2015 සිට 2019 දක්වා නිකුත් කළ සහතිකවලින් 18%කට සංශෝධන
සංශෝධනවලින් 30%ක් රෙජිස්ට්‍රාර්වරුන්ගේ වැරදි නිසා
ඉදිරියේදී ජාතික උප්පැන්න සහතිකයක් – රෙජිස්ට්‍රාර් ජෙනරාල්
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
හතරසිංහ ආරච්චිගේ ඉෂානි තක්ෂිලා- ඒ ඇගේ දෙමාපියන් විසින් ඇයට ලබාදුන් නමයි. එහෙත් උප්පැන්න සහතිකයේ සදහන්ව ඇත්තේ හතරසිංහ ආරච්චිගේ ඉපානි තක්ෂිලා ලෙසය. අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක විවාහක කාන්තාවක් වන ඉෂානිට මේ හේතුවෙන් පුරවැසියකු ලෙස ලැබිය යුතු හිමිකමක් වන ජාතික හැදුනුම්පත තවමත් ලබාගත නොහැකි වී ඇත්තේ නම වෙනස්කිරීම සදහා කාලයක් ගතවීම හේතුවෙනි.
”ජාතික හැදුනුම්පතක් නැති නිසා මට බැංකු ගිණුමක්වත් තාම හදාගන්න විදියක් නෑ. දැන් මම උප්පැන්නේ හදන්න දීලා තියෙන්නේ. ඒක ඉක්මනින් හදාගන්න බැරි වුණොත් මට ලැබෙන්න ඉන්න දරුවාගේ උප්පැන්නේටත් දාන්න වෙන්නේ මගේ වැරදි නම. ඒ වගේම අපේ පෙළපත්නාමය ‘හතරසිංහ’ නමුත් මගේ අක්කගේ උප්පැන්නේ සදහන් වෙන්නේ ‘සතරසිංහ’ කියලා. ඒ වැරදීම නිසා නිත්‍යානුකුල බැලුවොත් සහෝදර කමෙනුත් අපි ඈත්වෙලා..”
හුදෙක් උප්පැන්න සහතිකවල නම්, පෙළපත්නම්, අක්ෂර දෝෂ වෙනස්වීම් හේතුවෙන් මේ ආකාරයෙන් පහසුතාවට ලක්ව තමන්හට ලැබිය යුතු මුලික අයිතීන්ද අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස් අතර ඉෂානි එක් අයෙකු පමණකි.
උප්පැන්න සහතිකයක් ලබාගැනීම උපතේ සිට පුරවැසියෙකුට හිමි වන අයිතියකි. එමෙන්ම එය ඉහළ ගුණාත්මක තත්වයක තිබිය යුතු නොවේද? පොදු ගැටලුවක් නොවන, එහෙත් තනි තනි ගැටලු රාශියක් ඇතිකරන, එම තනි තනි ගැටලුවට විසදුම් සෙවීම අතිශය කර්කෂ වූ, මෙතෙක් කිසිදු පාර්ශ්වයක අවධානයට ලක් නොවූ, උප්පැන්න සහතිකවල දෝෂ සහ ඒවා නිවැරදි කර ගැනීමේ ගැටලු පිළිබඳව මෙම ලිපිය මගින් අවධානයට ලක්කෙරේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ, ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 320ක් වෙත තොරතුරු අයදුම්පත් යොමුකිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 172 කින් ලද තොරතුරු මෙම ලිපියට පදනම් වෙයි.
ශ්‍රී ලංකාවේ මේ වනවිට ලබාදෙන හා ලබාදී ඇති උප්පැන්න සහතිකවල ඇති අඩුපාඩු, දෝෂ හේතුවෙන් පුරවැසියන් වශයෙන් ඔවුන්ට හිමි වන අයිතියක් වන ජාතික හැඳුනුම්පත පවා ලබාගැනීමට දුෂ්කරතා උද්ගත වී තිබේ. එය එක් නිදසුනක් වන අතර ඒ ආකාරයෙන් සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ද පැන නැගී ඇත්තේ ගැටලු රාශියකි.
මේ ආකාරයෙන් උප්පැන්න සහතිකවල සිදු වන වැරදිවලින් 30%කට ආසන්න ප්‍රමාණයක්, වසර ගණනාවක සිට රාජකාරියේ යෙදෙන බොහොමයක් රෙජිස්ට්‍රාර්වරුන් අතින් සිදුවන වැරදීම් ය. මෙයට මූලික හේතුව වී ඇත්තේ භාෂාව ගැන නිසි දැනුමක් සහිත, සුදුසුකම් ඇති පිරිස් එම රෙජිස්ට්‍රාර් තනතුර පත් නොකිරීම බව අදාළ තොරතුරු ඔස්සේ කළ අධ්‍යයනයේදී අනාවරණය විය.
උප්පැන්න සහතික ලීවීමේ මූලාරම්භය
රට වැසියන් සඳහා යම් ලිඛිත අනන්‍යතාවක් ලබාදීම සඳහා මුලින් මෙම ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ ඉංග්‍රීසි පාලන සමයේය. ඒ සඳහා ඉංග්‍රීසින් විසින් එවක සමාජයේ සිටි ලේඛන හැකියාව සහිත, සමාජ ගෞවරයක් හිමි පුද්ගලයන් හෝ පරිපාලනයට අනුව පහසුවෙන් හැසිරවිය හැකි පුද්ලගයින් යොදා ගැනිණි. පසුව එම ක්‍රියාවලිය සදහා විවිධ වසරවලදී ගැසට් කිරීම් මගින් රෙජිස්ට්‍රාර්වරුන් බඳවා ගැනීම් සිදු විය. ඒ ඒ වසරවලදී එළිදක්වන ගැසට් නිවේදනයන්හි කොන්දේසි සහ නියමයන් වෙනස් විය. මෙම බඳවාගැනීම්වලට අදාළව එළිදක්වන ලද පසුගිය ගැසට් නිවේදන සලකා බැලීමේදී පෙනීයන්නේ ඉංග්‍රීසි යුගයේ පැවති ක්‍රමය හා අනුව යමින් මේ දක්වාම ද දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව මත දේශපාලන පත්වීමක් ලෙස මෙම බඳවා ගැනීම් සිදු කරන බවයි.
උප්පැන්න සහතිකවල දෝෂ ඇතිවීමට හේතු
ඉහත දැක්වූ පත්වීම් ලබන රෙජිස්ට්‍රාර්වරුන් සඳහා එක් සහතිකයක් වෙනුවෙන් රු 75.00ක මුදලක් ගෙවනු ලැබේ. බොහෝවිට එවැනි පත්වීම් ලබන්නේ විශ්‍රාම ගිය හෝ යම් තරමක වයෝවෘද්ධ පුද්ගලයන් වේ. ඇතැම් රෙජිස්ට්‍රාර්වරු වෙනත් කෙනෙකු ලවා සහතික ලේඛනගත කිරීමේ කටයුතු සිදු කර ගනිති. එහිදී සහතිකය ලියන්නා අතින් සිදු වන වැරදිද මෙම ගැටලුවලට තවත් හේතුවකි.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 172කින් 2015 සිට 2019 දක්වා ලියාපදිංචි කරන ලද උප්පැන්න හයලක්ෂ දහනම දහස් තුන්සිය හැත්තෑ තුනක (619,373) ප්‍රමාණයක තොරතුරු විශ්ලේෂණය කිරීමේදී ඒ අතුරින් උප්පැන්න සහතික එක් ලක්ෂ තිස්දෙදහස් හත්සිය තිස්හතක (132,737) ප්‍රමාණයක් සංශෝධනය කර තිබෙන බව අනාවරණය විය. එය නිකුත් කළ සමස්ත සහතික ප්‍රමාණයෙන් 18%කි.
එමෙන්ම ඉහත 2015 සිට 2019 දක්වා කාලය තුළ දී සිදු කරන ලද සංශෝධනවලට මුල් වූ හේතු සම්බන්ධයෙන් සලකා බැලීමේදී අක්ෂර දෝෂ හේතුවෙන් තිස්පන්දහස් දෙසිය අසූඅටක් (35,288), ස්ත්‍රී පුරුෂ වෙනස්වීම් හේතුවෙන් දෙදහස් එකසිය තිස්පහක් (2,135) ලියාපදිංචි දිනය වැරදීම් හේතුවෙන් එක් දහස් තිස් එකක් (1,031) හා වෙනත් හේතු මත සංශෝධන අනූහතර දහස් දෙසිය අසූ තුනක් (94,283) සිදු කර තිබෙන බව අනාවරණය විය. නම් වෙනස් කිරීම, වාසගම් වෙනස් කිරීම ආදී ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතා මත කරනු ලබන සංශෝධන ඊට අයත් වෙයි.
මේ ආකාරයෙන් උප්පැන්න සහතිකයක් සංශෝධනයේදී කුමන හෝ ආකාරයක දෝෂයක් සහිත වූ සහතිකයක් නිවැරදි කිරීම සඳහා අදාළ උපකාරක ලියකියවිලි සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ට්‍රාර්වරයා හමුවිය යුතු අතර, එය සරල ක්‍රියාවලියක් නොවේ.
උප්පැන්න සහතිකවල කුමන හෝ ලේඛන දෝෂයක් ඇතිව තිබුණේ නම් එම නිවැරදි කිරීම් සිදු කළ යුතු හා අවශ්‍ය වන සෑම අවස්ථාවකදීම දිවුරුම්ප්‍රකාශ ලබාදීම, පුවත්පත් දැන්වීම් පළකිරීම, මුල් ලේඛනයන්හි සහතික පිටපත් ලබාගැනීම වැනි අවශ්‍යතා රැසක් සම්පූර්ණ කළ යුතුය. ඒ සඳහා මාස කිහිපයක පමණ කාලයක් ගත වේ. එම නිසාම ඇතැම් පිරිස් ජාතික හැදුනුම්පත පවා සෑදීමට නොහැකිව සිටී.
තම උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව සටහන් කළ යුතු ස්ථානයේ පුරුෂ වෙනුවට ස්ත්‍රී ලෙස සඳහන් කර තිබීම හේතුවෙන් අපහසුතාවයට ලක්වූ අම්බලන්තොට පදිංචි නල්ලපෙරුම දිසානායක පේමසිරි මහතාගේ අත්දැකීම ඊට නිදසුනකි.
”මම මැකී තිබු මගේ හැදුනුම්පත හදන්න ගියාම තමයි මේක හමු වුනේ. 2019 දී තමයි හැදුනුම්පත හදන්න දුන්නේ. පස්සේ පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවෙන් උප්පැන්න සහතිකයේ දෝසයක් තියෙන බව පවසමින් නැවත අයදුම්පත හරවා ඒවා තිබුණා. මේක ඉස්කෝලයකින්වත් පෙන්වල දීලා තිබුණේ නෑ. පස්සේ ඒක නිවැරදි කරගන්න උපන් ස්ථානයේ ලේඛන පරික්ෂා කර ඒක සහතික කරගෙන යන්න සිද්ධ වුණා. මම ඉපදුණේ අම්බලන්තොට රෝහලේ 1956 දී. උපත් විස්තර ගන්න ගියාම එම ලේඛන ගංවතුරට අහුවෙලා නිසා විනාශ වෙලා තිබුණේ. පස්සේ ගොඩක් මහන්සි වෙලා තමයි නිවැරදි ලේඛන සහතික කරගෙන උප්පැන්නය වෙනස් කරලා හැදුනුම්පත හදාගන්න පුළුවන් වුණේ. රෙජිස්ට්‍රාර් අතින් වුණ වැරැද්දට මට මාස 07ක් විතර ගියා ඒක හදා ගන්න.”
රෙජිස්ට්‍රාර්වරුන්ගේ වරදට දඬුවම පුරවැසියන්ට
කිසියම් පුරවැසියකුට තම අවශ්‍යතා මත උප්පැන්න සහතිකයේ වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය වූ විටෙක ඒ සඳහා මුදලක් දැරීමට සිදු වීම සාධාරණය. එහෙත් මෙහිදී රජය විසින් පත් කළ රෙජිස්ට්‍රාර්වරුන්ගේ වැරදි නිසා අසාධාරණයට ලක් වූ පුරවැසියන්ට මුදලින්ද පාඩු විඳීමට සිදුව ඇති අතර එය රජයට ආදායම් උත්පාදනය කරන මාර්ගයක් වී තිබීම ඛේදජනකය. මේ ආකාරයෙන් උප්පැන්න සහතික සංශෝධන ක්‍රියාවලිය මගින් 2018 වර්ෂයේදී රජයට රුපියල් මිලියන 3 ක් ඉක්මවූ ( රු. 3,035,700) ආදායමක් හා 2019 වර්ෂයේදීද රුපියල් මිලියන 3 ක් ඉක්මවූ ආදායමක් (රු. 3,329,970) ආදායමක් ලැබී තිබෙන බව ද තොරතුරු දැනගැනීමේ පනත මගින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වෙයි. ඒ අනුව එකී ආදායමෙන් 30%ක් රජය විසින් පත් කරන ලද රෙජිස්ට්‍රාර්වරුන්ගේ වැරදි නිසා පුරවැසියන්ගෙන් අයථා ලෙස අය කරගත් මුදල් ලෙස සැලකිය හැකිය.
උප්පැන්න සහතිකයක් නැවත සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නම හෙළිකිරීමට අකමැති අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයෙක් මෙසේ අදහස් පළ කළේය.
”උප්පැන්න සහතිකයක් ලියනකොට පිටපත් තුනක් තියෙනවා. පළමු පිටපත දරුවාගේ අම්මට හෝ භාරකාරයාට ලබාදෙනවා. අනෙක් පිටපත් දෙක රෙජිස්ට්‍රාර් විසින් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලබාදෙනවා. ඇතැම් වෙලාවට රෙජිස්ට්‍රාර්වරු ඒ පිටපත් තුනම එකපාරටත් ලියනවා. දෙතුන් පාරටත් ලියනවා. ඒ ලියනකොට වෙච්ච වැරදීම් තමයි මේ තියෙන්නේ. ස්ත්‍රී /පුරුෂ බව පවා වැරදියට ලියල තියෙනවා. ඇතැම් වෙලාවට ඉල්ලුම්කරුවන්ගේත් ප්‍රශ්න තියෙනවා. නමුත් රෙජිස්ට්‍රාර්වරුන් මේක අවධානයෙන් කරනවා නම් මේ වැරදි සිදුවෙන්නේ නෑ. ඒ වගේ වරදක් වුණාම ඒක නිවැරදිකරලා දෙන්න කටයුතු කරන්නේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින්. එහිදී සමහර නිලධාරීන් මේ ක්‍රියාවලිය ආමාරු කරනවා. ඒක නියමිත ආකාරයට කරලා දෙන්නේ නෑ. බොහෝවිට උගත් කෙනෙකුට වුණත් මේ ක්‍රියාවලිය ආමාරු වෙන්න පුළුවන්. ඒ නිසා රජයේ නිලධාරින් ද ඒ ගැන දැනුවත්ව ජනතාව එක්ක නැමියාවකින් යුක්තව කටයුතු කරන්න ඕන.”
කළ යුත්තේ කුමක්ද ?
මේ ආකාරයෙන් උප්පැන සහතික වැරදීම් තුළින් පුරවැසියාගේ අයිතීන් සඳහා සිදුවන බලපෑම මෙන්ම ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිඥ ජගත් ලියනආරච්චි මහතා මෙසේ අදහස් පළ කළේය.
‘’මේ උප්පැන්න සහතික වැරදීම් අවම කර ගැනීමට නම් සුදුසුකම් ලත් සහ ඒ අයට අවශ්‍ය කරන විධිමත් පුහුණුවීම් ලබාදීම කළ යුතු වෙනවා. ඒ වගේම බහුලව සිදුවන වැරදි අධ්‍යයනය කරලා ඒ අයට එම වැරදි අවම කරගැනීමට වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව දැනුවත්කිරීම් සිදුකිරීම වැනි කාරණා මගින් මෙවැනි වැරදි අවම කරගැනීමට පුළුවන්. ඒ වගේම උප්පැන්න සහතිකයක් සඳහා ඉල්ලුම් පත්‍රය පිරවීම පුරවැසියාගේ වගකීමක් වගේම රෙජිස්ට්‍රාර් වරයාගේ ද වගකීමක් වෙනවා ඒක නිවැරදි ද යන්න පරික්ෂා කිරීම.”
කෙසේ නමුත් පවතින මේ ගැටලුසහගත තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරිය මගින් ලබාදුන් තොරතුරු මගින් දන්වා ඇත්තේ ඉදිරියේදී රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා බඳවාගැනීමේ පරිපාටිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.
උප්පැන්නසහතික වල සිදුවන වැරැදී නිසා මහජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්ත මේන්තුවේ, රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ” මේ ඇතිවී තිබෙන ප්‍රශ්න මම දන්නවා මේ සදහා නව ක්‍රමයක් අපි හදල තියෙනවා ඒ සදහා තව මාස තුනකින් පමණ ජාතික උප්පැන්න සහතිකයක් අපි නිකුත්කරනවා එක වරදින්නේ නැති සම්පුර්ණ මුද්‍රිත පිටපතක් ,එකේදී පරණ උප්පැන්න සහතිකවලටත් අලුත් ඒවටත් විසදුමක් ලැබෙනවා ” බවයි.
එමෙන්ම ගම්වල සිටින රෙජිස්ට්‍රාර් වරුන්ගේ වෙනසක් සිදු නොවන බවත් නමුත් දත්ත ඇතුලත් කිරීම සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී දෙමාපියන්ට පෙන්වා එය නිවැරදි කොට බව ද හෙතම මෙහිදී කියා සිටියේය.