීම්, අපහාසාත්මක තොරතුරු, ළමා හා කාන්තා හිංසනය ආදිය සිදු වන බවයි. ඒ නිසා මේවා වාරණය කළ යුතු බව බොහෝ පාලකයෝ මෙන්ම රජයේ බලධාරීහුද කීහ. 

සීමාව කා වෙනුවෙන්ද?

ඩිජිටල් අවකාශයක අදහස් ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1 වගන්තිය අනුව ජනතාවට හිමි මූලික අයිතිවාසිකමක් ආරක්ෂා වේ. නමුත් නමුත් 15(2) සහ 15(7) වගන්ති අනුව එයට සීමා මායිම් යෙදිය යුතු නම් හෝ එවැනි ප්‍රකාශයක් වාරණය කරන්නේ නම් ඒ සඳහා පිළිගත් නීතිමය රාමුවක් යටතේ සිදුකළ යුතුය යන්න අපගේ අදහසයි. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. එහි වරදක් ද නැත. 

නමුත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට වැට බැඳීම සිදුවිය යුත්තේ පාලකයන්ගේ හෝ එම තොරතුරු සන්නිවේදනය හේතුවෙන් යම් කිසි හානියක් සිදුවනවා යැයි කෑ මොර දෙන දූෂිතයන්ගේ, අපරාධකරුවන්ගේ සහ වංචාකරුවන්ගේ වුවමනා එපාකම් අනුව නොවේ. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අයථා ලෙස පරිහරණය කරන්නේ නම් එය වැළැක්වීමට, අවවාද කිරීමට, වාරණය කිරීමට, හතනම් කිරීමට හෝ වෙනත් යම් දඬුවමක් පැනවීමට අවශ්‍ය තරම් නීති ශ්‍රී ලංකාවේ තිබේ. 

නමුත් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් අවකාශයේ තොරතුරු සන්නිවේදනය කරනු ලබන වෙබ් අඩවි, සමාජ මාධ්‍ය අවකාශයන්, තොරතුරු සම්පාදකයන් අවහිර කර ඇත්තේ එවැනි නීත්‍යානුකූල ක්‍රමවේදයකට නොවන බව තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරුවලින් තහවරු කරගැනීමට හැකියාව ලැබිණි. 

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය අවකාශ සහ තොරතුරු සම්පාදනය කිරීම් අවහිර කර ඇත්තේ ඒවා අවහිර කිරීමේ බලය ඇති විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වැනි ආයතන විසින් ඒ ඒ කාලවල දී බලය හෙබවූ පාලකයන්ට අවශ්‍ය පරිදිය. 

ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත සිට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි සමාජ මාධ්‍ය අවකාශයන් මෙරට ජනතාවට නැරඹිය නොහැකි ලෙස අවහිර කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනනයෙන් තොරතුරු ඉල්ලා අයදුම් පත්‍ර දෙකක් එකම දිනකදී අප විසින් ඉදිරිපත් කරන ලදි.

විකාරසහගත ප්‍රතිචාර

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු නිලධාරී, සාමාන්‍යාධිකාරී ජයනි වර්ණකුලසූරිය පවසා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අප වෙත එම තොරතුරු ලබාදී ඇති බැවින් තොරතුරු ලබාදීම අනවශ්‍ය බවයි. එය 2016 අංක 12 දරන තොරතුරු පනත යටතේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට හැකි හේතුවක් නොවේ. එමෙන් ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද ඒ වන විට කිසිදු තොරතුරක් අප වෙත ලබාදී තිබුණේ නැත. 

විදුලි සංදේශ නියාමන කොමිසමේ තොරතුරු නිලධාරී සුජීවා රෙඩ්රිගෝ දන්වා සිටියේ වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ දර්ශනය වීම අවහිර කිරීම අවශ්‍ය අවස්ථාවන්හි දී ඒ සම්බන්ධව ලැබෙන උසාවි නියෝග ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශ මගින් යොමු කරනු ලබන නියෝග සහ කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය මගින් කරනු ලබන නියෝග අදාළ දුරකථන සේවා සමාගම් වෙත යොමු කිරීම පමණක් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් සිදුකරන බවයි. නමුත් මෙය අප විමසූ අදාළ තොරතුරු මඟ හැරීමකි. 

ඒ අනුව මෙම ආයතන දෙකේ ම නම්කළ නිලධාරී වෙත අභියාචනා ගොනු කළ අතර නම්කළ නිලධාරීන්ගේ පිළිතුර වූයේ ද තොරතුරු නිලධාරී ලබාදුන් පිළිතුර අනුමත කරන බවයි. 

තොරතුරු නොලැබීම සම්බන්ධයෙන් අපි තොරතුරු දැනගැනීමේම අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළෙමු. එම අභභියානය කැඳවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලික සමාගමකින් නීතිඥයන්ගේ සේවය ලබාගනිමින් ලිඛිත විරෝධතා පවා ගොනු කර තිබිණි.

ටෙලිකොම් පොදු අධිකාරියක් නොවේ!

එහි දී ඔවුන් තම සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ සවිස්තරාත්මත වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ටෙලිකොම් සමාගම සතු කොටස්වලින් 100%ක්ම විවිධ සමාගම් සතු බැවින් ශ්‍රී ලංකා ටෙලික‍ොම් ආයතනය පොදු අධිකාරියක් නොවන බවයි.  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, එවකට තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින රජයට කොටස් හිමි ව්‍යාපාරයක් බව එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු හිතාමතාම අමතක කර දමා තිබිණි.  එහි සභාපතිවරයා පත්කරන්නේද රජය විසිනි. එලෙස තමන් පොදු අධිකාරියක්‍ නොවන්නේ යැයි තොරතුරු ලබාදීම මඟ හැරීම සඳහා ටෙලිකොම් ආයතනය පවසන අවස්ථාව වනවිටත් ටෙලිකොම් ආයතනයේ නිල වෙබ් අඩවියේ තොරතුරු දැනැගැනීමේ පනත සම්බන්ධ විස්තර ඇතුළත්ව තිබෙනු දැකිය හැකි විය. එපමණක් නොව අප ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද්දේ තොරතුරු නිලධාරී සහ නම් කළ නිලධාරී විසින් බවත්, එවැනි නිලධාරීන් පත්කරන්නේ පොදු අධිකාරියක බවත් එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නොදැන සිටීම පුදුමයට කරුණකි. 

අප ඉල්ලා ඇති තොරතුරු හෙළිදරව් කිරීමෙන් පුද්ගලික කරුණු අනාවරණය වන බවත්, අන්තර්ජාල සේවා අවහිර කර ඇත්තේ අධිකරණ නියෝග, ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශ වැනි ආයතන වෙතින් කරන ලද ඉල්ලීම් නිසා බවත් පැවසූ ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ එම තොරතුරු තෙවැනි පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි. 

අධිකරණයකින් ලබාදෙන නියෝගයක් හෝ රාජ්‍ය ආයතයකින් ලබාදෙන නියෝගයක් හෝ කිසිම අවස්ථාවක දී පුද්ගලික කරුණක් ලෙස සැලකිය නොහැකිය. එය පොදු කාර්යයකි. එමෙන් ම ඒවා ප්‍රසිද්ධියට පත්විය යුතු තීරණ, තීන්දු සහ නියෝගය ද වෙයි. ඒ අනුව මෙම තොරතුරු ලබාදීමෙන් වැළකීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හැකියාවක් නොමැත. 

පරස්පර විරෝධී තොරතුරු

මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත් නියෝග කර සිටියේ අප විසින් ඉල්ලා ඇති සියලු තොරතුරු ලබා දෙන ලෙසයි. 

ඒ අනුව තොරතුරු ලැබිණි. නමුත් ඒවා පරස්පර විරෝධී තොරතුරු බව ඔවුන් ලබාදුන් ලේඛන පරීක්ෂා කිරීමේ දී පෙනී යයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තොරතුරු නිලධාරී, සාමාන්‍යාධිකාරී ජයනි වර්ණකුලසූරිය ඇයගෙන් කළ තොරතුරු විමසීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අවකාශ අවහිර කරනු ලබන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබන දැනුම් දීම් අනුව පමණක් බවයි. 

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරී සුජීවා රොඩ්රිගෝ දැනුම් දී තිබුණේ අධිකරණ නියෝග, පොලිසිය සහ ආරක්ෂක අංශවල ඉල්ලීම් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ දැනුම් දීම් අනුව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අවකාශ අවහිර කරන බවයි. 

මෙම ආයතන දෙක ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය අවකාශ අවහිර කිරීම නීත්‍යානුකූල ක්‍රමයකට සිදුකර ඇත්නම් එම ආයතන දෙකෙන් ම අප වෙත ලැබෙන ලේඛනවල සඳහන් විය යුත්තේ අවහිර කර ඇති ඩිජිටල් අවකාශයන් පිළිබඳ සමාන ලේඛනයකි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ‍ජනරාල් මධුශංක දිසානායක 2023-11-13 දිනැතිව එවන ලද තොරතුරු ලේඛනයේ දැක්වෙන්නේ වෙබ් අඩවි 42ක් අවහිර කර ඇති බවයි. එමෙන්ම යූටියුබ් නාලිකා 07ක් අවහිර කර ඇති බවද එම ලේඛනයේ දක්වා ඇත. 

ශ්‍රී ලංකා ටෙලිකොම් අයාතනය විසින් අවහිර කර ඇති වෙබ් අඩවි ලේඛනයක් 2023 ජූලි 04 වැනි දින අප වෙත එවා ඇති අතර එහි දැක්වෙන්නේ වෙබ් අඩවි 343ක් අවහිර කර ඇති බවයි. 

නියෝග දුන්නේ කවුද?

මෙම වෙබ් අඩවි අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බලය ලබාදුන්නේ කවර නම් අධිකරණ නියෝගයකින් ද නැතිනම් ඒවා අවහිර කරන ලෙස ඉල්ලා ඇත්තේ කවරුන් විසින්ද යන්න අප විමසා තිබුණ ද ඔවුන් මේ දක්වා ම ඒ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් ලබා දී නැත. 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙබ් අඩවි අවහිර කිරීම් සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩු 04ක් ඇති බව පමණක් සඳහන් කර තිබේ. නමුත් එම නඩුවලට අදාළව අවහිර කරන ලද වෙබ් අඩවි පිළිබඳ සඳහන් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමට අනුව ඔවුන් විසින් දුරකථන සමාගම්වලට දැනුම් දී ඇත්තේ වෙබ් අඩවි 42ක් අවහිර කිරීමට නම්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වෙබ් අඩවි 343ක් අවහිර කර ඇත්තේ කාගේ වුවමනාවකටද? කවර නම් නියෝගයකටද?

මේ සම්බන්ධයෙන් විස්තර ලබා නොදුන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අප ඒ පිළිබඳ නැවත නැවතත් විමසා සිටියද ඔවුන් එම තොරතුරු ලබා දෙන්නේ නැත. 

නමුත් ඔවුන් විසින් අවහිර කර ඇති වෙබ් අඩවි සහ එම වෙබ් අඩවි සම්බන්ධයෙන් අප වෙත එවා ඇති සබැඳි පරීක්ෂා කළ විට හේතුව අනාවරණය වෙයි. 

නොකී රහස හෙළි වෙයි!

ඔවුන් අවහිර කර ඇත්තේ ඒ ඒ කාලවල දී ශ්‍රී ලංකවේ රාජ්‍ය බලය හෙබ වූ පාලකයන්‍ගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා හෙළිදරව් කරන ලද ඩිජිටල් අන්තර්ගත ය. ඒවා අවහිර කර ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු බය ඇති දේශපාලකයන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් අනුව මිස අධිකරණ නියෝග, ආරක්ෂක අංශයේ හෝ ළමා ආරක්ෂණ අධිකාරියේ ලිඛිත ඉල්ලීම් අනුව නොවන බව පැහැදිලිය. අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි කිහිපයක්ද හතනම් කර තිබෙන බව අප කරන ලද පිරික්සුම්වලදී තහවරු විය.

එයින් පැහැදිලි වන්නේ වෙබ් අඩවි වැඩි ප්‍රමාණයකට බාධා එල්ල කර ඇත්තේ කිසිම නීත්‍යානුකූලභාවයක් නොමැතිව බවයි. 

දෙමළ කතාකරන පිරිසක් විසින් පවත්වාගෙන ගිය ටැමිල් නෙට් වෙබ් අඩවිය එල්ටීටීඊ සංවිධානයට හිතවාදී බව පවසමින් 2007 ජුනි මස 19 වැනිදා ශ්‍රී ලංකා රජයේ නියෝගයක් මත අවහිර කර තිබිණි. පසුව 2015 දී බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකින් එම තහනම ඉවත් කෙරිණි. 

2017-11-18 වැනි දා ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අධයක්ෂවරයා යැවූ ලිපියකට අනුවය. එයට හේතු වූයේ ජනාධිපතිවරයාට එරෙහිව ලිපි පළ වීමයි. 

අනෙකුත් වෙබ් අඩවි අවහිර කිරීම් සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තොරතුරක් නොමැති වුවත් තවමත් ඒවායේ තහනම ක්‍රියාත්මක වෙයි.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ තහනම පසුගිය මහ මැතිවරණ පැවැත්වීමට පෙර දිනයේ එනම් 2024-11-13 වැනි දින ඉවත් කෙරිණි. එය ඉතාමත් සාධනීය පියවරකි. නමුත් තහනම ඉවත් කළ යුත්තේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පමණද?  

මෙරට දේශපාලනඥයන්ගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා හෙළිදරව් කළ වෙබ් අඩවි කිසිදු නීත්‍යානුකූල පියවරක් අනුගමනය නොකරමින් වාරණයට ලක්කිරීමට උපදෙස් සහ මෙහෙයවීම් කටයුතු සිදුකරන ලද දේශපාලන හෙංචයියලා සිදු කර ඇත්තේ මෙරට ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වැට බැඳීමයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වැනි රාජ්‍ය ආයතනවල තනතුරු දරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින ඔවුන් එය අමු අමුවේම උල්ලංඝනය කර තිබේ.

වෙබ් අඩවි වෙත එලෙස ‘නිල නොවන වාරණ’ පැනවීමට අයිතියක් තිබේදැයි ජනතාව ප්‍රශ්න කළ යුතුය.

රජයේ වගකීම 

දේශපාලකයන් සහ රාජ්‍ය බලධාරීන් කොතරම් වාරණ පැනවුවද තාක්ෂණය දන්නා ශ්‍රී ලාංකිකයෝ ඒ වාරණ මඟ හැර වීපීඑන් යොදා ගනිමින් වෙබ් අඩවි කියවීමට පුරුදු වූහ. වසර 07ක පමණ කාලයක් වාරණය කර තිබූ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලාංකික පාඨකයන් විසින් කියවන ලද්දේ වීපීඑන් යොදාගනිමිනි.

එවැන තාක්ෂණයක් හමුවේ ‘නිල නොවන වාරණ’ ඵලදායී නැත. නමුත් එසේ ඵලදායී නොවේ යැයි කියා දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හෙංචයියලාට හිතූ හිතූ ආකාරයට මේ රටේ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට ඉඩ නොදිය යුතුය.  

මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් දැඩි වගකීමක් තිබේ. 

හිටපු දේශපාලකයන්ට එරෙහි වූ නිසා ම වාරණයට ලක් වූ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට නිදහස ලබාදුන් ආකාරයටම නිදහස හිමි විය යුතු වෙබ් අඩවි තවත් සිය ගණනක් තිබේ. ඒවා නිදහස් කිරීම වත්මන් රජයේ වගකීමයි. එපමණක් නොව නීත්‍යානුකූල ක්‍රමවේදයකින් තොරව අවහිර කර ඇති සියලු වෙබ් අඩවි, සමාජ මාධ්‍ය අවකාශ සහ අන්තර්ගත නිර්මාණ කරුවන්ගේ මෙන්ම රටේ පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කළ යුතුය. මේ සම්බන්ධයෙන් වගකීම වත්මන් රජය දැරිය යුතුය.

පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In
පුවත්

කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 92ක් කල් පැනලා  ඇ.ඩො. මිලියන 67ක් වතුරේ!

– සජීව විජේවීර කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක්  නොතිබුණ ද එය පාලනය කිරීම සඳහා සුදුසුම ක්‍රමය වන්නේ හැකි…

By In
පුවත්

හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම අසාධාරණද? ජනවාරි මාසයේ වියදම රු. මිලියන 34ක්!

– මොහොමඩ් ආසික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන වේදිකාව තුළ කතා බහට ලක්වීමට පටත් ගත්තේ  මයට වසර…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *