පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

By In

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ

තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක්

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී පරමාධිපති බලය ඇත්තේ මහජනතාව සතුවය. එය ක්‍රියාවට නැංවීම සඳහා ඇති ප්‍රමුඛතම මෙවලම වන්නේ මැතිවරණයයි. එය නිදහස් හා සාධාරණ එකක් වීම අනිවාර්ය කොන්දේසියකි. ඒ සඳහා වන නීතිමය රාමුවක් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රමිකව වර්ධනය වුවත්, මැතිවරණ භූමිය සම බිමක් බවට පත් කිරීමට එම නීතිමය රාමුවට හැකි වූයේ නැත. විශාල මුදල් බලයක් හිමි අපේක්ෂකයින් තම මුදල් බලය අසීමිතව උපයෝගි කර ගනිමින් සිය මැතිවරණ භූමියේ වැඩි ඉඩක් අල්ලා ගැනීමත්, එවැනි ධන බලයක් නොමැති අපේක්ෂකයින් තරග බිමෙන් ඉවතට විසි වීමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි.  

මේ සඳහා විසඳුමක් ලෙස මැතිවරණයකදී වැය කරන මුදල් පිළිබඳ නියාමනයක්  නිතිමය වශයෙන් සිදු කළ යුතුය යන ඉල්ලීම කාලයක් තිස්සේ මතුව තිබිණ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ලෙස, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්, පැෆරල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ ඇතුළු සංවිධන මෙන්ම විද්වතුන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් මතුව ආ දැඩි ඉල්ලීම් හමුවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතක් සම්මත කර ගැනීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි.

නව පනත බලාත්මක වීම

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස හැඳින්වෙන මෙම පනත මගින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින් තම මැතිවරණ ප්‍රචාරණය සඳහා  වැය කළ මුදල් ප්‍රමාණයත් එම මුදල් ලැබුණු ආකාරයත් වාර්තාවක් මගින් මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතුව තිබේ.

මෙම පනත බලාත්මක වීමෙන් පසුව, මැතිවරණ තුනක් පැවැත්විණි. එනම්, 2024 වසරේ පැවැති ජනාධිපතිවරණය, ඉන් පසුව පැවැති මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයයි.

මැතිවරණ වියදම් නියාමනය ඇත්තටම ප්‍රායෝගිකද යන්න සොයා බැලීම මෙම ලිපියේ අරමුණ වන අතර ඒ සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත අනුව මැතිවරණ කොමිසමෙන් ලබා ගත් තොරතුරු පාදක කර ගැනේ.

2023 අංක 3 දරන මැතිවරණ නියාමනය කිරීමේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක වන පළමු මැතිවරණය  වන්නේ පසුගිය ජනාධිපතිවරණයයි. මෙම පනත අනුව සෑම මැතිවරණයකදීම එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලක් තීරණය කරන අතර එම මුදලට අනුකූලව වියදම් කිරීමට සෑම අපේක්ෂකයෙකුම පියවර ගත යුතු වෙයි. එසේ වියදම් කරන ලද මුදල සහ එම මුදල් ලැබුණු  ආකාරය පිළිබඳ වාර්තාවක් නියමිත කාලයක් තුල මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතුයි.

අය-වැය නොදුන් අය

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව මැතිවරණ කොමිසමෙන් ලබා ගත් තොරතුරු අනුව 2024 පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් අපේක්ෂකයින් 35 දෙනෙකු ආදායම් වියදම් වාර්තා නියමිත කාලයට භාර දී ඇති නමුත් ජනසෙත පෙරමුණේ අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සිලරතන හිමි ඇතුළු තිදෙනෙකු   ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවත් සඳහන් කර තිබේ.

2024 නොවැම්බර් මස පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8,888 දෙනාගෙන් අපේක්ෂකයින් 7,988 දෙනෙකු නියමිත කාලයේදී ආදායම් වියදම් වාර්තා ලබා දී තිබුණද අපේක්ෂකයින් 900 දෙනෙකු එම වාර්තා ලබා දී  නොමැත. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 75,775 දෙනාගෙන් අපෙක්ෂකයින් 74,275 දෙනෙකු නියමිත කාලයේදී ආදායම් වියදම් වාර්තා ලබා දී ඇති අතර අපේක්ෂකයින් 1,500 දෙනෙකු මෙම වාර්තා  ලබා දී නොමැති බව මැතිවරණ කොමිසමේ තොරතුරුවල සඳහන් වෙයි.

මහ මැතිවරණය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින්, ආදායම් හා වියදම් වාර්තා ලබා නොදුන් සංඛාව මතු දැක්වේ.

දිස්ත්‍රික්කයඉදිරිපත් වූ අපේක්ෂකයන්නොදුන්
කොළඹ996123
ගම්පහ902 76
කළුතර392 26
මහනුවර510 32
මාතලේ184 02
නුවරඑළිය308 34
ගාල්ල264 07
යාපනය396 35
වන්නි432 83
මඩකලපුව39250
දිගාමඩුල්ල640166
ත්‍රිකුණාමලය217 17
කුරුණෑගල48653
පුත්තලම42952
අනුරාධපුර31227
බදුල්ල24027
මොණරාගල13505
රත්නපුර 08
කෑගල්ල21603
ජාතික ලැයිස්තුව 527

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 172ක්, ගම්පහ 60ක්, කළුතර 137ක්, මහනුවර 47ක්, ගාල්ල  27ක්, මාතර  28ක්, යාපනය 204ක්, කිලිනොච්චිය 77ක් වවුනියාව 29ක් මුලතිව් 46ක්, ත්‍රිකුණාමලය 86ක්, පුත්තලම 144ක්, අනුරාධපුර 111ක්, පොළොන්නරුව 142ක්, බදුල්ල 166ක් රත්නපුර 10ක්, කෑගල්ල 12ක් සහ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් එක් අපේක්ෂකයෙකු බැගින්  පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් අපේක්ෂකයින් 1,500ක් ආදායම් වියදම් වාර්තා නියමිත කාලයේදී ලබා දී නොමැති බව  මැතිවරණ කොමිසම ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් තිදෙනෙකු, මහ මැතිවරණයේ අපේක්ෂකයින් 900 දෙනෙකු සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 1,500 දෙනෙකු ලෙස මැතිවරණ තුනට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 2,403 දෙනෙකු ආදායම් වියදම් වාර්තා නියමිත කාලය තුළ ලබා දී නොමැති බව මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර හම්බන්තොට  සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියලු අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා ලබා දී තිබේ. පළාත් පාලන මැතිවරණයේදී මාතලේ නුවරඑළිය, හම්බන්තොට,කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල  සියලු අපේක්ෂකයින් වාර්තා ලබා දී  ඇති බව කොමිසම ලබා දී ඇති තොරතුරු අනුව අනාවරණය වෙයි.

නොදුන් අයට මොකද වෙන්නෙ?

මෙම  තත්ත්වය තුළ  2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් නියාමනය කිරීම කෙතරම් ප්‍රායෝගිකද යන්න විමසා බැලිය යුතුය.

 මෙම පනතින් අනිවර්ය කර ඇති  ආදායම් වියදම් වාර්තා, ලබා නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණයට පාර්ලමේන්තු  මැතිවරණයට සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් හෝ ප්‍රමාද වී  ලබා දුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් 2023 අංක 3 දරන පනතේ 8 වන වගන්තිය අනුව විමර්ශනයක් සිදු කර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම  ලිපි ගොනු ශ්‍රී ලංකා පොලීසිය වෙත යොමු කරමින් පවතින බවයි. මෙම ක්‍රියාවලියේ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට  අදාළව ලිපි ගොනු යොවු කිරීම අවසන් වී ඇති බවත් කොමිසම සඳහන් කරයි.

මැතිවරණයක සුපිළිපන්බව රැක ගැනීමට ඇති තවත් එක මඟක් ලෙස  මැතිවරණ වියදම් නියාමන පනත සඳහන් කළ හැකිය. එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා තව දුරටත් සටන් කළ යුතුව තිබේ.

මොහොමඩ් ආසික්

පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *