– විනීතා එම්. ගමගේ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිහිටවූයේ 1985 අංක 26 දරන පනතිනි. එහි මූලික අරමුණු වූයේම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගේ සේවා අවස්ථා නියාමනය හා සංවර්ධනයයි. ශ්‍රී ලාංකික රැකියා නිපුණතා වෙළෙඳපොළ සංවර්ධනය කිරීමට පියවර ගැනීමත්, බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන සමග සේවා කොන්දේසි පිළිබඳ එකඟතා සඳහා සාකච්ඡා කිරීමේදී සහාය වීම, විදේශ රැකියා නියෝජිතායතනවල ව්‍යාපාර නියාමනය කිරීම සහ ශ්‍රී ලාංකිකයන් බඳවාගන්නා නියෝජිතායතනවලට බලපත්‍ර නිකුත් කිරීම හා කොන්දේසි පැනවීම, රටෙන් පිටත රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලබාදීම යනාදිය එම කාර්යාංශය පිහිටුවීමේ අරමුණු අතර වෙයි. විදේශ රැකියා ඒජන්සිකරුවන්ට රැකියා අවස්ථා ලබාගැනීමේ කටයුතුවලදී සහාය දීමද එහි කාර්යයකි. එහිදී රැකියාලාභියාගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව හා සුභසාධනයද කාර්යංශය සතු වගකීම් බව එම පනතේම සඳහන් වේ.
එමෙන්ම විදේශ රැකියා සොයන්නන්ගේ රැකියා සිහිනය සැබෑ කරගන්නට සහාය දීමද එම කාර්යංශයේ ප්‍රමුඛ වගකීම් අතර වෙයි. ඒ සඳහා මුදල් වැය කිරිමටද කාර්යංශයට අවසර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය රජයෙන් යැපෙන ආයතනයක් නොවන්නේය. එහි නඩත්තුවට මෙන්ම ආදායමෙන් යම් කොටසක් භාණ්ඩාගාරයට ලබා දෙන්නටද කාර්යංශයට හැකියාවක් පවතී.
2023 වසරේ විදේශ රැකියා අමාත්‍යංශය මඟින් ජයගමු ශ්‍රී ලංකා නමින් රැකියා පොළක් පැවැත්වීමට තීරණය කරනු ලැබුයේ ඉහත කී අරමුණිනි. රැකියා පොළ සමග වෙළෙඳ ප්‍රදර්ශනයක්ද සංගීත සංදර්ශනයක්ද සංවිධානය කර තිබිණි. මෙම රැකියා පොළේ ප්‍රමුඛ අරමුණ විදේශ රැකියා සොයන්නන් හා විදේශ රැකියා ඒජන්සිකරුවන් මුණගැස්වීමය. එවකට විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියද සහිතව ආරම්භ වූ මෙම ජයගමු ශ්‍රී ලංකා රැකියා පොළ සහ වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා කාර්යංශය වැය කර ඇති මුදල රුපියල් පනස් හතර කෝටි විසි අට ලක්ෂයකි. (542,800,000). දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල මෙම පොළ පවත්වා ඇති අතර එයින් විදේශ රැකියා සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි කාර්යංශය විශ්වාස කර ඇත. 2023 වසරේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම පොළ අවසන් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 2024 ජූලි මාසයේදීය. මේ කාලය අතරතුර දිස්ත්‍රික්කවල මෙම රැකියා පොළ පවත්වා තිබේ.
එහෙත්, ඒසා විශාල මුදලක් වැයකළ මෙම රැකියා පොළ හා වෙළඳ ප්‍රදර්ශනයෙන් විදේශ රැකියා අවස්ථා ලබා දීමට හැකි වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 336 දෙනෙකුට පමණකි. ඒ අනුව මෙම රැකියා පොළ ව්‍යාපෘතිය නාස්තිකාර වියදමක් බව කාර්යංශයේ අභ්‍යන්තර කතා බහට ලක්ව තිබේ. විශේෂයෙන්ම එකී රැකියාපොළ සඳහා වෙළඳ කුටි ඉදිකිරීම කළේ පළමු රැකියා පොළ සඳහා, එනම් යාපනයේ දී පැවැති රැකියා පොළ සඳහා පමණි. අනතුරුව අනෙක් සියලු රැකියා පොළවල් සඳහා භාවිත කළේ යාපනයේදී ඉදිකළ කුටිමය. ඒවා ඉදිකොට ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සිකරුවන්ට ලබා දී ඇත්තේ නොමිලේය. සැබැවින්ම සිදු වූයේ එම කුටි වෙනුවෙන් එක් කුටියකට කුලිය වන ලක්ෂ පහක මුදල කාර්යංශයෙන් ගෙවීමය. එහෙත් මුල් ප්‍රදර්ශන කිහිපයේදී එක් කුටියකට අය කර ඇත්තේ එක්ලක්ෂ හැටපන්දහසක මුදලක් පමණි. හිටි අඩියේ එය ලක්ෂ පහක් විය. එහෙත් ඒවා අලුතින් ඉදිකළ කුටි නොවේ. පෙර කීි පරිදිම එක් ප්‍රදර්ශනයකින් ඊළඟ ප්‍රදර්ශනයට ගලවාගෙන යන ඒවාය. මෙම රැකියා පොළ හා ප්‍රදර්ශනයට රාජ්‍ය අංශයේ විවිධ ආයතනද සහභාගි වූ අතර එම ආයතන සඳහා කුටි ලබා දී ඇත්තේ නොමිලේ බව කාර්යංශය කියයි.
කෙසේ වෙතත් මේ වනවිට එම කුටි ලබා දීම ඇතුඵ ප්‍රදර්ශනයේ දී සිදුවූ ගනුදෙනු පිළිබඳ කාර්යංශයේ නිශ්චිත තොරතුරු ලබා ගැනීමේ අපහසුවක් පවතින බව මේ සම්බන්ධව විමසමින් යොමුකරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පත පිළිබඳ කාර්යංශ නිලධාරියෙකු හා කළ කතා බහක දී හෙළි විය.
එමෙන්ම මේ සම්බන්ධව ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ අයදුම්පතෙහි සංගීත සංදර්ශන පිළිබඳව කළ විමසීමේ දී එහි ගනුදෙනු සම්බන්ධව පැහැදිලි තොරතුරු ලබා දී නැත. එහි සඳහන් කර ඇත්තේ ‘අදාළ නැත’ යන වැකියයි. ඒ අනුව එම සංගීත සංදර්ශනවලට ඔවුන් යම් මුදලක් වැය කළේද නැද්ද යන්න පැහැදිලි නැත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවත්වාගෙන යන්නේ විදේශගත වන ශ්‍රී ලාංකිකයන් විසින් ගෙවනු ලබන ලියාපදිංචි ගාස්තු ඇතුඵ විවිධ ගෙවීම්වලිනි. විදේශගතව විවිධ දුක්පීඩා මැද තම හිතෛෂීන්ගෙන් වෙන්ව ජීවත් වෙමින් ශ්‍රමය වගුරුවා සොයන ඩොලර් රටට එවන අපේ සහෝදර ජනතාවගේ මුදලින් යැපෙන කාර්යංශයට මෙසේ එහි මුදල් නිකරුණේ නාස්ති කිරීමට සදාචාරාත්මක අයිතියක් හෝ නීතිමය අයිතියක් නැත. මේ නාස්තිකාර වියදම් කළේ කාගේ වුවමනාවකට දැයි සොයා බැලීම වර්තමාන රජයේ බලධාරීන්ගේ වගකීමකි.